සීනි වඩිච්චි ගෙඩියක් බොමුද?

 

 

සීනි වඩික්කු, පැණි වඩික්කු එහෙමත් නැත්නම් සීනි වඩිච්චි කියන්නේ බොහෝ දෙනෙකුට අහලා පුරුදු නමක් නෙවෙයි. සීනි වඩික්කු කියන්නේ කෑමක සහ බීමක එකතුවක්. මේ නම සිංහල භාෂාවට හුරු නමක් නොවෙන නිසාත් විශේෂයෙන්ම ගාල්ල දිස්ත්‍රික්කයේ මුහුදුබඩ ප්‍රදේශ කිහිපයක ජනප්‍රිය ආහාරයක් නිසාත් සීනි වඩික්කු හෙවත් සීනි වඩිච්චි කියන්නෙ පිට රටකින් මෙරටට පැමිණි ආහාරයක් කියලා කියන්න පුළුවනි. විශේෂයෙන්ම දකුණු පළාතේ ගාල්ල, රත්ගම සහ සීනිගම වගේ ප්‍රදේශවල අතීතයේ මෙය ඉතා ජනප්‍රිය ආහාරයක් වෙලා තිබුණට මුහුදුබඩ ප්‍රදේශවල ජීවත්වෙන වර්තමාන තරුණ පරම්පරාව සීනි වඩික්කු ගැන නොදන්න තරම්.


බොහෝ දෙනෙක් කියන්නෙ නම් ලේසියෙන් හදාගන්න පුළුවන්කම තියෙන නිසාත්, මෙහි තිබෙන සියුම් මත් ගතිය සහ ඉමිහිරි රසය නිසාත් තරුණයින් අතර සීනි වඩික්කු ජනප්‍රියයි කියලයි. දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශවල පොල්ගස් බහුලව තිබීමත් කුරුම්බා ගෙඩියෙන් සකසන සීනි වඩික්කු ඒ ප්‍රදේශයේ ජනප්‍රිය වීමට එක් හේතුවක්.


සීනි වඩික්කු පිළිබඳව තොරතුරු සොයා යෑමේදී දැනගන්නට ලැබුණේ මෙම ආහාරය අතීතයේ මුහුදුබඩ ප්‍රදේශයේ ජීවත් වුණු එක්තරා කුලයකට පමණක් සීමා වී තිබුණු බවයි. එහෙත් මෙය එක් වරක් රස බලන කවුරු වුණත් ආයෙත් හදලා රස බලන්න පසුබට වෙන්නේ නම් නෑ. 


සීනි වඩික්කු හදන්න කුරුම්බා වතුර, කුරුම්බා ලොඳ, බටර් විස්කෝතු, පැණි කොමඩු හෝ රතු පැහැති පැණි බීම වර්ගයක් භාවිත කරනවා. බටර් විස්කෝතු මෙරටට හඳුන්වා දෙන්නට පෙර සීනි වඩික්කු හදලා තියෙන්නේ කුරුම්බා ලොඳ, පැණි සහ හබල පෙති භාවිතයෙන්. පසුකාලීනව හබල පෙති වෙනුවට බටර් විස්කෝතු සහ පැණි වෙනුවට සීනි භාවිතා කරන්නත් පුරුදු වෙලා තියෙනවා. මේකට පැණි කොමඩු යුෂ හෝ රතු පාට පැණි බීමක් එක්කරන්නේ එයට අලංකාර රතු වර්ණයක් ලබා ගැනීමටයි. කොහොම නමුත් ශරීර සෞඛ්‍යය ගැන උනන්දු වෙනවා නම් සීනි වඩික්කු හදන්න රතු පැණි බීම වෙනුවට පැණි කොමඩු යුෂ යොදාගන්නවා නම් හොඳයි. පැණි කොමඩු ශරීරයට ශක්තිය දෙන විටමින් ඇතුළු පෝෂක බහුල පලතුරක් නිසා පැණි වඩික්කු හදන්න පැණි කොමඩු යුෂ එකතු කර ගැනීම වඩාත් හොඳයි.


බටර් විස්කෝතුවල තියෙන පිපුම්කාරක නිසා කුරුම්බා වතුර සහ සීනි  සමග ප්‍රතික්‍රියා කිරීමේදී ඉතා සුළු ඇල්කොහොල් ප්‍රමාණයක් නිකුත්වන නිසා සීනි වඩික්කුවල පොඩි මත් ගතියකුත් නැතිව නෙවෙයි. දේශීය වෛද්‍ය පාලිත ශ්‍රී ගීගන ආරච්චිගේ මහතා පවසන අන්දමට සීනිවඩික්කුවල සුළු මත් ගතියක් තිබුණත් මෙය ශක්තිජනක ආහාරයක්. එනිසා මහන්සි වී වැඩ කරන දකුණු පළාතේ මුහුදුබඩ ප්‍රදේශවල ජනතාව අතර ජනප්‍රිය ආහාරයක් වෙලා තියෙනවා. 


“කුරුම්බා ලොඳ, කුරුම්බා වතුර, කොමඩු යුෂවල විටමින් ආදි බොහෝ පෝෂක අඩංගුයි. ඒ විතරක් නෙවෙයි කුරුම්බා වතුර, පැණි කොමඩු යුෂ සහ සීනි එක්කරන නිසා ඉක්මනින් සිරුරට ශක්තිය ලබා දෙන්න සීනි වඩික්කුවලට පුළුවන්. මහන්සිවෙලා වැඩ කරනකොට වැඩිපුර දාඩිය පිටවෙද්දි සිරුර විජලනයෙන් වළක්වන්න විතරක් නෙවෙයි, සිරුරට අහිමි වෙලා යන ඉලෙක්ට්‍රොලයිට් නැවත ලබා දෙන්න පුළුවන්. බටර් විස්කෝතුවල පිෂ්ටය තියෙන නිසා ශක්තිය වගේම බඩගින්නත් නැති වෙනවා. කුරුම්බා ලොඳත් බඩගින්න නැති කරනවා. ඒ නිසා සීනි වඩික්කු කියන්නේ පරිපූර්ණ ආහාරයක්. සාම්ප්‍රදායිකව සීනි වඩික්කු හදන්න භාවිත කළ හබල පෙති කියන්නෙත් ශක්තිය ලබා දෙන, කුසගිනි නිවන පෝෂණීය ආහාරයක්. 


අවශ්‍ය ද්‍රව්‍ය
කුරුම්බා ගෙඩියක්
බටර් විස්කෝතු කිහිපයක්
සීනි
තරමක පැණි කොමඩු ගෙඩියක්

සකසා ගන්නා ආකාරය
ළපටි කුරුම්බා ගෙඩියක් කපාගෙන වතුර වෙනත් භාජනයකට ඉවත්කර ගන්න. කුරුම්බා ගෙඩියේ ළොඳ කුරුම්බා ගෙඩියේ තියෙද්දීම සූරාගන්න. දැන් මේකට කුරුම්බා වතුර ටික දාන්න. සීනි ටිකක් සහ කැබලිවලට කඩාගත් බටර් විස්කෝතු කිහිපයකුත් එකතු කරන්න. පැණි කොමඩුවලට වතුර දාන්නේ නැතිව යුෂ ටික මිරිකාගෙන කුරුම්බා ගෙඩියටම එක්කරගන්න. හැන්දකින් හොඳින් මිශ්‍ර කර පැය බාගයක් පමණ තිබෙන්නට හරින්න.

 

උපදෙස් 
දේශීය සූපශාස්ත්‍ර සහ ස්වාභාවික 
රූ සත්කාරක පර්යේෂිකා 
පංචමී හේවාවිසෙන්ති

පැය බාගයකට පසු මිශ්‍රණයෙන් බුබුළු ස්වල්පයක් දකින්න ලැබෙනවා. ඒ කුරුම්බා ගෙඩිය ඇතුළේ තියෙන අමුද්‍රව්‍ය ප්‍රතික්‍රියා කිරීම නිසා. දැන් හැන්දකින් කුරුම්බා ළොඳයි හොඳටම පෙඟී තියෙන බටර් විස්කෝතුයි කන ගමන් කුරුම්බ සහ පැනි කොමඩු මිශ්‍ර රසවත් බීම බොන්න පුළුවන්. 


සාම්ප්‍රදායික විදියට සීනි වඩික්කු හදනවා නම් මෙන්න මෙහෙමයි හදන්නේ. 


කුරුම්බා ගෙඩියේ වතුර වෙනත් භාජනයකට දමා කුරුම්බා ළොඳ ටික සූරගෙන කුරුම්බා ගෙඩියෙම තිබෙන්න හරින්න. දැන් එයට හබල පෙති ටිකක් සහ පැණි ටිකක් එක්කර මිශ්‍ර කරන්න. කුරුම්බා වතුර ටිකත් එකතු කරන්න. විනාඩි 10ක් පමණ තිබෙන්න හරින්න. හබල පෙති හොඳටම පෙඟෙන්න අවශ්‍ය වෙන්නෙ නෑ. ටිකක් හැපෙන්නයි තියෙන්න ඕනෑ. 


ටිකක් වෙනස් කෑමක් වුණත්, නම නුහුරු වුණත් වත්තේ පොල් ගහක් තියෙනවා නම් ලේසියෙන් හදාගන්නත් පුළුවන් නිසා සීනි වඩික්කු හදලා රස බලන්න.


 


සටහන නයනා උදයංගනී


 

SIRIKATHA FASHION Read Previous

SIRIKATHA FASHION

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද? Read Next

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද?

Realted Post

Leave a comment