සෝයා රසට කැමති අයට

 

සෝයා මීට් කෑමට වැඩි කැමැත්තක් දක්වන්නේ දරුවන් ය. මස් මාංශ කෑමට අකමැති අයට ද ප්‍රෝටීන් ලබා ගැනීමට පහසු මගක් වන්නේ ද සෝයා මීට්ය. විවිධ රෝග වළක්වා ගැනීමට උපකාරී  වන  සෝයා මීට්වලින් සාදා ගත හැකි කෑම වර්ග කිහිපයකි මේ.

 

උපදෙස් 
කේක් නිර්මාණ සහ කෙටිකෑම උපදේශිකා
සුහර්ෂා දිව්‍යාංජල


1. සෝයා මීට් ක්‍රිස්පි බයිට්
 අවශ්‍ය ද්‍රව්‍ය
 සෝයා මීට් පැකට් 1 ක්
 පාන්පිටි කෝප්ප 1 ක්
 බිත්තර 2 ක්
 බිස්කට් කුඩු ග්‍රෑම් 250 ක්
 මිරිස් කුඩු තේ හැඳි 1 ක්
 ගම්මිරිස් කුඩු තේ හැඳි 1 ක්
 සෝයා සෝස් තේ හැඳි 1 ක්
 ලුණු ස්වල්පයක්


 සාදන ක්‍රමය
සෝයා මීට් බඳුනකට දමා එය වැසෙන ආකාරයට උණු වතුර දමා ලුණු ස්වල්පයක් එකතු කරන්න. මිනිත්තු 10කට පසුව සෝයා මීට් ටික වතුර ඉවත් වන තුරු හොඳින් මිරිකාගන්න.  එය වෙනත් බඳුනකට දමා එයට බිත්තරයක් එකතු කර එයටම ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, සෝයා සෝස් එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු බඳුන් 3 ක් ගෙන එයට බිත්තර 1 ක්, පාන් පිටි සහ බිස්කට් කුඩු වෙන් වෙන්ව දමා සාදාගත් සෝයා මීට් මිශ්‍රණය පිළිවෙළින් පාන්පිටිවල, බිත්තර සාරුවල සහ බිස්කට් කුඩුවල දවටා රත් වූ තෙලට දමා බදින්න. 

 


2. සෝයා ඔම්ලට්
අවශ්‍ය ද්‍රව්‍ය
 සෝයා මීට්  ග්‍රෑම් 90 පැකට් 1 ක්
ලොකුලූනු ගෙඩි 2 ක්
 බිත්තර 2 ක් 
කෑලි මිරිස්  මේස හැඳි 2 ක් 
ගම්මිරිස්  තේ හැඳි 1/2 ක්
අමුමිරිස් කරල්  2 ක්
කරපිංචා ටිකක්
සුදුලූනු බික් 3 ක්
මාළු මිරිස් කරල් 1 ක්
තක්කාලි ගෙඩියක්
තක්කාලි සෝස් මේස හැඳි 2 ක් 
සෝයා සෝස් මේස හැඳි 2 ක්
ලුණු  තේ හැඳි  1 ක්
තෙල් මේස හැඳි 2 ක්


සාදන ක්‍රමය
සෝයා මීට් බඳුනකට දමන්න. එයට උණු වතුර දමා ලුණු ස්වල්පයක් එකතු කර විනාඩි කිහිපයක් තබන්න. පසුව වතුර හොඳින් මිරිකා සියල්ල ග්‍රයින්ඩරයෙන් කෑලි නොසිටින ලෙස  අඹරන්න. බිත්තර කඩා වෙනත් බඳුනකට දමන්න. එයට කෑලි මිරිස් මේස හැඳි 1 ක්, ගම්මිරිස්, ලුණු, කුඩාවට කපාගත් කරපිංචා. ලූනු, අමුමිරිස් සහ බිත්තර බඳුනට එකතු කර ගසන්න. එම බඳුනටම අඹරාගත් සෝයා මීට් එකතු කර හොඳින් කලවම් කරන්න. සාස්පානක් ලිප තබා එයට තෙල් ස්වල්පයක් එකතු කර රත්වන විට මිශ්‍රණය සාස්පානට දමා තුනී කරන්න. එය ඔම්ලට් එකක් ආකාරයට එක පැත්තක් පිස අනෙක් පැත්ත හරවා පිසගන්න. පිළිගන්වන විට කෑලි කපාගන්න. 


තෙම්පරාදුව
බඳුනකට තෙල් දමා රත්කර එයට සුදුලූනු, කරපිංචා, දමා හොඳින් සුවඳ එනතෙක් බදින්න. ඉන්පසු එයට රවුමට කපාගත් ලොකුලූනු, මාළු මිරිස්, තක්කාලි එකතු කර  හොඳින් බැදෙන විටතක්කාලි සෝස්, සෝයා සෝස්, ඉතිරි කෑලි මිරිස, ලුණු තේ හැඳි 1/2 ක් එකතු කර හොඳින් කලවම් කරන්න. ඉන්පසු කපාගත් සෝයා මීට් ඔම්ලට් එක එකතු කර කෑලි නොකැඩෙල ආකාරයට කලවම් කර බත් සමග කෑමට ගන්න.

 


3. සෝයා මීට් බන්
අවශ්‍ය ද්‍රව්‍ය 
පාන් පිටි ග්‍රෑම් 500 ක්
යීස්ට් ග්‍රෑම් 9 ක්
ලුණු තේ හැඳි 1 ක්
සීනි තේ හැඳි 3 ක්
බටර් ග්‍රෑම් 65 ක්
වතුර මිලි ලීටර් 250 ක්


සාදන ක්‍රමය
බඳුනකට පිටි, යීස්ට්, ලුණු, සීනි දමා කලවම් කර වතුර එකතු කර පිටි මෝලිය හොඳින් අනන්න. බටර්වලින් ටිකෙන් ටික දමා අතේ නොඇලෙන ප්‍රමාණයට දමන්න. මෙම පිටි මෝලිය තෙත රෙදි කඩකින් ආවරණය කර විනාඩි 10 ක් පමණ පිපෙන්න තබන්න. පිපුණු පසු එයින් කුඩා බෝල සාදා විනාඩි 25 - 30 ක් පිපෙන්න තබන්න. ඉන්පසු පිපෙන්න තැබූ පිටි මෝලය තුනීකර එහි මැදට පිරවුමෙන් ස්වල්පයක් තබා බිත්තර සාරු වටේට ආලේප කර කොටු ආකාරයට නවන්න. එහි උඩින් බිත්තර සාරු ආලේප කරන්න. සාදා ගත් බන් තැටියක තබා සෙන්ටිග්‍රේඩ් අංශක 200 උෂ්ණත්වයට විනාඩි 8-10 අතර බේක් කරන්න.


පිරවුම
අවශ්‍ය ද්‍රව්‍ය
 තම්බා කුඩාවට කපාගත් සෝයා මීට් ග්‍රෑම් 70 පැකට් 1 ක්
 ඉඟුරු තේ හැඳි 1 ක්
 කෑලි මිරිස් තේ හැඳි 3 ක්
ගම්මිරිස් තේ හැඳි 2 ක්
 සුදුලූනු තේ හැඳි 1 ක්
 ලූනු ගෙඩි 1/2 ක්
 අමුමිරිස් කරල් 6 ක්
 අවශ්‍ය නම් තම්බා ගැඹුරු තෙලේ බැද අල කැබලි 
 රම්පා, කරපිංචා ස්වල්පයක්
ලුණු තේ හැඳි 1/2 ක්
 තෙල් මේස හැඳි 1 ක්


සාදන ක්‍රමය
බඳුනක් ලිප තබා තෙල් දමා රත්කර සිහින්ව ලියාගත් සුදුලූනු, අමුමිරිස්, ඉඟුරු, රම්පා. කරපිංචා සහ ලොකුලූනු දමා හොඳින් බදින්න. එයට තම්බා කුඩාවට කපාගත් සෝයා මීට්  සහ අල කැබලි එකතු කර කෑලි මිරිස්, ගම්මිරිස්,  ලුණු එකතු කර හොඳින් කලවම් කර පිරවුම සාදන්න.

පුෂ්පා රණවීර 


 

 
 

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Previous

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ Read Next

ඉතිහාසය අලුතින් ලියන ගුවන් කිරිල්ලියෝ

Realted Post

Leave a comment