හදවතට සුව kichadi rice කමුද?

වෙළෙඳපොළේ වැඩිපුරම තියෙන්නේ තෙල් බෙහෙත් සහ වස විස සහිත ආහාර නිසා මේ වන විට හුඟක් දෙනෙකුට නිරෝගී සම්පන්න ජීවිතයක් අහිමි වී තිබෙනවා. තරුණ තරුණියන් අතර වුවත් මේ වන විට හදවත් රෝග වැඩිවීමට කෑම රටාව ප‍්‍රධාන හේතුවක් වී තිබෙනවා. අද කෑම පිටුවෙන් අපි සුදානම් වෙන්නේ හදවතට ගුණදායක පෝෂණීය ආහාරයක් හදාගන්නේ කෙසේදැයි කියන්නයි. පහසුවෙන්ම සාදා ගත හැකි මේ කෑම වේල මස් මාංස නොකන අයටත් කදිමයි. 

අවශ්‍ය ද්‍රව්‍ය

තැම්බූ මුංඇට කෝප්ප  1/4 ක්
තැම්බූ පරිප්පු කෝප්ප 1/4 ක්
බෙරිවූ නිවුඞ්ඩ සහිත බත්කෝප්ප 
1/2 ක්
සිහින්ව කැපූ නිවිති කොළ 5 ක්
සිහින්ව කැපූ කොත්තමල්ලි 
කොළ ස්වල්පයක්
සිහින්ව කැපූ ලූනු හා තක්කාලි ගෙඩියක්
සූදුරු ඇට හා කුඩු ස්වල්පයක්
හීනත් පවුඩර පෙරුම්කායම් ස්වල්පයක්
කහ ස්වල්පයක්
රස අනුව ලූණු
චොප් කරගත් සුදුලූනු බික් 4-5 ක්
බටර් මේස හැඳි 1/2 ක්

සාදාගන්නා ආකාරය

භාජනයකට බටර් දමා රත් වූ විට එයට සූදුරු ඇට ස්වල්පයක්, චොප් කරගත් ලූනු සහ සුදුලූනු එක්කර තරමක්  බැදුණු විට තක්කාලි එකතු කරගන්න. ස්වල්ප වේලාවක් පිස එයට කහ ස්වල්පයක් ද එකතු කරන්න. පසුව එයටම මුංඇට, පරිප්පු, බෙරිබත්, වතුර එකතු කර සාමාන්‍ය දියාරු ගතියකට එනතෙක් කලවම් කරමින් පිසගන්න. ඉන්පසු අවශ්‍ය පමණට ලුණු දමා කොත්තමල්ලි කොළ හා නිවිති කොළ එක්කර ලිපෙන් බාන්න. සූදුරු කුඩු හා පෙරුම්කායම් පවුඩර් දමා හොඳින් කලවම් කරන්න. මෙය තරමක් ගනකම් සුප් එකකට සමාන වේ.

කිචඩි රයිස් අගුණ කාටද?

මෙම ආහාර වේලට නිවුඩු සහල් භාවිතා කිරීම නිසා සාමාන්‍ය සහල් භාවිතා කරනවාට වඩා වැඩි පෝෂණ ගුණයක් එකතු වී ඇති බව කිව යුතුය. නිවුඩු සහල් අඩුවෙන් පාහින ලද සහල් වර්ගයක් බැවින් එහි අඩංගු තන්තු ප‍්‍රමාණය, ඊ විටමින් වැනි විටමින් වර්ග සහ ඛනිජ ලවණ ප‍්‍රමාණය සාමාන්‍ය සහල්වලට වඩා වැඩි ය. මෙහි අඩංගු තන්තු මගින් රුධිර ගත සීනි මට්ටම සහ කොලෙස්ටරෝල් ප‍්‍රමාණය සමනය කරයි. 
මුං ඇට සහ පරිප්පු මාංශල භෝග කාණ්ඩයට අයත් අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල අඩංගු ශාකමය ප්‍රෝටීන බහුල ආහාරයක් වේ. මෙහි ඇති කොළ පැහැති එළවළු වන නිවිති සහ කොත්තමල්ලි කොළ මගින් ද ශරීරයට විටමින් සහ ඛනිජ ලවණ ලබා දෙයි. තවද මෙවැනි කොළ පැහැති තන්තු බහුල එළවළු මගින් රුධිරයේ සීනි මට්ටම මෙන්ම රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම පාලනය කරයි. එමගින් දියවැඩියාව සහ හදවත් රෝග ඇති වීමේ අවදානම අඩු කරයි. මීට අමතරව මෙහි අඩංගු විවිධ ප‍්‍රතිඔක්සිකාරක මගින් ශරීරයේ ප‍්‍රතිශක්තිය වැඩි කිරීමත්, පිළිකා ඇතිවීමේ අවදානම අඩු කිරීමත් සඳහා දායක වෙයි. 

මෙම ආහාරයේ රසවත්බව වැඩි කිරීමට යොදා ගන්නා සූදුරු, සුදුලූනු සහ කහ වැනි කුළුබඩුවල ඖෂධීය ගුණ අන්තර්ගත වේ. එහි අඩංගු  ප‍්‍රතිඔක්සිකාරක මගින් ශරීරය විවිධ රෝගවලින් ආරක්ෂා කරයි. රුධිරගත කොලෙස්ටරෝල් ප‍්‍රමාණය පාලනය කිරීම සහ අධික රුධිර පීඩනය අඩු කරයි. එමගින් හදවත් රෝග ඇතිවීමේ අවදානම අඩු වේ.

මෙය නිර්මාංශ කෙනෙකුට වුවද සුදුසු ආකාරයේ පෝෂණ ගුණයෙන් අනූන, රසවත් ආහාර වේලකි.තෙල් හෝ මේද ප‍්‍රමාණය සහ ලූනු අඩුවෙන් යොදා සකස් කළ විට දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිර ගත කොලෙස්ටරෝල් මට්ටම වැඩිවීම සහ හදවත් රෝග වැනි නිදන්ගත රෝගවලින් පෙළෙන අයට වුවද මධ්‍යස්ථ ප‍්‍රමාණවලින් ගැනීම සුදුසු වේ. වකුගඩු රෝගීන් සඳහා වෛද්‍ය උපදෙස් හෝ පෝෂණවේදී උපදෙස් මත ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ. මෙම ආහාරය පිළියෙල කිරීම සඳහා යොදා ගන්නා අමුද්‍රව්‍යවල ගුණාත්මකභාවය සහ ආහාර පිසීමට භාවිතා කරන උෂ්ණත්වය මත මෙහි අඩංගු යම් යම් පෝෂණ සංඝටකවල ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක බවේ අඩුවීමක් ද සිදු විය හැකිය.

සටහන - නයනා උදයංගනී

 

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි Read Previous

සිරිකත පැහැරසණි දුන් දේ බොහොමයි

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Next

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

Realted Post

Leave a comment