නිකිණි පසළොස්වක පෝය

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.

ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්‍ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළැඹෙන හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස යනුවෙන් මහණෙනි, වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ. යැයි මහා වග්ගයේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතුය. පසු වස් එළඹිය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූන් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හි, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදි ස්ථාන වල නො එළඹිය යුතුය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ‘මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතුය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැයි’දේශනා කොට ඇත. වහලක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතුය.

වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහැදිලි වෙයි.

  • විකිපීඩියා ඇසුරෙන්

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා Read Previous

ළඟ ළඟ එන වසන්තයට විලාසිතා

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී Read Next

බාලදක්ෂ නිර්මාතෘ බේඩන් පවෙල් සාමිතුමන්ගේ 169 වන ජන්ම දින සැමරුම මහනුවරදී

Realted Post

Leave a comment