එයා දඟ නැහැ

මේ වෙනකොට ටෙලි තිරයේ හැඩකාර දගකාර තරුවක් තමයි කාවින්ද්‍ය දුල්ශානි. මේ දවස්වල ඇයව වැඩිදෙනෙක් හඳුන්වන්නෙ ‘සුද්ධි’ කියලයි. රංගනයට ඇවිත් අවුරුදු හතක් වුණත් ටෙලි තිරයට නැතුවම බැරි කෙනෙක් බවට ඇය පත්ව හමාරයි. ඇය ගැන පහුගිය දවස් ටිකේ වැඩි වැඩියෙන් කතාබහාට ලක්වුණා. ඒ ඇගේ විවාහයත් සමගයි. ඇයගේ අතගත් වාසනාවන්තයා බුද්ධික. ඉතිං ඇගේ අලූ‍ත් ජීවිතේ ගැන සිරිකත අපි විමසීමක් කළා.

 

කාවින්ද්‍යා දැන් හුඟක් කාර්යබහුලයි නේද?

රූපගත කිරීම් එක්ක ටිකක් කාර්යබහුලයි. ඒ වගේම මම ළඟදි විවාහ වුණා. ඒ වැඩ කටයුතු එක්කත් ටිකක් කාර්යබහුල වුණා.

 

කොහොමද අලූ‍ත් ජීවිතේ?

ඇත්තටම හොඳයි. තනියම ගත කරපු කාලය එක්ක බලද්දි දැන් වගකීම් සහගත කෙනෙක්. ඒ ජීවිතෙත් හරි සුන්දරයි.

 

දැන් ටිකක් වගකීම් වැඩි වෙලා නේද?

විවාහ ජීවිතය කියන්නෙ වගකීම් සහගත දෙයක්. මම තනියම ඉන්නකොට වගේ නෙමෙයි දැන් විවාහයත් එක්ක මට පවුල් තුනක් ගැන බලන්න වෙනවා. අපි දෙන්න ගැන මගේ ගෙදර ගැන වගේම ඔහුගේ ගෙදර ගැනත්. ඒක නිසා දැන් වගකීම වැඩියි.

 

මේ තරම් ඉක්මනට විවාහ වෙන්න හිතුවේ ඇයි?

විවාහය ඉක්මන්වීමක් කියලා මම හිතන්නේ නැහැ. ඒක කෙනෙක්ගෙ කැමැත්ත අනුව තීරණය වෙන දෙයක්. සමහරු කැමති ටික කාලයක් ඉඳලා විවාහ වෙන්න. තව කෙනෙක් කැමතියි ඉක්මනට විවාහ වෙන්න. ඒත් මම හිතනවා මගේ හොඳම කාලයේ තමයි මම විවාහ වුණේ කියලා.

 

දඟකාර කාවින්ද්‍යාගෙ හිත ගත්ත ඔහු ගැන කිව්වොත්?

එයා නම් දඟ නැහැ. ඔහු ගැන කිව්වොත් වගකීම් සහගත හොඳ හිතක් තියෙන කලාවට ආදරේ කරන කලාකාමී ආදරණීය කෙනෙක්.

 

ඔහුගේ හමුවීම අහම්බයක් ද?

අහම්බයක් කියන්නේ නැහැ. ඔහු ගී පද රචකයෙක් ඒ වගේම නිෂ්පාදකවරයෙක්. ඔහුගෙ සින්දුවක රූප රචනයකට මට කතා කළා. ඒ වෙනකොට ඔහු ලංකාවේ නෙවෙයි හිටියේ. මම ඔහුගේ ගීතයේ රූප රචනයට සම්බන්ධ වෙනවා. එතැනදි ඇතිවුණු කතාබහ තමයි තාමත් මේ තියෙන්නේ.

 

කාවින්ද්‍යා, ඉදිරියෙදි රංගනයෙන් ඈත් වෙයිද?

මම රංගනයට ඇවිත් අවුරුදු හතයි. ඒ අවුරුදු හත පුරාවටම රංගනයේ නියැලූ‍ණා. ඉදිරියේදී වැඩි කාලයක් පවුල් ජීවිතය වෙනුවෙන් කැප කරාවි. ඒ වුණාට කලාවෙන් නම් ඈත්වෙන එකක් නැහැ.

 

කලා කටයුතුවලට බුද්ධිකගෙන් ලැබෙන සහයෝගය මොනවගේද?

ඔහුගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා. මොකද එයා මාව හොඳට තේරුම් අරගෙන ඉන්නෙ. මම ක්ෂේත‍්‍රයේ ඉන්න කොට ඔහු මේ රටෙත් නෙවෙයි ජීවත් වුණේ. එයත් කලාවට ගොඩක් නැඹුරු කෙනෙක් නිසා මගේ අඩුපාඩු වුණත් පෙන්නල දෙන්න ඔහුට පුළුවන්කමක් තියෙනවා.

 

ඔහුව තෝරාගැනීම ගැන මොකද හිතෙන්නෙ?

මම හිතන්නේ මගේ මොකක්හරි පෙර පිනකට, වාසනාවකට ලැබුණ දෙයක්. ඒ තරමට ම ඔහුට මාව දරාගන්න වගේම ඉවසන්නත් පුළුවන්. මම වැටුණු තැන්වල මාව නැගිට්ටුව කෙනෙක් ඔහු.

 

සුද්ධියි, කාවින්ද්‍යයි ටිකක් එක වගේ නේද?

සුද්ධිගෙ දඟකාරකම කාවින්ද්‍යාගේ චරිතය තුළත් ඒ විදියටම තියෙනවා. නමුත් සුද්ධි කියන්නේ දඟකාරකම් එක්ක සරලව පෙනුනට ටිකක් බැ?රුම් චරිතයක් පවුලෙ බර කරට අරගෙන සහෝදරයාගෙනුත් කිසිම උපකාරයක් නැතිව ගමේ මදාවියන්ගෙන් එන කරදර තනියම දරාගෙන ඉන්න චරිතයක්.

 

ඉදිරියේදී ඔබත් විදේශ ගතවෙයිද?

ඔව්. අනිවාර්යයෙන්ම වෙයි. මොකද ඔහු ඉන්නේ ඉන්නේ පිටරට නිසා මට ඔහු ළඟට යන්න වෙයි. ඒ දේ ළඟදි සිද්ධවෙන්නේ නැහැ හේතුව මම භාරගත් වැඩ තියෙනවා.

 

ඉදිරි බලාපොරොත්තු මොනවාද?

සතුටින් පවුල් ජීවිතෙත් රැකගෙන, කලා කටයුතුත් කරගෙන සතුටින් ජීවත්වෙන්න බලාපොරොත්තු වෙනවා.

 

සටහන - නෙත්මි තෂාරා / ඡායාරූප : සජීව ලක්ෂාන්

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර Read Previous

පොතුකබර රෝගය සමග ඇතිවන සන්ධි ගත රෝග වලින් විදවන ඔබට ස්ථිර වූ සුවය ගෙන දෙන හෝමියෝපති ප්‍රතිකාර

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද? Read Next

කැලිෆෝනියාවෙන් නගරයක් මිලට ගමුද?

Realted Post

Leave a comment