ක‍්‍රවුන් එක බොරුවක්ද?

 

පිලිපීනයේ මැනිලා නුවර පසුගියදා පැවැත් වූ  Mrs. Earth International 2023  තරගාවලියේ ලෝක විවාහක මිහිතල රූ රැජින කිරුළට තරග වැදුණු තරගකාරියන් අතුරින්  ”2023 විවාහක මිහිතල රූ රැජින” කිරුළ හිමි කරගැනීමට සමත් වූයේ ශ්‍රී ලංකාව නියෝජනය කළ සශ්මි දිසානායකයි.  විශ්ව රූ රැජින, ජාත්‍යන්තර රූ රැජින, ලෝක රූ රැජින තරගය හැරුණු විට ලෝකයේ පවත්වනු ලබන දැවැන්තම ? රැජින තරගයක් ලෙස මිහිතල රූ රැජින තරගය හැඳින්වෙන අතර පාරිසරික දැනුවත්භාවය, පාරිසරික සංරක්ෂණය සහ සමාජ වගකීම ඇති කිරීම අරමුණු කරගනිමින් ජාත්‍යන්තර මට්ටමින් වාර්ෂිකව පවත්වනු ලබන මෙම තරගය හරහා රූපසුන්දරියන් තෝරා ගැනීම මෙහිදී සිදු වේ.

ලෝක විවාහක මිහිතල රූ රැජින තරගාවලියේ කිරුළ මෙන්ම මෙම තරගයේ අනු තරග සියල්ල දිනාගත් මෙරට පළමු රූ රැජින ලෙසද ඇය ලොව දිනූ ශ්‍රී ලාංකික රූ රැජිනියන්ගේ වාර්තා අතරට එක්වීම විශේෂත්වයකි. එමෙන්ම ඇය ලෝක විවාහක මිහිතල රූ රැජින කිරුළ හිමි කරගන්නේ පිලිපීනය, ජපානය, ඇමෙරිකාව, තායිලන්තය, එක්සත් අරාබි එමීර් රාජය්‍ය, සිංගප්පූරුව සහ නයිජීරියාව ඇතුළු ප‍්‍රබල රටවල් 45 ක් නියෝජනය කරමින් පැමිණි තරගකාරියන් 60කට ආසන්න පිරිසක් අභිබවමිනි. විසි එක්හැවිරිදි වියේ පසුවන සශ්මි දිසානායක අම්පාරේ පදිංචිකාරිනියකි.
මේ ඇයගේ කතාවයි. 

කිරුළ හිස පලඳිනවාත් එක්කම මේ තරගය ව්‍යාජ එකක්බව සමාජ මාධ්‍යයේ පැතිරෙන්න ගන්නවා. ඇත්ටම මොකද්ද මේ පටලැවිල්ල? 

ලොකු පටලැවිල්ලක් එක්ක මට හරියට මඩ ප‍්‍රහාර වැදුණා. මේ විවාහක මිහිතල රූ රැජින ජාත්‍යන්තර තරගයේ ප‍්‍රධාන අංශ 3 ක් පැවැත්වුණා. ඒ ඒ තරග අංශවලට ජයග‍්‍රාහකයෝ දෙන්නා බැගින් තේරුවා. ඒ කිරුළු දෙක සමානයි. ලැබුණු හැමදේමත් එක සමානයි. මේක ගැන එයාලගේ ජාත්‍යන්තර මාධ්‍යවල තේරුම් ගන්න පුළුවන් විදිහට පැහැදිලි කරලාත් තියෙනවා. මම තරග වැදුණු අංශයෙන් Mrs. Earth International   සහ Mrs. Earth කියලා දෙන්නෙක් එයාලා තේරුවා. මේ දෙකේම තරග වදින්න තිබුණු අතුරු අංශ එකයි. එක්තරා නිවුස් චැනල් එකක වැරදියට මට ලැබුණේ Mrs. Earth කියලා ගිහින් තිබුණා ඒක තමයි මේ සමාජ මාධ්‍යවල අල්ලගෙන මට මඩ ගැහුව්වේ. හද්ද ඩොටේ ඉඳන් ආපු කෙල්ලෙක්ව  ඕකට යැව්වේ ඇයි කොළඹ කෙල්ලො හිටියෙම නැද්ද කියලාත් සමහරු අහලා තිබුණා. ගමේ තරුණියන්ට මේ තරග අකැපද කියලා තමයි මට අහන්න තියෙන්නේ. පස්සේ බොරු ගොසිප් හදපු කෙනා ඒ පෝස්ට් ඉවත් කරගෙන තිබුණා. මම ජයග‍්‍රහණය කළේ ලෝක විවාහක මිහිතල  රූ රැජින කියන කිරුළ. මම කොතනකදිවත් මමයි Mrs. Earth කියලා නෑ. Mrs. Earth කෙනෙක් වෙනම තේරුණා. ඇය ඩුබායි රාජ්‍යයේ තරුණියක්. 

මට කියන්න තියෙන්නේ තමන්ගේ රටට ලැබුණු කිරුළ විවේවනය කරන්න තරම් කුහක වෙන්න එපා කියලයි.
කොහොම වුණත් ලංකාවෙන් බිහි වුණු පළමු ලෝක විවාහක මිහිතල රූ රැජින කිරුළ ඔබේ හිස මත තියෙනවා. බාධක මැද්දේ ආපු ගමන ගැන මොකද හිතෙන්නේ? 

   

මම රුක්මාල් සර්ගේ නිරුපණ ක්ලාස් එකට එන්නේ 2021 දි. මට  ඕනැ වුණේ රෑම්ප් මොඞ්ල් කෙනෙක් වෙන්න. ඒ ඉගෙන ගන්න කාලේ මම දැක්කා මේ  තරගයට යොමු කරන්න කියලා දාලා තියෙනවා. පස්සේ මම සර් යටතේ පුහුණු වෙලා ඒ තරගයට ඉදිරිපත් වුණා. ලංකාවේ පැවතුණු තරගයේදි මට අංශ අටකින් ජයග‍්‍රහණ ලැබුණා. ඒකේදිත් මට ලොකු තරගයක් තිබුණා. 35දෙනෙක් එකක් තරග වැදිලයි ජාත්‍යන්තර තරගය සඳහා මම සුදුසුකම් ලැබුවේ.
 ජාත්‍යන්තර තරගය ඊට වඩා ලොකු අභියෝගයක් වුණා. ඒත් මම අමාරුයි කියලා අතෑරියේ නැහැ. ඇත්තටම මේතාක් ලංකාවේ නිරූපිකාවක් Mrs. Earth best in catwalk, Mrs. Earth overall best in Gown, Mrs. Earth overall best in Resort Wear, Mrs. Earth best In Talent යන අනු  තරගාවලි හතරම ජාත්‍යන්තරය  නියෝජනය කරලා ජයගත් එකම කෙනා මම. Mrs. Earth best In Talent තරග අංශයට මම කළේ ගිනිකෙළි එක්ක පහතරට ශාන්තිකර්මයක කොටසක්. මගේ ඒ  රංගනයට හැම රටකින්ම ලොකු ප‍්‍රතිචාරයක් ලැබුණා. 

නිරූපණ ක්ෂේත‍්‍රයට එන්න පුළුවන් කොළඹ කෙල්ලන්ට විතරයි කියලා හදාගත් සමාජ මතයක් ඇතුළෙ සශ්මි කොහොමද මේ පාර කපාගන්නේ?

මගේ උපන් ගම අම්පාර. ගම අම්පාර වුණාට මම පාසල් ගියේ නුවර ගේට්වේ ජාත්‍යන්තර පාසලට. පොඩි කාලේ ඉඳලම නිරූපණ ක්ෂේත‍්‍රයට එන්න ආසාවෙන් හිටියා. නිරූපණයට එන්න හිතුවාට මේ තරම් දුරක් එන්න ලැබෙයි කියලා කවදාවත් හිතිලා නැහැ. ඇත්තටම ඒක හරියට හීනයක් වගේ.
නිරූපණය ඉගෙන ගන්න අම්පාරේ ඉඳලා කොළඹ එනවා කියන එකම මාර කට්ටක්. ඒ වගේ නගරයක ඉපදිලා මේ වගේ තැනකට එන්න ලැබීම ගැන ලොකු ආඩම්බරයක් දැනෙනවා. 

මවුපියන්ගෙන් ලැබුණු සහාය කොහොමද? 

මගේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා ගෘහිණියක්. මගේ පවුලේ අයියයි මමයි විතරයි. මගේ තාත්තා මම මේ ක්ෂේත‍්‍රයට එනවට පොඞ්ඩක්වත් කැමති වුණේ නැහැ. මගේ සැමියා තමයි තාත්තාගෙන් අවසර අරන් දුන්නේ. මගේ අම්මා තමයි මම ජීවිතේ කඩා වැටෙන තැන්වලදි ලොකුම ශක්තිය වුණේ. මගේ සැමියා මිහාන් ලෝෂිත. ඔහු ව්‍යාපාරිකයෙක්. මේ ගමන යන්න මට ලොකුම ශක්තිය වුණේ ඔහු. 

මොනවද ඉදිරි සැලසුම්?

මේ කිරුළ එළියෙන් පෙනෙන තරම් සුන්දර නැහැ. කිරුළ ඇතුළෙ වගකීම් ගොඩක් තියෙනවා. ගොඩක් ව්‍යාපෘති කරන්න තියෙනවා. පරිසර හිතකාමී දේවල් කරන්න මම හිතාගෙන ඉන්නවා. ඉදිරියේදී නිරූපණ කටයුතුවලත් යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම කැමතියි මං වගේම දුෂ්කර පළාත්වල ඉන්න නිරූපණයට එන්න කැමති තරුණියන්ට පාර හදලා දෙන්න. මට තව එක හීනයයි තියෙන්නේ ඒ ලෝක විවාහක  රූ රැජින තරගයට තරග කරන්න. ඒකට තව කාලය තියෙනවා.

සටහන - නදීශා අතුකෝරළ
ඡායාරූප  - සජීව ලක්ෂාන්

 

සිරිකත Fashion Read Previous

සිරිකත Fashion

වයසට යන්න බයවෙන්නෙපා Read Next

වයසට යන්න බයවෙන්නෙපා

Realted Post

Leave a comment