ගැහැණු ළමයින්ට කළ හැකි දේ බොහෝයි. ඒත් පරිස්සමින්

 

ප්‍රාසාංගික වේදිකාවේ සිංහල මෙන්ම ඉංග්‍රීසි බසත් හොඳින් හසුරුවන නිවේදිකාවක් විදියට මේ දවස්වල දකින්න ලැබෙන කෙනෙක් තමයි සනුවි මුදන්නායක කියන්නෙ. සිරිකත Online මේ කතාබහක යෙදෙන්න ඇය සමඟ.

 


අවුරුදු ජයයි ද ?
කලින් අවුරුදු දෙකට වඩා  නම් අවුරුදු ජයයි. කොවිඩ් වගේම රටේ ආර්ථික තත්වයත් එක්ක කලින් අවුරුදු දෙකේ හිර වෙලානෙ හිටියේ. මේ පාර ඒ තත්වෙ ටිකක් පාලනය වෙලා තියෙනවා. සිංහල හින්දු අලුත් අවුරුද්ද කියන හැඟීම කලින් අවුරුදුවලට වඩා දැනුනා. ඒක නිසා අවුරුදු ජයයි. හැබැයි කාර්යබහුල බවත් නැතුවම නෙමේ.

 

ඔබේ විස්තර ටිකක් කිව්වොත් ?
මම සනුවි මුදන්නායක. මගේ ගම  ඇරැව්වල,පන්නිපිටිය. මම ඉගෙන ගත්තේ රෝයල් ඉන්ස්ටියුට් ජාත්‍යන්තර පාසලේ. මගේ පවුලේ ඉන්නේ අම්මයි, තාත්තයි, නංගීයි, ආච්චි, සීයයි, මමයි. මම දැනට පෞද්ගලික ආයතනයක වරලත් ගණකාධිකාරිවරියක් විදියට සේවය කරනවා. මීට අමතරව දෙරණ නිවේදිකාවක් වගේම ප්‍රවෘත්ති නිවේදිකාවක් විදියටත් කටයුතු කරගෙන යනවා.

 

සනුවිව ගොඩක් අය දන්නෙ කොහොමද?
සනුලි පැති කිහිපයකින්ම කැපී පෙනෙන කෙනෙක්. මාව ඒ පැතිවලින් දකින අය ඒ අංශයට අදාළව තමයි මාව අඳුන ගන්නේ. නිවේදන ක්ෂේත්‍රය ගත්තොත් මම නිවේදනය කරන වැඩසටහනට අනුව මම හැඩ ගැහෙනවා. ලැබෙන වැඩසටහන සීරියස් එකක් නම් සිරියස් සනුවි කෙනෙක් තමයි එතන ඉන්නෙ. රැකියාවේ දී නම් ඒ වැඩත් එක්ක දකින්න ලැබෙන්නේ සීරියස්  සනුවි කෙනෙක්. හැබැයි සාමාන්‍ය ජීවිතයේදී නම් මේ දෙකටම වඩා වෙනස් සැහැල්ලු විනෝදයෙන් ඉන්න සනුවි කෙනෙක් තමයි දකින්න ලැබෙන්නේ. හැබැයි ඔය අවස්ථා තුනේදිම සනුවි කතා කරන එක නම් නවත්තන්නේ නැහැ.

 

නිවේදිකාවක් වෙන එක පුංචි කාලේ ඉඳලම තිබුණ හීනයක් ද?
ඇත්තටම කිව්වොත් පුංචි කාලේ ඉඳලම නිවේදිකාවක් වෙන්න හීනයක් තිබුනේ නැහැ. පුංචි කාලෙදි අහම්බෙන් රේඩියෝ නාලිකාවකට සම්බන්ද වෙන්න අවස්ථාව ලැබුණත් අධ්‍යාපන කටයුතුත් එක්ක ටික කාලෙකින් ඒකට සමුදෙන්න සිද්ධ වුණා. මගේ නිවේදන හැකියාව හොඳටම අඳුනගන්නෙ පාසල් කාලයෙන් පස්සේ. දිදුල ළමා නාලිකාවට සම්බන්ද වීම තමයි ඒ ගමනෙ මුල. A plus නාළිකාව එක්ක වගේම channel 01 නාළිකාව සමඟත් සම්බන්ධව කටයුතු කරන්න මට අවස්ථාව ලැබුණා. ඊට පස්සේ තමයි ප්‍රධාන රුපවාහිණි නාලිකාවක් සමඟ සම්බන්ද වෙන්නේ. ඒ විදියට තමයි ඉංග්‍රීසි වගේම  සිංහල නිවේදිකාවක් විදියටත්  මම ඉදිරියට එන්නේ.

 

 

පුංචි වයසකින් මෙපමණ දුරක් ආවේ කොහොමද?
පුංචි වයසකින් මට මේ වගේ තැනකට එන්න ලැබුණේ මගේ දෙමව්පියන් නිසා. මගේ තාත්තා නිතරම අධ්‍යාපන කටයුතුවලට අවශ්‍ය මඟ පෙන්වීම ලබා දුන්නා. මම හිතන විදියට මගේ අම්මා තමයි මගේ මාධ්‍ය ජීවිතයට අවශ්‍ය මගපෙන්වීම ලබා දුන්නෙ.

 

කාර්යබහුලත්වය එක්ක අධ්‍යාපනය සමබර කරගන්නෙ කොහොමද ?
රැකියා ස්ථානයෙන්, පවුලෙ අයගෙන් වගේම යහළුවන්ගෙන් ඊට ලොකු සහයෝගයක් ලැබෙනවා. රැකියාවක ඉන්න ගමන් මීඩියා වල වැඩ කරනවා කියන එක එතරම් පහසු දෙයක් නෙමේ. ඒත් මං ඒ දේවල් කරන්නේ ගොඩක් ආසාවෙන්. හැම වෙලාවෙම වගේ මට නින්ද කියන දේ මිස් වෙනවා. ඒත් ඒ දවසට අදාළ වැඩ ටික ඉවර කර ගත්තම මට දැනෙන්නෙ ලොකු සතුටක්. ඒ විදිහට තමයි මම වැඩ කළමනාකරණය කරගන්නේ.

 

ඉංග්‍රීසි නිවේදනයට මීට වඩා තැනක් ලැබිය යුතුයි නේද ?
මම දකින විදියට ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිවේදනය කරන්න ඕනෑ තරම් අවස්ථා තියෙනවා. හැබැයි ඒ දේවල් ජනතාව අතරට යන එක අඩු මට්ටමක තමයි තියෙන්නේ. ඒකට හේතුව ලංකාවේ වැඩි පිරිසක් නරඹන්න වගේම අහන්න කැමති සිංහල මාධ්‍ය දේවල් නිසා. ඉංග්‍රීසි මාධ්‍ය නිවේදනයට ඕන තරම් අවස්ථා තිබෙනවා. හැබැයි නැත්තේ ප්‍රසිද්ධියේ කියන දේ. එහෙමයි කියලා හැකියාවත් තිබිලා ක්ෂේත්‍රයට නොඑන එක නම්  මෝඩකමක්.

 

තරුණියක් කියන්නේ කොහොම කෙනෙක්ද?
මම හිතන විදියට ගෑනු ළමයෙක් කියන්නේ ඕනම දෙයක් කරන්න පුළුවන් කෙනෙක්. හැබැයි සමාජය අපි කරන දේවල් දිහා බලාගෙන ඉන්නවා එයාලම හදාගත්ත රාමුවක ඉඳලා. අපි වෙනස් දෙයක් කළොත් එයාල ඒක දකින්නෙ වෙනස් දෙයක් විදියට. හැබැයි හොඳ අධ්‍යාපනික පසුබිමක් තියෙනවා නම් සමාජය ඒ කෙනා දිහා දිහා බලන්නේ ගරුත්වයකින්. එයාලට විශ්වාසයක් තියෙනවා ඒ දේවල් කරන්නේ හේතුවක් නිසා කියලා. තව පැත්තකින් බැලුවොත්  ගැහැණු ළමයෙකුට නිදහස අඩුයි. හැබැයි ඒ දේ ලැබෙන්න නම් දෙමව්පිය විශ්වාසය කඩ කරන්න හොඳ නැහැ. කොහොමත් මාධ්‍යට එහෙම කියන්නේම ගොඩක් දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියන එක. ගැහැණු ළමයෙක්ට ඕනම දෙයක් කරන්න පුළුවන්කම තියෙනවා. හැබැයි පරිස්සමෙන්.

 

 

සනුවි ආස මොනවගේ විලාසිතාවලට ද?
වෘත්තිමය මට්ටමේ වැඩසටහනකදී මම ගොඩක් කැමතියි බ්ලේසර් එක අඳින්න. ඒ ඒ වැඩසටහන අනුව විලාසිතා වෙනස් වෙනවා. හැබැයි මගේ එක දෙයක් වෙනස් වෙන්නේ නැහැ. ඒ තමයි තම මම ගොඩක් කැමති හීල්ස් දාන්න. එදිනෙදා ගත්තොත් මම වැඩිය ඒ ගැන සැළකිල්ලක් දක්වන්නෙ නැහැ. විශේෂයෙන් මම  ඒ ගැන සැලකිල්ලක් දක්වන්නෙ කට්ටිය එක්ක කන්න යනකොට. ගොඩක් කැමතියි ටී ෂර්ට් එකට. මම නිතරම කන්න ආස කෙනෙක් නිසා මම හිතනවා එහෙම ඇන්දම  ගොඩක් කන්න පුළුවන් කියලා. (සිනාසෙමින්)

සටහන - නෙත්මි තෂාරා

තංගල්ල කාල්ටන් නිවසෙ   අවුරුදු Read Previous

තංගල්ල කාල්ටන් නිවසෙ අවුරුදු

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා  නස්රීන් Read Next

ගැහැනිය වෙනුවෙන් සටන් වැදි ලේඛිකාව තස්ලිමා නස්රීන්

Realted Post

Leave a comment