සිත් දැහැන්ගත කරවන අමුතු හැඩයකි

විටෙක ඔහු වේදිකා නළුවෙකි, තවත් විටෙක ටෙලි නාට්‍ය නළුවෙකි, පේ‍්‍රමණීය සිනමා නළුවෙකි. මේ භූමිකාවන්ගෙන් පිටත දක්ෂ නිවේදකයෙක් මෙන්ම හදවත් වසඟකරගත් ගායකයෙකි. මෙරට කලා ක්ෂේත‍්‍රයේ එක් යුගයක් ඒ කඩවසම් රූ සපුවෙන් ස්පර්ශ කළ සිහින කුමරා වූ ඔහු ප‍්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි ය.

කලා නිර්මාණ තුළින් එදා තරම් අද ඔහුව දකින්නට නොලැබුණත් දශක හතරහමාරකට වැඩි කාලයක් පුරාවට රැස් කළ ගීතවලින් ඔහුගේම හඬින් කරළියට එන ”ඔබයි මමයි” ප‍්‍රසංගය  ඔහුගේ කලා ගමනේ තවත් සුවිශේෂී සටහනකි. මේ ‘ඔබයි මමයි’ හරියටම කවුදැයි අපි ඔහුගෙන් විමසුවෙමු. 

මොකක්ද මේ ඔබයි මමයි?  

මගේ කලා ජීවිතේ පැත්තෙන් පහුගිය කාලේ ලොකු නිහැඬියාවක් වගේම ටිකක් උදාසීන තත්ත්වයකින් යනවා වගේ මට දැනුණා. එක පැත්තකින් මේ නිහැඬියාව ඇතුළෙ මටත් යම් උත්තේජනයක් අවශ්‍ය වුණා.
මම චිත‍්‍රපට නිෂ්පාදනයට යොමුවෙන්න කියලා පහුගිය කාලේ  මගේ ගෙදරම චිත‍්‍රාගාරයක් පවා හැදුවා. සංස්කරණ මැදිරියක්, දෙබස් පටිගත කරන්න සංගීතය පටිගත කරන මැදිරියක් හදලා ඉවරවෙනකොට ම කොවිඞ් ආවා. එතනදි මගේ සිනමා නිෂ්පාදන සිහිනය බොඳ වුණා. එහෙම ඉන්නකොට මට හිතුණා රසිකයින් වෙනුවෙන් කුමන හෝ ආකාරයේ රසවින්දනයක් ලබා දිය යුතුයි කියලා. මගේ නිහැඬියාව බිඳීන්න මේක තමයි අවස්ථාව කියලා හිතලා තමයි ‘ඔබයි මමයි’ ප‍්‍රසංගය කරන්න තීරණය කළේ.
මේ වගේ ප‍්‍රසංගයක් පවත්වන්න පුළුවන් කලාකරුවෝ ඉන්නේ හතරදෙනයි. ඒ හතර දෙනාගෙන්ම දැනට ජීවත්වෙලා ඉන්නේ මම විතරයි. ඒ තමයි විජය කුමාරතුංග, ප්‍රෙඞී සිල්වා, රුක්මණී දේවී සහ මම. මේක ගත්තාම ලෝකයේ සුවිශේෂී වර්ගයේ ප‍්‍රසංගයක් කිව්වොත් හරි.

නිහඬිතාව බිඳීන්න ඇයි ගීතයම තෝරගන්න සිතුවේ?

මිනිස්සු හරි කැමතියි සංගීතය රසවිඳින්න. සංගීත ප‍්‍රසංග කලාව වෙනත් මානයකින් දකින්න සහ ප්‍රේක්ෂකයාට වෙනස්ම රසාස්වාදයක් දෙන්න  ඕනෑ කියන හැඟීම තමයි මට ආවෙ. ඒ වගේම මේක මගේ හිතේ කාලයක් තිස්සේ තිබුණු හීනයක්. ඒක සැබැ කරගනන  ඕනෑ කියලා හිතුවා. මේක ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. මේ ප‍්‍රසංගයේ හැඩය සම්පූර්ණයෙන් ම වෙනස්. 

මොකද්ද ඒ වෙනස?

ශ‍්‍රව්‍ය, දෘශ්‍ය විදිහට තමයි මේක ඉදිරිපත් කෙරෙන්නේ. අතීතයේ මගේ චිත‍්‍රපට නිෂ්පාදනවල තිබුණු ගීත, රූප, ජවනිකා, මම රඟපාෑ චිත‍්‍රපට හා ටෙලි නාට්‍යවල මම ගායනා කළ ගීත, පසුබිම් ගායනයට ලැබුණු ගීත ආදියත් එකතු කරගෙන තමයි මේ වෙනස්ම අත්දැකීම ප්‍රේක්ෂකයාට දෙන්න බලාපොරොත්තු වෙන්නේ.

ඔබේ ගායකයට එතරම් ඉඩක් දීපු කෙනෙක් නොවෙයි නේද ඔබ?

ඔව් ඇත්ත.... මම මගේ ගායකයාට ඒ තරම් ඉඩක් දීපු කෙනෙක් නෙමෙයි. හරියට බැලූවොත් මම ගායනා කරලා තියෙන්නේ ගීත 20 ක් වගේ පුංචි සංඛ්‍යාවක්. ඒත් මම ඒ ගායකයාට හරිම ආදරෙයි. මම මේ ප‍්‍රසංගය ආරම්භ කරන්නේ ඩබ්ලිව්. ඞී. අමරදේව මහතාගේ ගීතයක් ගායනා කරමින්. ඒ වගේම පසුගිය යුගවල බැබළුණු තරු කිහිපයකුත් එදාට මා එක්ක එකතු වෙනවා. මම ගැයූ උන්මාද වූ පේ‍්‍රමාදරේ, උන්මාද සිතුවම්, පෙම්බර මධූ, සිකුරුලියා ආදී ගීත වගේම තවත් මම රඟපෑ බොහෝ නිර්මාණවල ගීත මම මේ ප‍්‍රසංගයේ ගායනා කරනවා.

ඒ චිත‍්‍රපට, ටෙලි ගීතවලට එදා තිරයේ රගපෑ පෙම්වතියනුත් එකතු වෙනවද?

ඒ අය ආරාධිතයින් විදිහට මේ සුන්දර රාත‍්‍රියට එනවා. ආපුවහම සජීවීව ඒ ඒ ගීතවලට ඒ අයත් මාත් එක්ක වේදිකාවට එක්වේවි. එදාට මාත් එක්ක ගීත ගායනා කරන්න කීපදෙනෙක් එකතු වෙනවා. සමුද්‍ර චායා ටෙලි නාට්‍යයේ ලතා වල්පොල මහත්මිය ගායනා කළ ගීතය සුබුද්ධි ලක්මාලි ගායනා කරනවා. ලතා මහත්මියට එදිනය එන්න අපහසු නිසා. රතුරෝස ටෙලි නාට්‍යයේ මාත් එක්ක ගායනා කළ ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය එදින මාත් එක්ක ගීත ගයනවා. ඊට අමතරව උරේෂා රවිහාරි මාත් එක්ක ගීත කිහිපයක් ම ගායනා කරනවා.

”ඔබයි මමයි” එක්ක රට වටෙත් යන්න සූදානමක් තියෙනවාද?

අනිවාර්යයෙන්ම ඔව්. ඉදිරියේදී ඔබයි මමයි රට වටේ විතරක් නෙමෙයි ලෝකේ වටෙත් යාවි. විදේශ රටවලිනුත් ලොකු ඉල්ලූමක් දැනටම තියෙනවා.

පහුගිය කාලේ ඇත්තටම කමල්ට මොකද වුණේ?

නිර්මාණ වලට අඩුවක් නැතිව ආරාධනා ලැබුණා. දැනටත් ලැබෙනවා. නමුත් මට නිරූපණය කරන්න තරම් උත්තේජයක් තියෙන චරිත නෙමෙයි ලැබෙන්නෙ. ගින්නෙන් උපන් සීතල චිත‍්‍රපටයේ රෝහණ විජේවීරගේ චරිතය ගත්තාම ඒකේ තිබුණා මට සෑහෙන වගකීමක්. එවැනි වගකීමක් සහිත චරිත මට ඊට පස්සේ ලැබුණෙ නැහැ. 

ටෙලි නාට්‍යවල නැවත රඟපාන්නෙ නැද්ද?

එහෙම තීරණයක නැහැ. හැබැයි මම අවුරුදු 18කින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. මොකද මම තෘප්තිමත් නැති තැන්වල මම ඉන්න කැමති නැහැ. ගොඩක් අලූත් අය මාත් එක්ක වැඩ කරලා නැති නිසා මං ගැන දන්නේ නැහැ. සමහර දේවල් මඟ ඇරීමත් එක්ක ඒ කාලේ ව්‍යාපාර කටයුතුවලට වැඩි අවධානයක් දුන්නා. තව රූපවාහිනී මාධ්‍ය තුළ රියැලටි වැඩසටහන් කළා.  ඕවා එක්ක තමයි ජීවිතේ ගෙවුණෙ.

කමල් අද්දරආරච්චි ලාංකීය ප්‍රේක්ෂකාගාරයේ සිහින කුමාරයා වුණු යුගයක් තිබුණා.  අදටත් ඒ සිහින කුමාරයට පෙම්බඳින අය ඉන්නවද?
මම සිහින කුමාරයෙක් වුණේ චිත‍්‍රපට මහා ගොඩක රඟපාලා නෙමෙයි. චිත‍්‍රපට එකක් දෙකක් රඟපාපු ගමන් ලොකු ප්‍රේක්ෂක ආදරයක් මට ලැබුණා. ඒකට රඟපෑ ටෙලි නාට්‍යත්  බලපෑවා. රතුරෝස, වෙදහාමිනේ, සමුද්‍ර චායා නාට්‍යවල ප්‍රේමණීය චරිතවලට ප්‍රේක්ෂකයෝ නිරායාසයෙන්ම බැඳුණා.
අද රඟනොපෑවත් අදටත් ඒ ආදරය මට ඒ අයුරින්ම ලැබෙනවා. මට අත්හැරුණු කාලය ගැන ඇත්තටම මට දුකක් තියෙනවා. ඉලක්කමෙන් වයසට ගියත් හදවතින් මම තාම තරුණයි. එදා හිටපු කමල් තාම ඇඟ ඇතුළෙ ඉන්නවා. දැන් මේ නිහඩතාව ඇති. මේ ප‍්‍රසංගයෙන් පස්සේ ආයෙත් මම කලාවේ වැඩ පටන් ගන්නවා. කලා කටයුතු කිහිපයක් ගැනත් සාකච්ඡුා මට්ටමෙන් යනවා.

පුත්තු දෙන්නගෙන් එක පුතෙක්වත් ඔබේ අඩි පාරේ ගෙනියන්න  අදහසක් නැද්ද? 

තමන්ගේ හැකියාවට, දක්ෂතාවට, කැමැත්තට,  ඕනම දෙයක් තෝරාගන්න පුළුවන්. විශේෂයෙන්ම අවශ්‍යතාව අනුව තමයි ඒ දේ වෙන්නේ. මමත් ඒ විදහට තමයි මේ ගමන තෝරගත්තේ. මගේ තාත්තාත් මට  ඕන දේ නෙමෙයි මට දෙන්න හැදුවේ. මගේ තාත්තා මට මේ ගමන එන්න අත දුන්නේ නෑ. මගේ අම්මා තමයි මාව තාත්තාගේ ගොරනාඩුවලින් ආරක්ෂා කරගෙන, තාත්තාගෙන් බැණුම් අහගෙන මාව නළුවෙක් කළේ. ඉතින් අපිට පුළුවන් දරුවන්ට හොඳ මග පෙන්වන්න. හැබැයි අපට බෑ දරුවන්ට නියෝග කරන්න මේකයි නුඹේ මාවත කියලා. ඒ මාවත තෝරගන්න  ඕනෑ එයාලමයි. එයාලා සමහර විට ඉදිරියේදී  කලාවට එන්නත් පුළුවන් නොයන්නත් පුළුවන්. නමුත් මගේ පාරෙම එන්න කියලා බලපැම් කරන්න බැහැ.

ඔබ රියැලටි වැඩසටන් තුළ මහා පෙරලියක් කළ නිවේදකයෙක්. ඒ නිවේදකයා ගැන අද ඔබට මොකද හිතෙන්නේ? 

ලොකු සතුටක් දැනෙනවා. ඒ වෙනස දීර්ඝකාලිනව මම අරගෙන ආවා. ඇත්තම කියනවා නම් මම ඒ නිවේදකයාට පට්ට ආදරෙයි. ඒ නිවේදකයා හරහාත් මට හැදුනා ලොකු පේ‍්‍රක්‍ෂකාගාරයක්. මගේ මේ ප‍්‍රසංගයෙත් තවත් එක විශේෂත්වයක් තියෙනවා. මගේ ප‍්‍රසංගයේ නිවේදකයෙක් නැහැ. මමම තමයි නිවේදකයා. එක්තරා විදිහකට ඔබයි මමයි ප‍්‍රසංගය අතීත ආවර්ජයක් කෙරෙන සහ සජීවීව මගේ හඬ ඒ අතීතාවර්ජනයට එකතු වෙන සුවිශේෂී ප‍්‍රසංගයක් කිව්වොත් හරි.

සටහන - නදීශා අතුකෝරළ
ඡායාරූප -  සජීව ලක්ෂාන් 

 

 

හදිසියක් නැහැ..... හෙමින් යනවා ....  සුප්පා දෙවිය ..  අභිලාෂි Read Previous

හදිසියක් නැහැ..... හෙමින් යනවා .... සුප්පා දෙවිය .. අභිලාෂි

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ Read Next

මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ

Realted Post

Leave a comment