ආදරය මියගිය තැනක මහ මැදුරු කුමටද?

රිච්මන්ඩ් කාසල් වලව්ව

 

ලෝකයේ සුප්‍රකට මෙන්ම අප්‍රකට වූත් සුවහසක් ආදර කතා අතර ශෝකාන්තයකින් අවසන්වූ ආදර කතා කොතෙකුත් ඇත්ද? ආදරය වෙනුවෙන් කරන්නට බැරි දෙයක්ද නැත. ඒ මොනදේ කළත්, සුවිසල් මන්දිර තැනුනත්, සියලු සැප සම්පත් පය පාමුලට ගෙනවිත් තැබුවත්, සතුට නැති ජීවිත ඇතුළෙ මේ සියල්ලේම අගය මිය යන බව සැබෑවක්මය. අද අපි යන්නට සූදානම් වන්නේද ශෝකාන්තයකින් කෙළවර වූ එවන් ආදරයක සුසුම් ගෑවුණු සුවිසල් මැදුරක සිරි නරඹන්නටය. ඒ අපි කා අතරත් ජනප්‍රිය වූ ලංකාවේ විශාලතම වලව්ව ලෙස කතබහ කෙරෙන කළුතර රිච්මන්ඩ් මන්දරය යි.

කඵතර දිස්ත්‍රික්කයේ කඵතර නගරයෙන් කිලෝ මීටර තුනක් පමණ නගරය ඇතුළට වන්නට පිහිටා තිබෙන මේ තේජමාන වලව්ව දකින ඕනෑම අයෙකුට ඇතිවන්නේ හිතන්නටවත් නොහැකි තරම් වන පුදුම සහගත බවක්. ඒ මේ සුවිසල් වලව්වේ ඇති විශාලත්වය සහ ගෘහ නිර්මාණයේ ඇති සැලස්ම නිසා. මෙහි ගිය අපට මේ ගැන තවත් කුතුහලය මුසුවූ බොහෝ ස්ථාන දැකබලා ගන්නට අවස්ථාවද හිමිවුණා. 


මුලින්ම අපි මේ සුවිසල් මැදුරේ ඇති විශාලත්වය බලමු. ලංකාවේ මොනතරම් විශාල වලව් තිබුණත් මේ සියල්ලම පරදවන අපේ රටේ විශාලතම වලව්ව ලෙස සැලකෙන්නේ කළුතර රිච්මන්ඩ් මන්දිරයයි. අක්කර 42 ක භූමි ප්‍රමාණයක පිහිටා ඇති මෙම වලව්වේ ඇති සම්පූර්ණ උඵවහු ප්‍රමාණය 99 ක්. ඒ විතරක්ද ජනෙල් 38ක් හා කාමර 14ක් දකින්න පුළුවන්. මේ තොරතුරුවලින් මෙහි ඇති සුවිසල් බව මොනතරම් ද යන්න ඔබට දැනටමත් පුදුම හිතෙනවා ඇති. මේ කාමර අතරට කන්තෝරු කාමර, නැටුම් ශාලා, නිදන කාමර, විශාල පෝටිකාවක්, මැද මිදුලක්, මැද සාලයක් සහ විශාල බැල්කනියක් අපට දැගකන්න පුළුවන්. ඒ වගේම මෙහි කාමර සැලසුමේ තවත් සුවිශේෂී බවක් ඇති බව අපට අසන්නට ලැබුණා.

එනම් මෙම සුවිසල් මැදුරේ බිත්ති අඩියකටත් වඩා පළලකින් යුක්ත වෙන අතර මෙහි නිදන කාමර නිර්මාණය කර තිබුණේ ඇතුළත ශබ්ද එළියට නොයන්න සහ එළියේ ශබ්ද ඇතුළතට නොඑන ලෙසයි.  

වායුසමීකරණය කළ වලව්ව


මේ විශාල වලව්ව සම්පූර්ණයෙන්ම ස්වභාවික ලෙස වායුසමීකරණය කර තිබෙන බවද සඳහන් වෙනවා. එය අපිට විශ්වාස කරන්න බැරි තරම් පුදුම සහගත දෙයක් කිව්වොත් නිවැරදියි. මේ මුඵ වලව්වම ස්වාභාවික වායුසමීකරණ පද්ධතියකින් සීතල වෙනවා. මෙය ක්‍රියාත්මක වන්නේ වැසි ජලය බට පද්ධති තුළ එකතු වී නිවස පුරා බිත්ති තුළින් ගමන් කරන සුවිශේෂී ක්‍රමයකටයි.

මහ වලව්වේ නිර්මාතෘ 


මේ ප්‍රතාපවත් වලව්වේ අයිතිකරු වූයේ මහමුදලිවරයකු වූ එන්.ඩී.ආතර් ද සිල්වා විජේසිංහ සිරිවර්ධනයි. එවකට ජීවත් වූ ඉඩම් හිමි ධනවතෙකු වූ පවුලිස්  සිල්වාගේ පුතා ආතර්ද සිල්වා යි. කළුතර වගේම කොළඹ ද දේපල රාශියක් මේ පවුලට හිමිව තිබූ බව සඳහන් වෙනවා. මේ විශාල වලව්ව නිර්මාණය කළේ ඔහුයි. 1910 මුල් භාගය වනවිට මෙම මැඳුර මුළුමනින්ම තනා අවසන්කර එය රිච්මන්ඩ් කාසල් ලෙස නම්කර තිබුණා. මෙම මහා මන්දිරය විවෘත කිරීමට පැමිණ තිබුණේද ඉන්දීය මහාරාජවරයෙකු වූ අතර ඔහුද මෙහි විශාලත්වය දැක පුදුම වී ඇති බව කියවෙනවා. මේ රාජ මන්දිරයේ විවෘත වීමත් සමගම ආතර්ගේ විවාහයද සිදුවී තිබුණා. ඒ ක්ලැරිස් මැටිල්ඩා මෝඩ් සූරිය බණ්ඩාර මෙනවිය සමඟයි. මේ විවාහ උත්සවය සඳහා එංගලන්තයේ ජෝර්ජ් රජ පවුලේ නියෝජිතයන් මෙන්ම ප්‍රභූන් රැසක් සහභාගී වී තිබුණා. 

දෙදරා ගිය ආදරය


ආතර් යුවල විවාහ වීමෙන් පසුව වසර 11 පුරාවට මේ මහා මන්දිරය තුළ ජීවත්ව තිබුණා. මොනතරම් සැප සම්පත් තිබුණත් මේ විවාහය සතුටින් ගෙවී ගිය විවාහයක් ලෙස සඳහන් වන්නේ නැහැ. මහා මන්දිරවලින් ජීවිතයේ සතුට සොයා ගැනීමට ඔවුන් අපොහොසත් වී තිබුණා. මුදලි ආතර්ගේ බලාපොරොත්තු එකින් එක බිඳ වැටෙද්දී සේවකයන් විශාල පිරිසක් රැඳුණු මේ මහා මන්දිරයේ සුන්දර ක්ලැරික්ස් හුදකලා වුණා. ඇතැම්විට ඔවුන් දෙපලට දරු සම්පත් නොලැබීමත් ජීවිතයේ සතුට අහිමිවන්නට හේතුවන්නට ඇතිබව කියන්න පුළුවන්. මේ මන්දිර භූමියේ තැනින් තැන තිබෙන ළමුන්ගේ ප්‍රතිමා මහ මුදලිට දරු සම්පතක් ගැන තිබූ බලාපොරොත්තුවේ සංවේදී සටහන් බවට සාක්ෂි දරනවා වන්නට ඇති. 


අප්‍රසාද වූ විවාහ දිවිය මෙසේ ගෙවෙද්දි මුදලිවරයා අලුතින් මිලදී ගත් වාහනයේ රියදුරා සමග බිරිඳ වූ ක්ලැරික්ස් අනියම් සබඳතාවක් පවත්වන බවට මුදලිවරයාට දැනගන්න ලැබෙනවා. නමුත් මේවායේ සත්‍ය අසත්‍යතාව ගැන සැක සහිත බවද කියැවෙනවා. කෙසේ නමුත් මේ තුළින් මුදලිවරයාට මේ විවාහය පිළිබඳ තිබූ හැඟීම තව තවත් එපාවී ගිය බවයි කියැවෙන්නේ. මේ සියලු කලකිරීම් අවසානයේදී ඔහු බිරිඳටත් නොකියාම හිටි හැටියේ අතුරුදන් වෙනවා. 


එසේ සැඟවෙන්නට කලියෙන් ඔහු තම අන්තිම කැමති පත්‍රයද හොර රහසේම ලියා තබනවා. එහිදී රිච්මන්ඩ් මන්දිරය ඇතුළු දේපල රැසක් ඔහු ආණ්ඩුවේ මහා භාරකාරවරයාට පවරා තිබුණා. ඒ ගැන බිරිඳ හෝ නෑදෑයින් දැනගෙන සිට නැහැ. අවසානයේදී ඔහු ජීවිතයේ තමන් විසින් ගොඩනැගූ සියලු සැප සම්පත් වස්තුවල ඇති බැඳීම් අතහැර තමන්ගේ අවසන් කාලය මහනුවර රැජින හෝටලයේ කාමරයක් වෙන් කරවාගෙන එහි ගෙවා දැමීමට කටයුතු කළ බව සඳහන්. වර්තමානයේදී මේ වලව් මැදුර ළමා සුබසාධන කටයුතු වෙනුවෙන් වෙන්වී ඇති බවද අපට දැනගන්න ලැබුණා.

අදටත් මහා ප්‍රතාපවත් ලෙසින් විරාජමාන වන මෙම මන්දිරය තුළ සැඟවුණු තවත් රසවත් කතාබස් පවතිනවා. ඒ වටා ගෙතුණු කතාබහ දැනගන්න මෙන්ම ලංකාවේ තිබෙන සුවිශේෂී ස්ථාන නරඹන්න කැමති ඔබට මේ මැදුරේ මතකය ජීවිතයට අලුත් අත්දැකීමක්, මතකයක් එකතු කරනවාට සැක නැහැ.

සටහන - නයනා උදයංගනී 

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක් Read Previous

කවුරුත් කවදත් ආස කරන ආදරේ කරන චරිතයක්

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස් Read Next

සිරිකත සංවත්සරය වෙනුවෙන් සම්පත් දායකයින්ගේ අදහස්

Realted Post

Leave a comment