නෙල්ලි රසකිඳ රූ සත්කාර

අපේ රූපය ලස්සන කරගන්නත්, තරුණ පෙනුම දිගු කාලයක් රැකගන්නත් අපි නොයෙකුත් රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කරනවා. ඒ අතරේ ස්වභාවධර්මයෙන් අපට ලැබුණු ඖෂධීය ගුණයෙන් පිරි දේශීය ශාක වර්ග දෙකක් වන නෙල්ලි සහ රසකිඳ ගැනත් අමතක කරන්න බැහැ.

පුරාණයේ සිටම ආයුර්වේද වෛද්‍ය විද්‍යාවේදී ඖෂධීය ගුණ සඳහා භාවිත කළ නෙල්ලි සහ රසකිඳ, සෞඛ්‍යය මෙන්ම රූපලාවන්‍ය රැකගැනීම සඳහා ද වැදගත් ශාක දෙකක් ලෙස සැලකෙනවා.

විශේෂයෙන්ම සමේ නිරෝගී බව, හිසකෙස්වල පෝෂණය සහ ශරීරයේ අභ්‍යන්තර සෞඛ්‍යය වෙනුවෙන් මේවායේ ඇති ගුණ ප්‍රයෝජනවත් විය හැකියි.

ඉතින් මෙවර සිරිකත රූ රහසින් අපි කතා කරන්නේ නෙල්ලි සහ රසකිඳ එකතු කරගෙන සරලව නිවසේදීම සකස් කරගත හැකි ස්වභාවික පානයක් ගැනයි.

මොනවාද මේ නෙල්ලි සහ රසකිඳ?

නෙල්ලි යනු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක සංයෝග බහුල පලතුරක්. ශරීරයේ සෛලවලට සිදුවන ඔක්සිකාරක හානි අවම කිරීමටත්, සමේ සාමාන්‍ය සෞඛ්‍යය පවත්වා ගැනීමටත් එහි පෝෂණ ගුණ දායක වෙනවා.

රසකිඳ යනු දේශීය ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ දීර්ඝ කාලයක් තිස්සේ භාවිත කරන ඖෂධීය වැලක්. ආයුර්වේදයේ රසායන ගුණ සහිත ඖෂධයක් ලෙස ද මෙය හඳුන්වනවා.

මෙම ශාක දෙකම සාම්ප්‍රදායික වෛද්‍ය භාවිතයන් තුළ ආහාර ජීර්ණය, ශරීරයේ සාමාන්‍ය ප්‍රතිශක්තිකරණ ක්‍රියාකාරිත්වය සහ සමේ සෞඛ්‍යය සම්බන්ධයෙන් වැදගත්කමක් ලබා තිබෙනවා.

නමුත් මේවා භාවිතයෙන් ගැස්ට්‍රයිටිස්, සන්ධි රෝග හෝ වෙනත් රෝග සුව වන බවට සහතිකයක් නැහැ. ඒ සඳහා සුදුසු වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත්.

නෙල්ලි රසකිඳ ස්වභාවික පානය

නෙල්ලි සහ රසකිඳ එකතු කර සකස් කරගන්නා පානයක් ඔබේ දෛනික සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවට එක්කරගත හැකියි.

අවශ්‍ය ද්‍රව්‍ය

  • නැවුම් නෙල්ලි ගෙඩි දෙකක යුෂ හෝ වියළි නෙල්ලි කුඩු තේ හැන්දක්

  • රසකිඳ කුඩා කැබැල්ලක් හෝ රසකිඳ කුඩු තේ හැන්දක්

  • උණුසුම් ජලය කෝප්පයක්

  • මී පැණි බිංදු කිහිපයක් (අවශ්‍ය නම්)

සාදාගන්නා ආකාරය

මුලින්ම උණුසුම් ජලය කෝප්පයකට රසකිඳ කැබැල්ල හෝ රසකිඳ කුඩු එකතු කරන්න. විනාඩි පහක් පමණ මද ගින්නේ තම්බාගන්න. ඉන්පසු එය තරමක් නිවෙන්නට තබා නෙල්ලි යුෂ හෝ නෙල්ලි කුඩු එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. අවශ්‍ය නම් මී පැණි බිංදු කිහිපයක් ද එක්කරගත හැකියි.

මෙම පානයෙන් ලැබිය හැකි ප්‍රයෝජන

නෙල්ලිවල අඩංගු විටමින් C සහ ප්‍රතිඔක්සිකාරක ගුණ සමේ සාමාන්‍ය සෞඛ්‍යය පවත්වා ගැනීමට උපකාරී වෙනවා. එමෙන්ම නිරෝගී ආහාර රටාවක් සමඟ මෙවැනි පෝෂණීය පානයක් එක්කර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය පෝෂක ලබාගැනීමට දායකත්වයක් ලැබෙනවා.

හිසකෙස්වල නිරෝගී වර්ධනය සඳහා ද ප්‍රමාණවත් පෝෂණය, විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍යයි.

එහෙත් මෙම පානය හිස්බඩ පානය කිරීම අනිවාර්ය නැහැ. විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් හෝ වෙනත් ආහාර ජීර්ණ ගැටලු ඇති අය පානය කිරීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුයි.

පුංචි මතක් කිරීමක්

ස්වභාවික ද්‍රව්‍යයක් වුවත් සෑම කෙනෙකුටම එකසේ ගැළපෙන්නේ නැහැ. රසකිඳ ඇතුළු ඖෂධීය ශාක භාවිතයට පෙර, විශේෂයෙන් වෙනත් ඖෂධ ලබාගන්නා අය, ගර්භණී හෝ කිරිදෙන මව්වරුන් සහ නිදන්ගත රෝග ඇති අය සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් උපදෙස් ලබාගැනීම වැදගත්.

සටහන – මහේෂානි මීගහපොල

උපදෙස් – ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - SP Read Previous

පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - SP

2026 පොපි මල් දින සැමරුම් Read Next

2026 පොපි මල් දින සැමරුම්

Realted Post

Leave a comment