තද බ්‍රා නිසා ඇති වන බෙල්ලේ හා පිටේ වේදනාව
කාන්තාවන් බොහෝ දෙනෙක් තමන් අඳින ඇඳුම්වලට ගැළපෙන ලෙස යට ඇඳුම් තෝරාගැනීමට විශේෂ අවධානයක් යොමු කරනවා. ඇඳුමේ හැඩය මනාව පවත්වා ගැනීමටත්, බාහිර පෙනුම අලංකාර කරගැනීමටත් බ්‍රා එකක් වැදගත් බව කවුරුත් දන්නවා. එහෙත් දිනපතා පැය ගණනාවක් පැළඳ සිටින මේ යට ඇඳුම නිවැරදිව තෝරා නොගැනීමෙන් ශරීරයට ඇතිවිය හැකි අපහසුතා ගැන ඔබ කවදා හෝ සිතා තිබෙනවාද?
ප්‍රමාණයෙන් කුඩා, අධික ලෙස තද හෝ නිසි ආධාරකයක් ලබා නොදෙන බ්‍රා එකක් භාවිත කිරීමෙන් සමේ ගැටලු පමණක් නොව බෙල්ල, උරහිස් සහ පිටුපස ප්‍රදේශයේ වේදනාව වැනි අපහසුතා ද ඇතිවිය හැකියි.
විශේෂයෙන් විශාල පියයුරු සහිත කාන්තාවන්ට නිසි ආධාරකයක් නොලැබීමෙන් ශරීරයේ ඉරියව්වට සහ මාංශ පේශිවලට අමතර බලපෑමක් ඇතිවිය හැකියි.
ඒ නිසාම මෙවර අපි කතා කරන්නේ නිවැරදි බ්‍රා එකක් තෝරාගැනීමේ වැදගත්කම, නොගැළපෙන බ්‍රා භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු සහ එවැනි අපහසුතා සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකි ආකාරය පිළිබඳවයි.
තද බ්‍රා එකක් පැළඳීමෙන් ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු මොනවාද?
ඔබේ පියයුරුවල ප්‍රමාණයට නොගැළපෙන, අධික ලෙස තද බ්‍රා එකක් දිගු වේලාවක් පැළඳ සිටින විට එහි කප්, පපුව වටා ඇති පටිය සහ උරහිස් පටි මඟින් සමට අනවශ්‍ය පීඩනයක් ඇතිවිය හැකියි.
එමඟින්,
-
පපුව වටා සහ උරහිස් ප්‍රදේශයේ සම රතුවීම.
-
සම සීරීම, කැසීම සහ දැවිල්ල.
-
බ්‍රා එක සමඟ සම ඇතිල්ලීමෙන් වේදනාව ඇතිවීම.
-
උරහිස් පටි තද වීම නිසා උරහිස් ප්‍රදේශයේ අපහසුතා ඇතිවීම.
-
පියයුරු යට දහදිය හා තෙතමනය රැඳීම නිසා සමේ ආසාදන ඇතිවීම.
වැනි ගැටලු ඇතිවිය හැකියි.
විශේෂයෙන් උණුසුම් කාලගුණයක් පවතින විට පියයුරු යට ප්‍රදේශයේ දහදිය රැඳීම සහ සම එකිනෙක ඇතිල්ලීම නිසා සමේ රතු පැහැති පැල්ලම්, කැසීම සහ දිලීර ආසාදන ඇතිවීමේ අවදානමක් ද තිබෙනවා.
බ්‍රා එක නිවැරදි ආධාරකයක් ලබා නොදුන්නොත්?
විශාල පියයුරු සහිත කාන්තාවන්ට නිසි ආධාරකයක් නොමැති බ්‍රා භාවිතයෙන් බෙල්ල, උරහිස් සහ ඉහළ පිටුපස ප්‍රදේශයේ මාංශ පේශිවලට අමතර වෙහෙසක් ඇතිවිය හැකියි.
විශේෂයෙන් දිගු වේලාවක් ඉදිරියට නැමී වැඩ කිරීම, පරිගණකය ඉදිරිපිට වාඩි වී සිටීම සහ වැරදි ශරීර ඉරියව් පවත්වා ගැනීම සමඟ මෙවැනි අපහසුතා තවත් වැඩි විය හැකියි.
ඒ අනුව,
-
බෙල්ලේ සහ උරහිස්වල වේදනාව.
-
පිටුපස මාංශ පේශිවල තද බව සහ වේදනාව.
-
උරහිස් පටි තද වීමෙන් ඇතිවන පීඩනය.
-
පපුව වටා තද බවක් හෝ අපහසුතාවක් දැනීම.
වැනි ලක්ෂණ ඇතිවිය හැකියි.
කෙසේ වෙතත් පපුවේ වේදනාව හෝ ගැඹුරු හුස්මක් ගැනීමේ අපහසුතාව බ්‍රා එක නිසාම ඇතිවන බව සිතීම සුදුසු නැහැ. එවැනි ලක්ෂණ පවතිනවා නම් වෛද්‍ය පරීක්ෂාවක් ලබාගැනීම වැදගත්.
මෙවැනි ගැටලු සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර
නොගැළපෙන බ්‍රා භාවිතය නිසා ඇතිවන ශාරීරික අපහසුතා සඳහා පුද්ගලයාගේ තත්ත්වය අනුව භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාගත හැකියි.
එහිදී මුලින්ම වේදනාව පවතින ස්ථානය, මාංශ පේශිවල තත්ත්වය, ශරීර ඉරියව් සහ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව පරීක්ෂා කිරීම සිදුකරනවා.
ඉන්පසු අවශ්‍යතාව අනුව,
1. මාංශ පේශි ශක්තිමත් කිරීමේ ව්‍යායාම
බෙල්ල, උරහිස්, පිටුපස සහ උරහිස් තල අවට මාංශ පේශි ශක්තිමත් කිරීම සඳහා සුදුසු ව්‍යායාම හඳුන්වා දෙනවා. එමඟින් ශරීරයේ ඉරියව් පවත්වා ගැනීමට සහ මාංශ පේශිවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීමට උපකාරී වෙනවා.
2. මාංශ පේශිවල නම්‍යශීලී බව වැඩි කිරීම
පපුව ඉදිරිපස මාංශ පේශි තදවීම නිසා උරහිස් ඉදිරියට නැමෙන ස්වභාවයක් ඇතිවිය හැකියි. එවැනි අවස්ථාවලදී පපුවේ සහ උරහිස් අවට මාංශ පේශිවල නම්‍යශීලී බව වැඩි කරන දිගහැරීමේ ව්‍යායාම ලබාදෙනවා.
3. ශරීර ඉරියව් නිවැරදි කිරීම
දෛනිකව වාඩිවී සිටින ආකාරය, වැඩ කරන විට ශරීරය තබාගන්නා ආකාරය සහ දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටීම වැනි පුරුදු පිළිබඳව උපදෙස් ලබාදෙනවා.
4. වේදනාව අවම කිරීමේ ප්‍රතිකාර
රෝගියාගේ තත්ත්වය අනුව වේදනාව පාලනය කිරීමේ ක්‍රම, සුදුසු අභ්‍යාස සහ වෙනත් භෞත චිකිත්සක ක්‍රම භාවිත කළ හැකියි.
මෙහිදී වැදගත් වන්නේ බ්‍රා එක නිවැරදිව තෝරාගැනීමත්, ඇතිවී තිබෙන ශාරීරික ගැටලුවට ගැළපෙන ප්‍රතිකාර ලබාගැනීමත් එකට සිදුකිරීමයි.
නිවැරදි බ්‍රා එකක් තෝරාගන්නේ කොහොමද?
පියයුරුවල සෞඛ්‍යය සහ ශාරීරික පහසුව වෙනුවෙන් නිවැරදි බ්‍රා එකක් තෝරාගැනීම ඉතා වැදගත්.
එහිදී මේ කරුණු ගැන සැලකිලිමත් වන්න.
-
පපුව වටා ඇති පටිය අධික ලෙස තද නොවිය යුතුයි.
-
සාමාන්‍ය ලෙස හුස්ම ගැනීමට බාධාවක් නොවිය යුතුයි.
-
උරහිස් පටි සම තුළට තදින් කාවැදී සලකුණු ඇති නොකළ යුතුයි.
-
පියයුරු කප්වලින් පිටතට පැනීමක් හෝ අධික හිස් ඉඩක් නොතිබිය යුතුයි.
-
පියයුරුවලට ප්‍රමාණවත් ආධාරකයක් ලැබිය යුතුයි.
-
සමට පහසු, වාතාශ්‍රය ලැබෙන රෙදි වර්ග තෝරාගැනීම සුදුසුයි.
-
ශරීරය චලනය කරන විට හෝ වැඩ කරන විට අපහසුතාවක් ඇති නොවිය යුතුයි.
බ්‍රා එකේ ප්‍රමාණය තෝරාගැනීමේදී පපුව වටා මිනුම සහ කප් ප්‍රමාණය යන දෙකම සැලකිල්ලට ගැනීම වැදගත්. ශරීරයේ බර වෙනස් වීම, වයස සහ හෝමෝන වෙනස්කම් අනුව ද මෙම ප්‍රමාණය වෙනස් විය හැකියි.
ව්‍යායාම කරන විට සාමාන්‍ය බ්‍රා එක ප්‍රමාණවත්ද?
ව්‍යායාමවල සහ ක්‍රීඩාවල නිරත වන විට පියයුරු චලනය වීම නිසා ඇතැම් කාන්තාවන්ට වේදනාව සහ අපහසුතා ඇතිවිය හැකියි.
එවැනි අවස්ථාවලදී ශාරීරික ක්‍රියාකාරකම්වලට ගැළපෙන ක්‍රීඩා බ්‍රා (Sports Bra) එකක් තෝරාගැනීම සුදුසුයි.
දිවීම, පැනීම, ව්‍යායාම කිරීම වැනි ක්‍රියාකාරකම් සඳහා ප්‍රමාණවත් ආධාරකයක් ලබාදෙන බ්‍රා එකක් තෝරාගැනීමෙන් පියයුරු චලනය නිසා ඇතිවන අපහසුතා අවම කරගත හැකියි.
ගර්භණී සහ මව්කිරි ලබාදෙන කාලයේදීත් සැලකිලිමත් වන්න
ගර්භණී කාලයේදී සහ මව්කිරි ලබාදෙන කාලයේදී කාන්තාවකගේ පියයුරුවල ප්‍රමාණය හා සංවේදීතාව වෙනස් විය හැකියි.
එම නිසා එම කාලයට ගැළපෙන, තද නොවන, පහසුවෙන් පැළඳිය හැකි සහ අවශ්‍ය ආධාරකය ලබාදෙන බ්‍රා එකක් තෝරාගැනීම වැදගත්.
විශේෂයෙන් මව්කිරි ලබාදෙන මව්වරුන්ට පහසුවෙන් විවෘත කළ හැකි බ්‍රා වර්ග භාවිතය දෛනික කටයුතු පහසු කරවනවා.
නව යොවුන් වියේ දියණියන්ටත් නිවැරදි තේරීමක් අවශ්‍යයි
නව යොවුන් වියේදී ශරීරයේ සිදුවන ස්වාභාවික වර්ධනයත් සමඟ පියයුරුවල ප්‍රමාණය හා හැඩය වෙනස් වෙනවා.
මෙම කාලයේදී දියණියන්ට ගැළපෙන, පහසු සහ නිවැරදි ප්‍රමාණයේ යට ඇඳුමක් තෝරාදීම මවුපියන්ගේ වගකීමක්.
එහිදී දරුවාගේ පෞද්ගලිකත්වයට ගරු කරමින්, ඔවුන්ට අපහසුතාවක් නොදැනෙන ලෙස අවශ්‍ය මඟපෙන්වීම ලබාදිය යුතුයි.
බ්‍රා භාවිත කිරීමෙන් පියයුරු එල්ලා වැටීම වළක්වන බවට විද්‍යාත්මකව තහවුරු වූ සාක්ෂි නැහැ. එබැවින් එවැනි බියක් ඇතිකර දරුවන්ට යට ඇඳුම් තෝරාදීම වෙනුවට ඔවුන්ගේ සුවපහසුව සහ ශරීර වර්ධනයට ගැළපෙන තේරීමක් කිරීමයි වැදගත්.
එකම බ්‍රා එකට සීමා නොවන්න!
කාන්තාවකගේ ජීවිතයේ විවිධ අවස්ථාවලදී ශරීරයේ හැඩය සහ අවශ්‍යතා වෙනස් වෙනවා. ඒ නිසා සෑම අවස්ථාවකදීම එකම බ්‍රා එකක් භාවිත කිරීම වෙනුවට තමන්ගේ ශරීරයට, දෛනික ක්‍රියාකාරකම්වලට සහ අවස්ථාවට ගැළපෙන යට ඇඳුමක් තෝරාගැනීම වැදගත්.
මතක තබාගන්න. බ්‍රා එකක් තෝරාගැනීමේදී අලංකාරය පමණක් නොව සුවපහසුව, නිවැරදි ආධාරකය සහ ශරීරයේ සෞඛ්‍යය පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි.
ඔබේ ශරීරයට ගැළපෙන නිවැරදි තේරීමක් කිරීමෙන් අනවශ්‍ය අපහසුතා බොහොමයක් අවම කරගෙන දෛනික ජීවිතය වඩාත් සුවපහසු කරගත හැකියි.
සටහන – මහේෂානි මීගහපොල
අදහස් දැක්වීම – භෞත චිකිත්සක තිසුරි ප්‍රනාන්දු

Leave a comment