බෙල්ලේ කළු පැහැය අඩු කරගන්න නිවසේදී කළ හැකි සත්කාර

බෙල්ලේ සම කළු පැහැයට හැරීම නිසා බොහෝ දෙනෙක් විවිධ රූපලාවන්‍ය නිෂ්පාදන භාවිත කිරීමට පෙළඹෙති. නමුත් සෑම නිෂ්පාදනයක්ම සෑම කෙනකුගේම සමට ගැළපෙන්නේ නැත.

ඒ නිසා බෙල්ලේ සමට සත්කාර කිරීමේදී සරල ක්‍රම අනුගමනය කිරීමත්, සමට හානි වන ආකාරයෙන් තදින් අතුල්ලීම හෝ විවිධ රසායනික ද්‍රව්‍ය අත්හදා බැලීමෙන් වැළකීමත් වැදගත්ය.

ආයුර්වේද වෛද්‍ය ආනන්දි දිනමිත්‍ර ආරච්චිගේ උපදෙස් අනුව නිවසේදී සිදු කළ හැකි සත්කාර කිහිපයක් මෙසේය.

  • කෝමාරිකා

කෝමාරිකා යුෂ ස්වල්පයක් බෙල්ලේ කළු පැහැ වී ඇති ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20ක් පමණ තබන්න. ඉන්පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කළ හැකියි. මෙය දිනපතා සිදු කළ හැකියි.

  • යෝගට් සහ මී පැණි

යෝගට් තේ හැන්දකට මී පැණි තේ හැඳි භාගයක් පමණ එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එය බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දින දෙකක් පමණ සිදු කළ හැකියි.

  • අර්තාපල් යුෂ

අර්තාපල් යුෂ ස්වල්පයක් බෙල්ලේ කළු පැහැ වී ඇති ප්‍රදේශයේ ආලේප කර විනාඩි 20ක් පමණ තබන්න. පසුව මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙය දිනපතා සිදු කළ හැකි සත්කාරයක් ලෙස සඳහන් වේ.

  • සහල් සේදූ ජලය

සහල් සේදූ ජලයෙන් පිරිසිදු කපු රෙද්දක් පොඟවා බෙල්ලේ කළු පැහැ වී ඇති ප්‍රදේශයේ තබන්න. එය රාත්‍රියක් තබා පසුදා ඉවත් කළ හැකියි. මෙයද දිනපතා සිදු කළ හැකියි.

  • ගස්ලබු සහ යෝගට්

ඉදුණු ගස්ලබු මද තේ හැන්දකට යෝගට් තේ හැන්දක් එකතු කර හොඳින් මිශ්‍ර කරන්න. එය බෙල්ලේ ආලේප කර විනාඩි 20ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

  • යෝගට් සහ ඕට්ස්

යෝගට් තේ හැන්දකට සිහින්ව අඹරාගත් ඕට්ස් තේ හැන්දක් පමණ එකතු කර මිශ්‍ර කරන්න. එය බෙල්ලේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දින දෙකක් පමණ සිදු කළ හැකියි.

  • සත්කාර කළත් කළු පැහැය අඩු නොවුණොත්?

මෙවැනි සත්කාර සිදු කළත් බෙල්ලේ කළු පැහැය අඩු නොවන්නේ නම් වෛද්‍යවරයකු වෙත යොමු වීම වැදගත්ය. ඊට හේතුව වන්නේ බෙල්ල කළු වීම ඇතැම් විට රූපලාවන්‍ය ගැටලුවකට පමණක් සීමා නොවිය හැකි බැවිනි. දියවැඩියාව, හෝමෝන වෙනස්කම්, පෝෂණ ඌනතා හෝ වෙනත් සෞඛ්‍ය තත්ත්වයක් තිබේද යන්න වෛද්‍ය උපදෙස් මත සොයා බැලිය හැකියි.

එබැවින් දිගින් දිගටම පවතින බෙල්ලේ අවපැහැ ගැන්වීමක් තිබේ නම්, හේතුව නිවැරදිව හඳුනාගෙන අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වඩාත් සුදුසුය.


සටහන – මහේෂානි මීගහපොල
උපදෙස් – ආයුර්වේද වෛද්‍ය ආනන්දි දිනමිත්‍ර ආරච්චි

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු Read Previous

ඉහළ නිලධාරීන්ගේ නම් අත්සන් තබා මුදල් ගැරූ වංචනිකයන් දෙදෙනෙක් කොටු

ProFood ProPack & AgBiz 2026 Read Next

ProFood ProPack & AgBiz 2026

Realted Post

Leave a comment