සමේ රැළි අඩු කරන ස්වභාවික ක්‍රම

වයසට යාමත් සමඟ සම රැලි වැටීම ස්වභාවික ජීව විද්‍යාත්මක ක්‍රියාවලියකි. නමුත් වර්තමානයේ බොහෝ දෙනෙකු තරුණ වියේදීම අකලට සම රැලි වැටීමේ ගැටලුවට මුහුණ දෙති. මෙය හුදෙක් බාහිර පෙනුම පිළිබඳ ගැටලුවක් පමණක් නොව, ශරීර අභ්‍යන්තරයේ පෝෂණ ඌනතා සහ අහිතකර ජීවන රටාවන් පිළිබඳව සිරුර ලබා දෙන අනතුරු ඇඟවීමකි.

අකලට සම රැලි වැටීමට බලපාන වෛද්‍යමය සහ පාරිසරික හේතු

අපගේ සමේ ඇදෙනසුළු බව සහ තරුණ පෙනුම රඳා පවතින්නේ සම තුළ ඇති collagen සහ ඉලාස්ටින් (Elastin) නම් ප්‍රෝටීන මතයි. ඒවා අඩුවීම සහ සමේ තෙතමනය ගිලිහී යාම මෙම තත්ත්වයට ප්‍රධාන හේතුවයි. ඊට අමතරව පහත සාධක ද ඍජුවම බලපායි:

ආහාර සහ පෝෂණ ගැටලු

 පෝෂණ ඌනතාවය, ප්‍රමාණවත් තරම් ජලය පානය නොකිරීම, අධික උෂ්ණාධික ආහාර මෙන්ම සීනි සහ පැණි රස අධිකව භාවිතය.

අහිතකර පුරුදු

 දුම්පානය සහ මත්ද්‍රව්‍ය භාවිතය නිසා සමේ සෛල ඉක්මනින් විනාශ වේ.

මානසික ආතතිය සහ හැඟීම්

 නිතර තරහව, ක්‍රෝධය සහ දුක වැනි සෘණාත්මක භාවයන් සමඟ මුහුණේ ඇතිවන මාංශ පේශි චලනයන් සම රැලි වැටීම වේගවත් කරයි.

පාරිසරික හේතු

 දැඩි හිරු එළියේ ඇති අහිතකර කිරණවලට නිරාවරණය වීම සහ සමට නොගැළපෙන රසායනික ආලේපන භාවිතය.

නිරෝගී සමක් සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය පුරුදු

බාහිර ආලේපනවලට වඩා ශරීර අභ්‍යන්තරය පෝෂණය කිරීමෙන් සම රැලි වැටීම සාර්ථකව පාලනය කළ හැකිය.

සමබර ආහාර වේලක්

භාවික නැවුම් එළවළු, පලතුරු සහ පලා වර්ග දිනපතා ආහාරයට එක් කර ගන්න. මේවායේ ඇති ප්‍රතිඔක්සිකාරක (Antioxidants) සමේ සෛල ආරක්ෂා කරයි.

සීනි පාලනය

 අධික පැණි රස සහ කෘත්‍රිම ආහාර වර්ගවලින් ඈත් වන්න. සීනි මගින් සමේ කොලැජන් විනාශ කිරීම වේගවත් කරයි.

ප්‍රමාණවත් ජල පානය

සමේ තෙතමනය අභ්‍යන්තරයෙන්ම රඳවා ගැනීම සඳහා දිනපතා හොඳින් පිරිසිදු ජලය පානය කරන්න.

සුව නින්දක්

 සිරුරේ සෛල අලුත්වැඩියා වන්නේ නින්දේදීය. එබැවින් දිනකට ප්‍රමාණවත් සුව නින්දක් ලබා ගැනීම අත්‍යවශ්‍ය වේ.

මානසික සුවය

 භාවනාව, යෝග වැනි ක්‍රම මගින් මානසික ආතතිය පාලනය කර සිත සතුටින් තබා ගැනීම නිරෝගී, පැහැපත් සමකට ඍජුවම බලපායි.

සටහන - මහේෂානි මීගහපොල

උපදෙස් - ආයුර්වේද වෛද්‍ය දර්ශිකා සෙව්වන්දි කොඩිතුවක්කු

ලොවක් ආකර්ෂණය කළ ඩයනා කුමරියගේ විලාසිතා Read Previous

ලොවක් ආකර්ෂණය කළ ඩයනා කුමරියගේ විලාසිතා

ලොවක් ආකර්ෂණය කළ ඩයනා කුමරියගේ විලාසිතා Read Next

ලොවක් ආකර්ෂණය කළ ඩයනා කුමරියගේ විලාසිතා

Realted Post

Leave a comment