රන්වන් සමකට කහවලින් රහසක් ගෝල්ඩන් මිල්ක්

සතියකට දෙවරක්වත් අමු කහ ටිකක් තළා කිරි ටිකකට දමා උතුරුවාගෙන බොන්න පුළුවන් නම් සමේ ගැටලු රැසක්ම අවම කරගෙන පැහැපත් සහ දීප්තිමත් සමක් ලබාගන්න පුළුවන්.

 

කහ කියන්නේ ඉවුම්පිහුම්වලට නැතුවම බැරි වගේම රූපාලංකාරයටත් වැදගත් අමු ද්‍රව්‍යයක්. අතීතයේ ඉඳලම ආසියාතික රටවල කාන්තාවන් සම පැහැපත් කරගන්නත්, සමේ ආසාදන වළක්වා ගන්නත් කහ භාවිතා කරලා තියෙනවා. කහ ලේසියෙන් හොයාගන්න පුළුවන් වස විස අඩංගු නැති ස්වාභාවික අමු ද්‍රව්‍යයක් නිසා බයක් සැකක් නැතිව රූපාලංකාරයට භාවිත කරන්නත් පුළුවන්. 


පහුගිය කාලේ නම් ලංකාව දැඩි කහ හිඟයකට මුහුණ දුන්නා. කහ මිල ශීඝ්‍ර ලෙස ඉහළ ගියා. මේ හේතුව නිසා කහ ආහාරවලට එක් කිරීමත් අවම වුණා. ඒ හිඟයත් එක්කම බොහෝ දෙනෙක් කහ වවන්න පටන් ගත්තා. ඒ නිසාම වර්තමානය වෙනකොට ලංකාවේ ආහාරයට පමණක් නෙවෙයි රූපාලංකාරයටත් කහ භාවිතා කරන්න පුළුවන් තරමට කහ හොයාගන්න තියෙනවා. අමු කහ පාර දෙපැත්තෙ තියාගෙන විකුණනවා පවා සමහර ප්‍රදේශවලදි දැකගන්න පුළුවන්. අමු කහ භාවිත කර ඔබේ ලස්සන රූපය තවත් ලස්සන කරගන්න අලුත් ක්‍රම ගැනයි මේ කතාබහ.


අතීතයේ සිට කාන්තාවන්ගේ ලස්සන වැඩි කරගන්න භාවිතා කළ කහ කියන්නේ සම ලස්සන කරන්න විතරක් නෙවෙයි සමේ රෝග බොහෝමයකටම විසඳුම් දෙන ඖෂධයක්. 


විෂබීජ නාශකයක් වන කහ කුරුලෑ පාලනය කරන්නත් භාවිතා කරන්න පුළුවන්. කුරුලෑ සහ මුහුණේ ඇතිවෙන බිබිළි නව යොවුන් වියේදී වගේම තරුණ වයසෙදිත් ඇති වෙන්න පුළුවන් ගැටලුවක්. කුරුලෑ සඳහා වගේම කුරුලෑ නිසා ඇතිවෙන ලප කැළැල් මකා ගන්නත් කහ හොඳ ප්‍රතිකර්මයක්.

 


කුරුලෑ මුහුණට 
අධික ලෙස කුරුලෑ ඇති මුහුණක් හෝ නිතර නිතර කුරුලෑ හටගන්නා මුහුණකට අමු කහ කැබැල්ලක් සහ කොහොඹ කොළ කිහිපයක් හොඳින් තළාගෙන එයට මී පැණි ටිකක් හෝ යෝගට් ටිකක් මිශ්‍ර කර ආලේප කරන්න. විනාඩි 20ක් පමණ තබා කුරුලෑ කැඩී නොයන ලෙස සෝදා හරින්න. 

 


පැහැපත් සමකට 
කහ කියන්නේ මුහුණේ දීප්තිය වගේම පැහැපත්භාවය වඩවා ගන්න හොඳ ඖෂධයක්.  අමු කහ ටිකක් හොඳට කොටාගෙන එයට මී පැණි තේ හැන්දක් සහ යෝගට් ස්වල්පයක් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 20කට පසු මඳ උණුසුම් වතුරෙන් සෝදන්න.


හිරු කිරණට පිලිස්සුණු සම යථා තත්ත්වයට පත් කරන්නත් දුර්වර්ණ වූ සමට දීප්තියක් ලබාදීමටත් යෝගට් සහ අමු කහ හොඳ ප්‍රතිකර්මයක්. කහ සහ යෝගට් මුහුණට පමණක් නෙවෙයි මුළු සිරුරේම ආලේප කරන්න පුළුවන්. සතියකට එක් වතාවක්වත් මුළු සිරුරේම කහ සහ යෝගට් ආලේප කර මුළු සිරුරටම ඒ සත්කාරය දෙන්න පුළුවන් නම් සමේ දුර්වර්ණභාවය අවම කරගන්න වගේම ගත සුවඳවත් කරගන්න පුළුවන්.

 


මොනවද මේ ගෝල්ඩන් මිල්ක්

අදහස් දැක්වීම - 
රුව සත්කාර පිළිබඳ පර්යේෂිකා 

පංචමී හේවාවිසෙන්ති 


ගෝල්ඩන් මිල්ක් යනු ඉන්දියාවේ ඉතා ජනප්‍රිය පානයක්. කිරිවලට අමු කහ එක්කර උතුරුවාගෙන සීනි එක්කරගෙන උණුසුම්ව පානය කරනවා. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන්න වගේම ලෙඩ රෝග රැසකටම 

ගුණ දෙන කහ සහ කිරි පානය හෙවත් ගෝල්ඩන් මිල්ක් එහෙමත් නැතිනම් ටර්මරික් මිල්ක් රූ සපුව වඩවා ගන්නත් උදව්වන පානයක්. ගෝල්ඩන් මිල්ක් කියා කහ කිරි හඳුන්වන්නේ පාට නිසා විතරක් නොවෙයි. රත්තරන් වගේ ශරීර සෞඛ්‍යයට වගේම රූපාලංකාරයටත් ඉතා හොඳ දෙයක් නිසයි. 


අතීතයේ ඉන්දියාවේ මනාලියක් වීමට පෙර කාන්තාවගේ සිරුරේ කහ ගැල්වීමත් කහ කිරි පානයට දීමත් සිරිතක්. ඒ විශේෂයෙන් ගෝල්ඩන් මිල්ක් සම පැහැපත් කර ගැනීමට උදව්වන පානයක් නිසයි. සතියකට දෙවරක්වත් අමු කහ ටිකක් තළා කිරි ටිකකට දමා උතුරුවාගෙන බොන්න පුළුවන් නම් සමේ ගැටලු රැසක්ම අවම කරගෙන පැහැපත් සහ දීප්තිමත් සමක් ලබාගන්න පුළුවන්. කහ යෙදූ ආලේපන පාව්ච්චි කරන්න කාලය අවම කෙනකුට සතියකට එක් වරක් හෝ මේ ගෝල්ඩන් මිල්ක් පානය කරන්න පු`ඵවන් නම් සමේ දීප්තිමත්බවට මෙන්ම සිරුරේ ප්‍රතිශක්තියත් රැක ගැනීමට හැකියාව ලැබේවි. 

සටහන - නයනා උදයංගනී 


                 

 

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ... Read Previous

අම්මා නැත්නම් අමරදේව කෙනෙක් නැහැ...

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල Read Next

ඉන්දියාවේ ආදරය දිනාගත් ලංකාවේ කෙල්ල

Realted Post

Leave a comment