ස්වාභාවික පෙනුම කැමැති අයට ලික්විඩ් ෆවුන්ඩේෂන්

 

තිත් ආකාරයට මුහුණ පුරා ගල්වාගෙන පසුව වලයාකාරව ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ෆවුන්ඩේෂන් මුහුණට කා වැදීම කළ යුතුය. නැත්නම් මුහුණේ නොරැඳී ඉක්මනින්ම එය ඉවත් විය හැකිය.

 

 

මේක්අප් එකක් ලස්සන වෙන්නේ තමන්ගේ ස්වාභාවික පෙනුමට හානියන් නොවෙන විදියට කළ විටය. දැන් නව විලාසිතාව බවට පත් වී ඇත්තේ ද එයයි. සමේ පවතින වර්ණයම දීප්තිමත් ලෙස වැඩි කරගෙන ඉතා චාම් මේක්අප් එකකින් ප්‍රියමනාප පෙනුමක් එකතු කරගත හැකිනම් එයින් ඔබේ පෞරුෂත්වයට හානියක් වන්නේ ද නැත. එහිදී වඩාත් සැලකිලිමත් විය යුත්තේ මුහුණට යොදාගන්නා ෆවුන්ඩේෂන් එක ගැනයි. ඒවා ලික්විඩ් නැතිනම් ක්‍රීම් එකක් ආකාරයටත්, පෑන් කේක් ලෙස සහ ස්ටික් එකක් ලෙස විවිධ මාදිලියෙන් මිලදී ගත හැකි අතර මේ අතරින් පහසුව වගේම හොඳ නිමාවක් ලබාගත හැකි ෆවුන්ඩේෂන් ආලේපනයක් ලෙස ලික්විඩ් ෆවුන්ඩේෂන් හැඳින්වීමට පු`ඵවන. 


දිනපතා මුහුණ මේක්අප් කරන යුවතියකට වැඩිපුරම ගැළපෙන්නේ ලික්විඩ් වර්ගයේ ෆවුන්ඩේෂන් ආලේපනයකි.

 


හොඳ ෆවුන්ඩේෂන් වර්ගයක් තෝරාගන්නේ කොහොමද?

උපදෙස් - ප්‍රවීණ රූපලාවන්‍ය 
ශිල්පිනී නීෂා රත්නායක 

 


ලික්විඩ් එකක් තෝරා ගැනීමේදී මුහුණේ පැහැය සහ සමේ වර්ණය ගැන ප්‍රධාන වශයෙන් සැලකිලිමත්විය යුතුය. එම ආලේපනය සමේ ගැල්වීමෙන් පමණක් තෝරා ගැනීම කළ නොහැකිය. විශේෂයෙන් කුණු දුහුවිලි බැඳුණු සමක සහ හොඳින් පිරිසුදු කරගත් සමේ වර්ණය වර්ණ දෙකකි. එම නිසා ඔබ වෙළෙඳපොළට ගොස් මෙම ආලේපනය මිලදී ගැනීමේදී පිරිසුදු සමේ ආලේප කර බැලීමට අමතක නොකළ යුතුය. ඒ වගේම තෙල් සහිත සම, වියළි සම, මිශ්‍ර සම සහ කුරුලෑ සහිත ලෙස සම වර්ග වෙන නිසා සමට ගැළපෙනම ලික්විඩ් ෆවුන්ඩේෂන් වර්ගය තෝරාගත යුතු වේ. ඒ සඳහා ඔබට දැනුවත්බවත් නැතිනම් ඔබේ රූපලාවනය ශිල්පියාගේ සහය ලබා ගැනීම වඩාත් වැදගත් වේ.

 


ලික්විඩ් ෆවුන්ඩේෂන් වර්ග මොනවද?
මෙම ආලේපනය ඔයිල් බේස් සහ වෝටර් බේස් වර්ග දෙකකින් මිලදී ගත හැකිය. ඒ අතර හිරු එළියෙන් සම රකින සන් ප්‍රොටෙක්ෂන් ෆවුන්ඩේෂන් වර්ගද තිබේ. එය තමන් නිරතවන රාජකාරිය සහ අවස්ථාවට අනුකූලව තෝරා ගැනීමට හැකිය. විශේෂයෙන් එළිමහනේ මෙන්ම නිතර තාක්ෂණික උපකරණ සමග වැඩකරන පුද්ගලයකු නම් SPF අඩංගු ලික්විඩ් ආලේපනයක් තෝරාගත යුතු අතර එහි SPF අගය 30ක්වත් පවතින ෆවුන්ඩේෂන් එකක් විය යුතුය. එයින් ඔබේ මුහුණට හොඳ පෙනුමක් වගේම සම ආරක්ෂා කර ගැනීමටද පහසු වේ.

 


ලික්විඩ් ෆවුන්ඩේෂන් ආලේපනයේ වාසි
පහසුවෙන් භාවිතා කළ හැකිය
සාමාන්‍ය අවස්ථාවක් සඳහාත් වඩාත් උචිත වේ.
රැකබලා නොගත් සමකට වුවද ගැල්විය හැකිය. 
පහසුවෙන්ම ඉවත් කර ගැනීමේ හැකියාව පවතී

 


ලික්විඩ් ෆවුන්ඩේෂන් ආලේපනයට පෙර... 
එයින් වඩාත් හොඳ පෙනුමක් එක්කර ගන්නට නම්, ආලේපනය ගැල්වීමට පෙර ෆේස් වොෂ් එකකින් මුහුණ සෝදා පිරිසුදු කර ටෝනර් ගල්වාගත යුතු වේ. මිනිත්තු කිහිපයකට පසුව ටිෂු එකක් ආධාරයෙන් තෙත මාත්තු කර ලික්විඩ් ෆවුන්ඩේෂන් ආලේප කළ යුතුය. දිගු වේලාවක් මේක්අප් එක මුහුණේ රඳවා ගැනීමට අවශ්‍ය නම් ප්‍රයිමර් (Primer) එකක් භාවිතා කර පසුව ලික්විඩ් ෆවුන්ඩේෂන් භාවිතා කළ හැකිය.
මෙය ආලේප කිරීමේදී තිත් ආකාරයට මුහුණ පුරා ගල්වාගෙන පසුව වලයාකාරව ඇඟිලි තුඩුවලින් පිරිමදිමින් ෆවුන්ඩේෂන් මුහුණට කා වැදීම කළ යුතුය. නැත්නම් මුහුණේ නොරැඳී ඉක්මනින්ම එය ඉවත් විය හැකිය.

 


ලික්විඩ් ෆවුන්ඩේෂන් ගැල්වීමෙන් පසු...?
ෆවුන්ඩේෂන් ආලේප කර තප්පර කිහිපයකට පසුව ඊට සමාන වර්ණයේ පවුඩර් එකක් මුහුණ පුරා ගැල්වීම කළ යුතුය. එය ආලේප කළ යුත්තේ පිස දමන ආකාරයට නොව තට්ටු කිරීමෙන් පමණි. එයින් මේකප් එක වැඩි වේලාවක් මුහුණේ තබාගත හැකිය.

 

ආලේපනය ඉවත් කරගන්නේ කොහොමද?
ආලේපනය පැය 10කට වඩා තබා ගැනීම නොකළ යුතුය. ඉවත් කර ගැනීම සඳහා ෆේස් වොෂ් එකක් ප්‍රමාණවත් වුවද සමේ නිරෝගීකම සහ පෝෂණය උදෙසා ඩීප් ක්ලෙන්සර් එකක් සහ ටෝනර් එකක් භාවිතා කිරීම වැදගත් වේ. මෙම ආලේපන සමෙන් නිසි පරිදි ඉවත් නොවුණහොත් ඒවා කාලයක් පුරා රෝමකූප තුළ රැඳී තිබීමෙන් සමෙන් සිදුවන බහිස්‍රාවීය කාර්ය නිසි පරිදි සිදුනොවීම නිසා පිළිකා තත්ත්ව ද ඇතිවිය හැකිය. ඒ නිසාම විශේෂයෙන් නිතර මේක්අප් ආලේපන ගල්වන කෙනෙක් නම් හොඳින් සම මතුපිටින් ඒවා ඉවත් කරගෙන සම පිරිසුදු කරගැනීම ඉතා වැදගත් වේ.

සටහන - නයනා උදයංගනී


                  

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත  ඉන්දිකා ජයසේන Read Previous

එංගලන්තෙ කේක් තාරකාවගෙ නිර්මාණ මහගෙදර සිරිකත ඉන්දිකා ජයසේන

ලොව ළාබාලතම බිලියනපතිනිය Read Next

ලොව ළාබාලතම බිලියනපතිනිය

Realted Post

Leave a comment