කාන්තාවකට ව්‍යාපාර නොගැලපෙනවා කියලයි තාමත් හිතන්නේ - දේශානි ගමගේ
ව්‍යාපාරික ක්ෂේත්‍රය තුළ කාන්තාවක තම ගමන නොසැලී ඉදිරියට යන්නේ නම් එයද සුවිශේෂී වන්නේ තවමත් අපේ රට තුළ පවතින නොයෙක්විධ මතවාද හේතුවෙනි. බිම් මට්ටමෙන් ඇරඹූ තම ව්‍යාපාරය ඉන් එහා ගිය සමාජ සත්කාරයක් ලෙසද ගෙන යමින් ගමේ දරුවන්ට අධ්‍යාපනික කඩඉම් ජයගන්නට නවමු සංකල්ප හඳුන්වාදීම තුළින් ඇය ලබා ඇති ජයග්‍රහණ බොහෝ ය. ඈ තරුණ ව්‍යවසායිකාවක වන දේශානි ගමගේ ය. 2004 වසරේ හොඳම තරුණ ව්‍යවසායිකාව ලෙසද , 2013 වසරේ දකුණු පළාත් හොඳම ව්‍යවසායිකාව ලෙසද , 2024 වසරේ අධ්‍යාපන අංශයේ හොඳම ව්‍යවසායිකාව ලෙසද, 2021 , 2022 වර්ෂයන් හි හොඳම නිල වෙබ් අඩවියට හිමි සම්මාන දිනාගන්නේ ද ඇයයි.
- මාතර ගෙවුණු ළමා විය
මම ඉපදුණේ මාතර. පවුලෙ හිටියෙ අම්මයි තාත්තයි මමයි අයියයි. තාත්තා ව්‍යාපාරයක් කරගෙන ගියා. අම්මා නම් රැකියාවක් කළේ නැහැ. පුංචි කාලෙ ඉඳලම මම ටිකක් අභියෝගාත්මක වැඩ කරන්න කැමතියි. අපේ ගෙවල් ළඟ හිටියා යාළුවො සෙට් එකක්ම. වැඩිපුර පිරිමි ළමයි. ඉස්කෝලෙ ගිහින් ආව හැටියෙ කරන්නෙ ඒ අයට එකතුවෙලා බයිසිකල් පදින එක.
- පාසල් කාලෙ
මම ගියේ මාතර සුජාතා බාලිකාවට. මම පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ලෙසත් කටයුතු කළා. ක්‍රීඩා කටයුතු අතහැරියෙත් නෑ. උසස් පෙළට විද්‍යා විෂයන් තෝරගන්න කියලා නම් අපේ ගෙදරින් බලපෑම් ආවා. මොකද අයියා ඒ වෙද්දි විද්‍යා විෂයන් හදාරලා හිටියෙ. ඔහු දැන් පශූ වෛද්‍යවරයෙක්. නමුත් මට ඕනැ වුණේ වාණිජ විෂයන් හදාරන්න. මම ව්‍යාපාර කටයුතුවලට එදා ඉඳලම කැමැත්තෙන් හිටියෙ. අන්තිමට මගේ ඉල්‍ලීමට ගෙදරින් කැමැත්ත ලැබුණා.
- ඊට පස්සෙ
අපේ තාත්තා බය වුණා මට තිබුණු බාහිර වැඩ එක්ක විභාගෙ හරියට කරන්න එකක් නෑ කියලා. තාත්තා ගෙදර ගරාජය අස් කරලා බංකු දෙක තුනක් දාලා ගුරුවරු ගෙන්වලා මට උගන්වන්න පටන් ගත්තා. එතැනට මගේ යාළුවොත් එකතු වුණා. ඊට පස්සෙ තමයි මට අදහසක් ආවෙ ටියුෂන් එක දිගටම කරගෙන යන්න ඕන කියලා. එතැන තිබුණෙ සල්ලි හොයන පරමාර්ථයක් නෙමෙයි. ඒ ගුරුවරු ටිකට සහයෝගයක් දෙන්න. ඒ නිසා මම ඒ වැඩේ පටන්ගත්තා. ඒක තමයි ආරම්භය.
- සරසවි සිහිනේ
මම තේරුණේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට. ඇත්තටම ඒ වෙද්දි මම ටියුෂන් කර්මාන්තයට අතගහලා තිබුණෙ. ඒත් මම කැම්පස් එනවා. නමුත් මට අනෙක් ළමයින්ට වගේ සරසවි ජීවිතේ විඳින්න ලැබෙන්නෙ නෑ. මොකද මම අතගහපු වැඩේ අතහරින්න බෑ. සමහර දේශනත් මඟහැරුණු අවස්ථා තියෙනවා. ඒත් මම උපාධිය අතහරින්නෙත් නෑ. සිකුරාදට ගෙදර ගිහින් ටියුෂන් එකේ වැඩ රෑ දෙක තුන වෙනකම් ඉවර කරනවා. ආයෙත් සඳුදට පාන්දර දෙකට විතර මාතරින් කොළඹ එන්න බස් එකට නගිනවා. පැය පහ හය බස්වල. ඒත් මම අතහැරියෙ නෑ. මහන්සිවෙලා උපාධියත් ගත්තා.
- ව්‍යාපාරයේ මඟ
ඒක බොහොම දුෂ්කර ගමනක්. මම ටියුෂන් ආයතනය පටන්ගත්තට ඒක දියුණු කරගන්න නම් ණය ගන්න ඕනැ වුණා. ඒ කාලෙ කිසිම බැංකුවකින් ණයක් දෙන්නෙ නෑ ලේසියකට. එකක් කාන්තාවක වීම. අනෙක විශ්වවිද්‍යාල සිසුවියක් වීම. කොහොම වුණත් විශ්වවිද්‍යාලයෙන් එළියට එද්දි මට පෞද්ගලික බැංකුවක රස්සාවකට යන්න සිදුවුණා. එතැන හිටිය චන්ද්‍රසිරි හේවාපතිරණ කියන මහතා තමයි මට ජීවිතේ බොහෝ දේවල් කියාදෙන්නෙ. එතැනදි මම බොහෝ දේවල් ඉගෙනගත්තා. නමුත් මට ඕනෑකම තිබුණෙ මගේ ව්‍යාපාරය ඉස්සරහට අරන් යන්න. එ් නිසා රැකියාවෙන් ඉවත් වුණා.
- ගැහැනියකට අභියෝග
අභියෝග ගැන ඕන තරම් දේවල් කතා කරන්න පුළුවන්. අපේ රටේ සංස්කෘතිය අනුව තාමත් කාන්තාවක් ව්‍යාපාරයක් කරනවා කියන්නෙ නොගැළපෙන දෙයක් කරනවා වගේ හැඟීමක් තියෙන්නෙ. මම මගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න යන්න හදනකොට අම්මා කියනවා අයියත් එක්ක යන්න, එයත් හවුල්කරගන්න කියලා. ඒ කාන්තාවකට තනියෙන් යමක් ගොඩනගන්න බැහැ කියලා සමාජයේ මතයක් තියෙන නිසා. මගේ අයියා එහෙම ඇවිත් මට හයියක් වුණත් එයා ව්‍යාපාරවලට කැමති නැති කෙනෙක්. බොහෝ ආයතන කාන්තා ව්‍යවසායිකාවන්ට උදව් කරනවා කියලා තිබුණට ඒ සිස්ටම් එක ඇතුළෙ විශාල ප්‍රමාණයේ ආයතන උදව් කළාට ලංකාව තුළ ක්‍රියාත්මක වනවිට කොළඹට පමණක් සීමාවෙනවා.
නමුත් මගේ ව්‍යාපාරවලට බැංකුවලින් ලොකු සහයෝගයක් ලැබුණා. ඒ තුළින් තමයි මම මගේ ව්‍යාපාර දියුණුකර ගත්තේ.
- මාතරට සම්පතක්
මාතර කොළඹින් බොහෝ ඈතයි මම ටියුෂන් ආයතනය පටන්ගත්ත කාලයේ. මේ දරුවන්ට කොළඹ ගිහින් ඉගෙනගන්න බෑ. මට මතකයි මම මගේ ආයතනයේ කොළඹට සීමා වූ එක් පාඨමාලාවක් අරඹන්න ගුරුවරුන් තෝරාගන්න දැන්වීමක් දැම්මම එක්කෙනෙක්වත් ආවෙ. බැරිම තැන මම සම්මුඛ පරීක්ෂණය කොළඹ ලොකු හෝටලයක තියෙනවා කියලා දැන්වීම දැම්මම තමයි ගුරුවරු ආවෙ. එතැනදි ආව ගුරුවරයෙක් මගෙන් ඇහුවා ප්‍රවාහන කටයුතු කොහොමද දෙන්නෙ කියලා. ඒ වෙද්දි හයි - වේ නෑ. ගාලු පාරෙ පැය පහක් හයක් ගෙවාගෙන කොළඹ ඉඳලා ගුරුවරු ගේන්න ඕනෑ. ඒ දවස්වල මට පරණ වාහනයක් තිබුණෙ. මම ඩ්‍රයිවර් කෙනෙක් හොයාගෙන කොළඹට යවලා තමයි ගුරුවරු මාතරට ගෙනාවෙ.
කොරෝනා කාලෙ ඔන් ලයින්වලින් පන්ති පටන් ගත්තෙ අපි. සමහර මවුපියො ගූගල් එක දන්නෙත් නෑ. ඒ වගේ විශාල කැපකිරීමක් කළා.
- බලාපොරොත්තු
ව්‍යාපාරය ව්‍යාප්ත වෙලා තියෙන්නෙ දකුණු පළාතට විතරක් වුණත් කෝවිඩ් කාලයේ ඔන් ලයින් භාවිතාව එක්ක අපට මේ රටේ සෑම ප්‍රදේශයකම ඉන්න දරුවන්ට සේවය ලබාදෙන්න පුළුවන් වුණා. ඒ නිසා තවත් වැඩ කරන්න ඕනෑ.
මගේ ව්‍යාපාරයේ හේතු පාඨය අධ්‍යාපනය සැමට’ කියන එක. . මේ හේතු පාඨය එක්ක ලෝකයට , මිනිසුන්ට බොහෝ දේවල් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තිබෙනවා.
- සටහන - සුජිත් ප්‍රසංග
Leave a comment