අවුරුදු කෑම මේසයට නව අරුතක්

ලුත් අවුරුද්ද ළඟ ළඟම එනවා. පරිසරයත් අලුත් සශ්‍රිකයි. ඒ වගේම අපේ ජීවිතත් අලුත් කරගන්න හොඳම කාලය මේ කියලා හිතෙනවා. ඒ නිසාම හැමදාම සරසන සිංහල අලුත් අවුරුදු කෑම මේසයට  නව අරුතක් වගේම පරම්පරාවෙන් පරම්පරාවට රැගෙන ආ දේශීය ආහාර සංස්කෘතියත් මුසු කරගනිමින් 120ට 220 ආයුෂ ලබන්නට මෙවර අවුරුදු කෑම පිඟානක් මේසයට යවමු.

සිංහල අලුත් අවුරුදු මාසය කියන්නේ විශේෂයෙන් තෙල් - පිටි - සීනි බහුලවම කැවෙන මාසයක් නේ. නමුත් අපට පුළුවන් තෙල් පිටි  සීනි සමබර කරගෙන  අලුත් අවුරුදු කෑම මේසය කළමනාකරනය කරගෙන අවුරුදු සමරන්න.

සම්ප්‍රදායික සිංහල අලුත් අවුරුද්ද දේශීය සංස්කෘතිය අනුව  කය වෙහෙසවා කුඹුරු වපුරා ඉවර වෙන කාල සීමාවයි. ඉස්සර නම් මේ වැඩ කළේ මිනිස් ශ්‍රමයෙන් නමුත් අද ඒ වැඩ බොහොමයක් යන්ත්‍ර සූත්‍රවලට බාරදීලයි කරන්නේ.

ඉස්සර අතින් පයින් කරන ගොවිතැන නිසා ගොවිතැන් කරලා කුඹුරු වැඩ අවසන් වී ගෙන එද්දී සිරුරේ තියෙන තෙල් ප්‍රමාණය ඉතාම අඩුවෙයි. එතනදි දේශීය වෛද්‍ය ක්‍රමයක්,දේශීය ඥාණයත් සම්බන්ධකර ඒ අඩුව පුරවන්න තමයි අවුරුද්ද කියන සංස්කෘතිය තියෙන්නේ.

අලුත් අවුරුද්දට  තෙල් පිටි සීනි ආහාර නිරන්තරයෙන් කැවෙන නිසා  අද කාලයේම නම් මේ සම්ප්‍රදායික අවුරුදු ක්‍රම රටාවේ සියලුම  ආහාර වර් ග  වල  රටාව වෙනස්විය යුතුයි.   එසේ නොවුණහොත් බෝ නොවන රෝගවලට ප්‍රධාන හේතුවක් වීමට පුළුවනි.

 අලුත් අවුරුදු කෑම මේසය තුළ මූලිකම ප්‍රධාන ආහාරය වන්නේ කිරිබත්. එතනදි කිරිබත් සැදීමේදී නිවුඩු සහල්, කැකුළු සහල් වලින් කිරිබත සාදාගැනිම කළ හැකියි. කුරුට්ට පොලිස්කර ගත් සහල් වර් ගයකින් කිරිබත් පිස ආහාරයට ගතහොත් කාබෝහයිඩ්‍රෙට් පමණයි ලැබෙන්නේ.

 අපට පුළුවන් කිරිබත් කන්න හත්මාලුවක් සාදාගන්න. හත්මාලුව තුළ තියෙන්නේ එළවළු විටමින් වර් ග රැසක් තිබෙන නිසා උපරිම මට්ටමට  පෝෂණයක් එක්වෙනවා. සම්ප්‍රදායික හාත්මාලුවට වට්ටක්කා දලු, ළපටි වම්බටු, නිවිති කොළයක්, කොස් ඇට, කජු, කිරි අල, මෑකරල්. මෙතනදි හත්වර්ගයකම අවශ්‍ය නොවේ. තමන් ඉන්න පළාතට ආවේණික වූ එළවළු වර් ග යොදාගැනිම කළ හැකියි.

 සාමාන්‍යයෙන් සම්ප්‍රදායික සමාජ මතයක් තියනවානේ අවුරුදු කෑම මේසයට තෙල් කැවුමක් අවශ්‍යමයි කියලා. එතනදි අපිට පුළුවන් නම් ශුද්ධ සීනි යොදනවාට වඩා ඒ වෙනුවට   මී පැණි, කිතුල් පැණි යොදාගැනීමට පුළුවනි. සුදු සීනි යොදා  සාදන කැවුම්වලට වඩා රුධිරයට සීනි  ප්‍රමාණය එක්වීම අඩුවෙයි. නමුත් මේවා යොදා සැදුවත් වැඩිපුර ගැනීම නම් අහිතකර වීමට පුළුවනි. ඒ වගේම පාන්පිටි වෙනුවට නිවුඩු/කැකුළු හාල්පිටි  යොදා ගන්න පුළුවනි. කැවුම් බඳින්න  ගන්න පොල්තෙල් වෙනුවට අපිට තල තෙල් යොදා ගැනීම කළ හැකියි.

වැලිතලප, අලුවා සෑදිමේදි කිතුල් පැණි, මී පැණි, පොල්පැණි යොදා ගැනීම කළ හැකියි. ස්වභාවික පැණි වලින් සෑදිම තුළ ශරීරයට  ක්ෂණිකව ඇතුළුවන සීනි යම් ප්‍රමාණයකට සීමා වෙයි.

රසකැවිලිවලට තල කැරලි භාවිත කරන්න පුළුවන්. එය සැදීමේදී සීනි වෙනුවට තන්තු ගතිය වැඩි කිතුල් හකුරු එසේ නැත්නම් සක්කර වැනි දෙයක් යොදාගෙන පැණි රස ගන්න පුළුවන්.   

ආස්මී වැනි දේවලුත් හොඳයි. පොඩි සිනි රැල්ලක්නේ වැටෙන්නේ. වියළි ගතියක් තියෙනවා කොකිස් පැණි රසින්/ තෙල් ගතියෙන් අඩුයි. අපට පුළුවන්නම් රසකැවිලි අඩුකර කෑම මේසයට පළතුරු වට්ටියක් භාවිත කරන්න පේර, දෙලුම්, නෙල්ලි, අඹ, ජම්බු, ඇබැරැල්ල,බෙලි,දිවුල් කෙසෙල් වැනි දෑ හොඳ සංස්කෘතික උත්සවයකට දේශීය වශයෙන් නොගැළපීමක් නැති රස ආහාරයන් වෙයි.

 අද වෙද්දී විශාල ලෙස ළමා තරුණ  බොහෝ පිරිස් පැණි බිම වර් ග වලට පුරුදු වී ඉන්නවා. ඒ වෙනුවට දේශීය පළතුරු, මල් වර්ග, (පොකුරු වදමල්/ නිල්කට රොලු) ඖෂධ වර්ග යොදා ගත හැකියි. සීනිත් අවශ්‍ය නොවේ .ඒ වෙනුවට මී පැණි යොදා ගැනිමෙන් පෝෂණ ගුණත් වැඩියි. අගුණත් අඩුවෙයි.

 ♦ අලුත් අවුරුද්දේ විශේෂිත චාරිත්‍රයක් නේද ආහාර පිසීම නැකත. සහ ආහාර අනුභවය නැකත.

ආහාර පිසීමේදී නම් මට හිතෙන්නේ වෛද්‍ය විද්‍යාත්මක  පැත්ත අමතක කරලා කියලයි. 

සමහර අවුරුදු කාලවලට  උදෑසනම කිරිබත සෑදිම තිබේ. සමහර අවුරුදු  චාරිත්‍ර තියනවා රාත්‍රියදී කිරිබත් පැසිම. මෙතනදි රාත්‍රියදි කිරිබත් පිස නැකතට කිරිබත් /තෙල් කැවුම් කා හොඳට නිදා ගැනීමෙන් එහි  මේද  කොටස් ශරීරයේ තැන්පත් වෙනවා. පහුවෙනිදාට තමයි වැඩිය අමාරුව. අද කාලේ හෘදයාබාධ වලටත් හේතුව ඕකයි. අලුත් අවුරුද්ද ඉතාම වැදගත් උදෑසන කාලයේ නැකතට අනුව ආහාර අනුභවයයි.

ඉස්සර මිනිස්සු කිරිබත් කැවුම් කා නිකම් හිටියේ නැහැ. දේශීය ක්‍රීඩා (ජන ක්‍රීඩා) වලට යොමුවුණා. ඒ වගේම මානසික ඒකාග්‍රතාවය රැක ගැනීම සඳහා පුණ්‍යකාලය දී ආගමික වතාවත්වල යෙදුණා.

අවුරුද්දට විතරක් නොවේ හැමදාම අපි මේ රටාවට පුරුදු විය යුතුයි.     

විශේෂ ස්තුතිය:- යක්කල ගම්පහ දේශීය විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය R-T. පැරකුම් කරුණාරත්න.

සැකසුම:- මහේෂානි මීගහපොල

 

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක් Read Previous

මලක් වගේ සුවඳට ඉන්න හැම ගැහැණු ළමයෙක්ම දැනගත යුතුම රහස් 20ක්

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර  විරෝධතාවයක්.. Read Next

මඩකලපුවේ කාන්තා ඝාතනයේ සැකකරුවන්ට නීතීඥ සහාය නොදෙන්නැයි බලකර විරෝධතාවයක්..

Realted Post

Leave a comment