කෙසෙල් දිනපතා ආහාරයට ගැනීමෙන් ලැබෙන සෞඛ්‍ය ප්‍රතිලාභ

කෙසෙල් යනු ලොව පුරා ජනප්‍රියම පලතුරක් වන අතර, එය රසවත් මෙන්ම ඉතා පෝෂ්‍යදායී ආහාරයකි. තන්තු (Fiber), පොටෑසියම්, විටමින් සහ ප්‍රතිඔක්සිකාරක (Antioxidants) බහුලව අඩංගු කෙසෙල් හෘද සෞඛ්‍ය ආරක්ෂා කිරීම, ජීර්ණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම සහ බර පාලනයට උපකාරී වන බව පර්යේෂණවලින් හෙළි වී ඇත.

කෙසෙල්වල ආරම්භය අග්නිදිග ආසියාවෙන් සිදු වූ අතර, අද වන විට ලොව පුරා උෂ්ණ කලාපීය රටවල බහුලව වගා කෙරේ. කොළ, කහ සහ රතු පැහැති ප්‍රභේද ඇතුළු විවිධ වර්ගවල කෙසෙල් දක්නට ලැබේ.

සාමාන්‍යයෙන් ග්‍රෑම් 118ක් පමණ බරැති කෙසෙල් ගෙඩියක, කැලරි – 105, ජලය – ග්‍රෑම් 88.4, ප්‍රෝටීන් – ග්‍රෑම් 1.29, කාබෝහයිඩ්‍රේට් – ග්‍රෑම් 26.9, සීනි – ග්‍රෑම් 14.4,  තන්තු – ග්‍රෑම් 3.07, මේදය – ග්‍රෑම් 0.39 අඩංගු වේ.

කෙසෙල් කාබෝහයිඩ්‍රේට්වල හොඳ ප්‍රභවයකි. නොපැසුණු කෙසෙල්වල ප්‍රධාන වශයෙන් පිෂ්ඨය (Starch) අඩංගු වන අතර, පැසුණු කෙසෙල්වල සුක්‍රෝස්, ෆ්‍රක්ටෝස් සහ ග්ලූකෝස් වැනි ස්වාභාවික සීනි බහුලව පවතී. කෙසෙල්වල ග්ලයිසෙමික් දර්ශකය (Glycemic Index - GI) 42 සිට 51 දක්වා වන අතර, එය අඩු සිට මධ්‍යම මට්ටමේ අගයකි. එම නිසා රුධිරයේ සීනි මට්ටම හදිසියේ ඉහළ නොයෑමට උපකාරී වේ.

නොපැසුණු කෙසෙල්වල ඇති ප්‍රතිරෝධී පිෂ්ඨය (Resistant Starch) ආහාර ජීර්ණය නොවී මහ බඩවැලට ළඟා වී එහි හිතකර බැක්ටීරියා මඟින් බියුටිරේට් (Butyrate) නම් කෙටි දාම මේද අම්ලයක් බවට පරිවර්තනය වේ. මෙය බඩවැල් සෞඛ්‍යයට ඉතා වැදගත් වේ. කෙසෙල්වල ඇති පෙක්ටින් (Pectin) නම් තන්තු වර්ගය, ආහාර ජීර්ණය මන්දගාමී කර ආහාර ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම පාලනය කිරීමට උපකාරී වේ. කෙසෙල් පැසෙන විට මෙම ද්‍රාව්‍ය තන්තු ප්‍රමාණය වැඩි වන නිසා ගෙඩිය මෘදු වේ.

කෙසෙල්වල පොටෑසියම් බහුලව අඩංගු වන අතර, එය අධි රුධිර පීඩනය පාලනය කිරීමට සහ හෘද සෞඛ්‍යය ආරක්ෂා කිරීමට උපකාරී වේ. මැග්නීසියම් ද අඩංගු වන අතර, එය රුධිර පීඩනය හා රුධිර සීනි පාලනය කිරීම, අස්ථි ශක්තිමත් කිරීම, මාංශ පේශි හා ස්නායු ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කිරීමට දායක වේ.

සාමාන්‍ය කෙසෙල් ගෙඩියකින් දෛනික විටමින් B6 අවශ්‍යතාවයෙන් සියයට 25ක් පමණ ලබාගත හැකිය. මෙම විටමින් පරිවෘත්තීය ක්‍රියාවලිය, ගර්භයේ සහ ළදරුවන්ගේ මොළයේ වර්ධනය, ප්‍රතිශක්තිය සහ නින්දේ ගුණාත්මකභාවය සඳහා වැදගත් වේ. එමෙන්ම විටමින් C ද අඩංගු වන අතර, එය නිදහස් රැඩිකල්වලින් ශරීරය ආරක්ෂා කිරීම, ප්‍රතිශක්තිය වැඩිදියුණු කිරීම සහ රෝගවලින් සුවය ලැබීම වේගවත් කිරීමට උපකාරී වේ.

කෙසෙල්වල අඩංගු විටමින් A ඇස්වල සෞඛ්‍යය ආරක්ෂා කිරීමටත්, ඇතැම් පිළිකා වර්ග ඇතිවීමේ අවදානම අවම කිරීමටත් දායක විය හැකිය. කෙසෙල්වල ඇති පොටෑසියම් හෘද ස්පන්දනය නිසි පරිදි පවත්වා ගැනීමට, ස්නායු සංඥා සම්ප්‍රේෂණය කිරීමට සහ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය වේ. පොටෑසියම් බහුල ආහාර ගැනීමෙන් අධි රුධිර පීඩනය සහ ධමනි අවහිර වීමේ අවදානම අඩු කළ හැකිය. කෙසේ වෙතත්, වකුගඩු රෝගීන් වැඩිපුර කෙසෙල් ආහාරයට ගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

කෙසෙල්වල ඇති පෙක්ටින් සහ ප්‍රතිරෝධී පිෂ්ඨය ආහාර ජීර්ණය නියාමනය කරන අතර, බඩවැල් තුළ හිතකර බැක්ටීරියා වර්ධනයට උපකාරී වේ. එමෙන්ම කෙසෙල්වල අඩංගු ෆ්‍රක්ටූඔලිගෝසැකරයිඩ් (Fructooligosaccharides - FOS) නම් කාබෝහයිඩ්‍රේට් වර්ගය බඩවැලේ හිතකර බැක්ටීරියා සමතුලිතව පවත්වා ගැනීමට දායක වේ.

මෙම ගුණාංග නිසා, මලබද්ධය අඩු කිරීමට, ප්‍රතිජීවක ඖෂධ භාවිතයෙන් පසු ඇතිවන අතීසාරය පාලනය කිරීමට, Irritable Bowel Syndrome (IBS) රෝග ලක්ෂණ අඩු කිරීමට, ලැක්ටෝස් නොඉවසීම සහ ඇතැම් ආසාත්මිකතා තත්ත්වයන් සමනය කිරීමට උපකාරී විය හැකිය. තන්තු බහුල සහ අඩු සිට මධ්‍යම GI අගයක් ඇති කෙසෙල් ආහාරයට ගැනීමෙන් දිගු වේලාවක් පූර්ණ බවක් දැනෙන අතර, අනවශ්‍ය ලෙස ආහාර ගැනීම අඩුවේ. සාමාන්‍ය කෙසෙල් ගෙඩියක තන්තු ග්‍රෑම් 3ක් පමණ අඩංගු වන අතර, එය දෛනික අවශ්‍යතාවයෙන් සියයට 10ක් පමණ සපුරාලයි.

කෙසෙල්වල ඇති කාබෝහයිඩ්‍රේට් ශරීරයේ ග්ලයිකොජන් ගබඩා නැවත පුරවා ශක්තිය ඉක්මනින් ලබාදෙයි. පොටෑසියම් විද්‍යුත් ලවණ (Electrolytes) සමතුලිත කර මාංශ පේශි කැක්කුම් අවම කිරීමට උපකාරී වන අතර, ප්‍රතිඔක්සිකාරක මගින් ව්‍යායාමයෙන් පසු ඇතිවන ප්‍රදාහය අඩු කිරීමට දායක වේ. කෙසෙල්වල ඇති ට්‍රිප්ටෝෆෑන් (Tryptophan) නම් ඇමයිනෝ අම්ලය ශරීරය තුළ සෙරටොනින් බවට පරිවර්තනය වන අතර, එය මනෝභාවය යහපත් කිරීමට සහ නින්දේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. එමෙන්ම කෙසෙල්වල ඇති අනෙකුත් සංයෝග මතක ශක්තිය අඩුවීමට හේතු විය හැකි මොළයේ ක්‍රියාකාරිත්වයේ පිරිහීම වැළැක්වීමට දායක විය හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී ඇත.

දියවැඩියාව ඇති පුද්ගලයන් ඉතා පැසුණු කෙසෙල් වැඩිපුර ආහාරයට ගැනීමෙන් වැළකී සිටීම සුදුසු අතර, කෙසෙල් ආහාරයට ගැනීමෙන් පසු රුධිරයේ සීනි මට්ටම නිරීක්ෂණය කළ යුතුය. කෙසෙල් වර්ගය අනුව, පුද්ගලයාගෙන් පුද්ගලයාට ඇති අවේනිකතා සහ සෞඛ්‍යම කරුණු හමුවේ ගුණ අගුණ වෙනස්  විය හැකි බැවින් එකදිගට ගන්නවා නම් වෛද්‍ය උපදෙස් මත ලබා ගැනීම යෝග්‍ය වේ.

ඇතැම් පුද්ගලයන්ට කෙසෙල්වලට ආසාත්මිකතාවයක් ඇති විය හැකි අතර, සම කැසීම, උර්ටිකේරියා (Hives), උගුර කැසීම, මාංශ පේශි කැක්කුම්, මුහුණ හෝ සම ඉදිමීම වැනි ලක්ෂණ පෙනී යා හැකිය. එවැනි අවස්ථාවල වෛද්‍ය උපදෙස් ලබාගැනීම වැදගත් වේ. සමබර ආහාර වේලක කොටසක් ලෙස දිනපතා කෙසෙල් ආහාරයට ගැනීමෙන් හෘද සෞඛ්‍යය, ජීර්ණ පද්ධතිය, ප්‍රතිශක්තිය, බර පාලනය සහ සමස්ත ශරීර සෞඛ්‍යය වැඩිදියුණු කර ගැනීමට හැකි වන අතර, එය පහසුවෙන් ලබාගත හැකි ඉතා පෝෂ්‍යදායී පලතුරක් ලෙස සැලකේ.

msn ඇසුරින් අශන්ති වරුණසූරිය

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා. Read Previous

මේක ගැන අහිංසක සතුටක් තියෙනවා.

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි Read Next

ප්‍රවීණ ගායන ශිල්පිනී මරියසෙල් ගුණතිලක අභාවප්‍රාප්ත වෙයි

Realted Post

Leave a comment