බර වැඩි වෙනකොට ලෙඩ වැඩි වෙන හැටි

ස්ථුලතාව හෙවත්  තරබාරුව අනාගතයේ රෝග රැසක අවදානමක් ඇතිබව පෙන්වන ඉඟියකි.


සිරුරේ බර වැඩිවීම ගැටලුවක් වෙන්නේ කොහොමද?


හෘදරෝග, ආඝාතය, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම වෙනස්වීම, කාලීන පෙණහලු රෝග, පූර්ව දියවැඩියා තත්ත්වයට ගොදුරුවීම, අක්මාවේ තෙල් තැන්පත්වීම නිසා දීර්ඝකාලීන සිරෝසිස් තත්ත්වය, අක්මාවේ පිළිකා තත්ත්ව, ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වය, තරුණ කාන්තාවන්ගේ හෝමෝන පද්ධතියේ වෙනස්වීම්, දරුවන් පිළිසිඳ ගැනීමේ අපහසුතා, දීර්ඝකාලීන පිළිකා වැනි රෝගී තත්ත්වවලට මුල් වන මූලිකම සාධකය වන්නේ මේ තරබාරුව හෙවත් අධික බරයි. ඒ නිසා බර කිලෝ ග්‍රෑම්වලින් අඩු කර ගැනීම පමණක් ප්‍රමාණවත් නොවෙයි. 


ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන ආකාරයට ශරීර ස්කන්ධ දර්ශකය නැතහොත් උසට සරිලන බර (ඊඵෂ) තිබිය යුත්තේ මේ ආකාරයටයි. 


ඊඵෂ අගය 18.5 ට අඩු නම් ඉන් හැඟෙන්නේ එම පුද්ගලයා මන්දපෝෂණ තත්ත්වයෙන් පෙළෙන බවයි.


18.5- 24.9 යනු ප්‍රමාණවත් බවයි.


අගය 25.0-29.9  බර වැඩිබව කියැවෙන අතර ඊඵෂ අගය 30 හෝ 30 ට වැඩි නම් ඉන් හැඟෙන්නේ තරබාරු බවයි.


විශේෂයෙන් අපි ආසියාතිකයින් ලෙස තමන්ගේ ඊඵෂ අගය 23 නම් එතැනින් එහාට බර වැඩි කරගත නොගත යුතුය.  විශේෂයෙන්ම ජීවන චර්යාවේ වෙනස්වීම, ව්‍යායාම මගින් හොඳ ඊඵෂ අගයක් පවත්වාගත හැකියි.


තරබාරුව අඩු කරගන්න, බර අඩු කරගන්න යැයි පැවසූ විට බොහෝ දෙනෙක් කරන්නේ ආහාර නොගෙන සිටීමය. නොකා නොබී තාවකාලිකව බර අඩු කර ගැනීමෙන් සියලුම ප්‍රශ්න මඟ හරවා ගත හැකි යැයි බොහෝ දෙනා සිතති. එය වැරැදි සිතුවිල්ලකි. ඔබ කළ යුත්තේ ඔබ ආහාර මගින් ලබා ගන්නා කැලරි ප්‍රමාණය අඩු කර ගැනීමයි. ශක්තිය වැය කරන ප්‍රමාණය වැඩි කරන්න. ඒ සමගම සමබල ආහාරවේලක් වෛද්‍ය උපදෙස් මත ලබාගන්න. 


බර වැඩි වෙනකොට 

හෘද රෝග අවදානම ඉහළට 

හෘද රෝග අවදානම වැඩි කරන හේතු කීපයක්ම තිබේ. ඉන් ප්‍රධානම හේතුව වන්නේ ස්ථුලතාව යි. ඒවාගේම ස්ථුලතාව නිසා ඇතිවෙන දියවැඩියාව, අධික රුධිර පීඩනය වැඩිවීම, කොලෙස්ටරෝල් අධිකවීම යන හේතු ද හෘද රෝගවලට බලපානබව පැවසිය හැකිය. ඒ නිසා අපි ඒ ගැන ඉතාමත්ම සැලකිලිමත් විය යුතුය. 


ස්ථුලතාව හා හන්දි අමාරුව 

ස්ථුලතාව ඇති අයට ඇති වන තවත් ගැටලුවක් වන්නේ හන්දි අමාරුවයි. මෙය බරපතළම ප්‍රශ්නයක් ලෙස දැක්විය හැකිය. ඒ මන්ද, ස්ථුලතාව අඩු කර ගැනීමට එක් පියවරක් වශයෙන් ව්‍යායාම කිරීම වැදගත් වෙයි. එහෙත් හන්දි අමාරුව ඇති අයට ව්‍යායාම කිරීමේදී අපහසුතා ඇති වෙයි. ඒ අපහසුතාව නිසා ව්‍යායාම නොකර සිටියහොත් තව තවත් තරබාරු වන අතර හන්දි අමාරුව තව තවත් වැඩිවෙයි. ඒ නිසා මෙවැනි අයට වඩාත් සුදුසු ජලයේ කෙරෙන ව්‍යායාම ය. එනම් පිහිනීම ය.  පිහිනීමට නොහැකි අය උරහිස් දක්වා ජලයේ ගිලී ජලයේ ඇවිදින්න. එවිට හන්දිපත් වේදනාවක් නොමැතිව ව්‍යායාම කළ හැකිය.


නින්දෙන් ගෙරවීම


ස්ථුල අයට ඇති වෙන තවත් තත්ත්වයක් ලෙස නින්දෙන් ගෙරවීම සඳහන් කළ හැකිය. මෙසේ ගෙරවීම ඇතිවීමට හේතුව ස්ථුලබවත් සමග ශ්වසන මාර්ගයේ උඩ කොටසේ ඇතිවෙන අවහිරවීමයි. එවිට නිසි ආකාරයෙන් ශ්වසනය සිදු නොවෙයි. එහි ප්‍රතිඵලය වන්නේ නින්දේදී රුධිරයේ කාබන්ඩයොක්සයිඞ් ප්‍රමාණය වැඩි වී රුධිර පීඩනය වැඩිවීමයි. අධික ලෙස ගෙරවීම හෘදයාබාධ සහ අංශභාග තත්ත්වය ඇතිවීමට බලපාන අවදානම් තත්ත්වයක් ලෙසද දැක්විය හැකිය. මෙය ස්ථුලතාව සමග අත්වැල් බැඳගන්නා තත්ත්වයක් නිසා ස්ථුලතාව ඇති අය නින්දෙන් ගොරවනවා නම් වෛද්‍යවරයෙකු හමු වී නිසි පරීක්ෂණයට යොමු විය යුතුය. ඒවාගේම මෙසේ නින්දෙන් ගෙරවීමට වෙනත් හේතුද බලපාන නිසා ස්ථුලතාව ඇතත් නැතත් නින්දෙන් ගොරවනවා නම් වෛද්‍යවරයෙකු හමුවීම නුවණට හුරුය.


පරම්පරාවෙන් ලැබෙනවද?


ස්ථුලතාව ඇතිවීමට ජානමය ප්‍රවණතාවක්ද ඇති බව සඳහන් කළ හැකිය. තම පවුලේ අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන් අතර ස්ථුලබව ඇත්නම් ඒ පවුලේ දරුවන්ටත් ස්ථුලතාව ඇතිවීමේ අවදානම වැඩිය. ඒ නිසා තම පවුලේ දරුවන් ගැන මවුපියන් වඩාත් සැලකිලිමත් විය යුතු අතර ඔවුන් සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට යොමු කළ යුතුයි. දරුවන් ව්‍යායාමයෙහි යොදවන්න. එයින් ස්ථුලබව මඟහරවා ගත හැකිය.


“මම කන්නේ නැහැ- මහත් වෙනවා”
“ව්‍යායාම කරනවා - කෙට්ටු වෙන්නේ නැහැ”


මෙයට ප්‍රධානම හේතුව අඩුවෙන් ආහාර ගත්තද වැය කරන ශක්ති ප්‍රමාණය අඩු කර ගැනීමට නොහැකි වීමයි. ඊට හේතුව මෙවැනි පුද්ගලයින් වැඩි කැලරි ප්‍රමාණය වැය කිරීමේදි ඉතා ඉක්මනින්ම වෙහෙසට පත් වීමයි. 


සාමාන්‍යයෙන් අපේ ශරීරයේ හෘදය සෑදී තිබෙන්නේ කිලෝ ග්‍රෑම් 60-70 බර ඔසවා ගෙන හැකි පමණ ව්‍යායාම කිරීමටය. එවැනි ස්කන්ධ ප්‍රමාණයකට රුධිරය පොම්ප කිරීමේ හැකියාව හෘදයට ඇත. එහෙත් එවැනි හදවතකට කිලෝ ග්‍රෑම් 100-120 ස්කන්ධයකට රුධිරය සැපයීමට සිදුවුවහොත් ඒ අයට ව්‍යායාම කිරීමේ හැකියාව අඩුවෙයි. එවැනි අය වෛද්‍ය උපදෙස් මත අවශ්‍ය ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් වෙයි.

 

 

■ සුබෝධිනී පෙරේරා

 

අදහස් දැක්වීම :

 - හෘද රෝග විශේෂඥවරුන්ගේ සංගමයේ සභාපති, විශේෂඥ වෛද්‍ය 

චන්දික පොන්නප්පෙරුම

අන්තරාසර්ග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය 
දිමුතු මුතුකුඩ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ 
ශාන්ති ගුණවර්ධන

 

 

 

නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි  - සිනෙති සහ සහන් Read Previous

නෝනයි මහත්තයයි පබසරයි ගෝනයි වුණු හැටි - සිනෙති සහ සහන්

බත් කන අලුත්ම විදිහ Read Next

බත් කන අලුත්ම විදිහ

Realted Post

Leave a comment