විශ්මිත ගුණැති ලිංගික ශක්තිය වඩවන ශාක පත්‍රය මුරුංගා

මුරුංගා කියන්නේ සෑම නිවසකම දැකිය හැකි සුලබ වූ ශාකයක්. නමුත් බොහෝ දෙනා මේ ශාකයේ වටිනාකම නොදන්න නිසාම එතරම්ම ප්‍රයෝජනයක් නොගනියි. මෙම ශාක පත්‍රය ඉස්සන්, දැල්ලන්, කකුළුවන් වැනි උෂ්ණ ආහාරයන් පිසීමේදී එම ආහාර වල පවතින උෂ්ණ ස්වභාවය අඩු කිරීම සඳහා බහුලවම යොදා ගනියි. 


නමුත් ඔබ දන්නවද? මේ ශාකයේ පංචාංගමය ඖෂධ පිණිස භාවිතා කරන බව. 

පුරාණ කාලයේ ඉන්දියානුවන් අතර විශ්වාසයක් ලෙස මුරුංගා ශාකය දෙවියන් දුන් තෑග්ගක් ලෙසින් වගේම ඊජිප්තු රාජකීයවරුන් මුරුංගා තෙල් සම රැක ගැනීමට වගේම සූර්ය තාපයෙන් ආරක්ෂා වීම සඳහා ඖෂධීය ශාක  පත්‍රයේ තෙල් උපයෝගී කරගනු ලැබුවා.

අපේ උතුරුකරයේ යාපන ද්‍රවිඩ සහා හින්දු ජනයා අතර අදටත් විවාහ උත්සවයන් වලදී මුරුංගා පත්‍ර යොදා ගැනීම සිදුකරනු ලබනවා. එයට හේතුව නම් මොවුන් අතර පවතින දැඩි විශ්වාසයක් නිසාවෙනි. එනම් පාරිශුද්ධය ,ශක්තිය, ආශිර්වාදය යන ත්‍රිත්වය නියෝජනය කරවන සංකේතයක් ලෙස මෙය හඳුන්වනු ලබනවා. 

පිරිමින්ගේ ලිංගික ශක්තිය වර්ධනය කිරීමේ ප්‍රබල හැකියාවක් මෙම ශාක පත්‍රය සහ කරල් සතු බව දෙමළ, හින්දු ජනයා ප්‍රබලවම විශ්වාස කරනවා. එම නිසා දකුණු ඉන්දියාවේ වගේම අපේ රටේ උතුරුකරයේ ජීවත්වන ද්‍රවිඩ ජනයා ලිංගික ශක්තිය, ලිංගික ආකර්ෂණය කර ගැනීම සඳහා මුරුංගා කොළ/ ගෙඩි ආහාරය සඳහා බහුලවම යොදා ගනු ලබනවා. 

මුරුංගා කොළයේ සතු විශිෂ්ට ගුණය ගැන බොහෝ දෙනා තවමත් නොදන්වා වෙන්න පුළුවන්. 

එහි විටමින් ඒ, විටමින් සී, විටමින් ඊ, යකඩ, කැල්සියම්, සින්ක්, ප්‍රෝටීන්, ප්‍රතිඔක්සිකාරක ගුණය පොටෑසියම්, වැනි සංඝටක ඉහළ ප්‍රමාණයකින් යුක්තයි. 
ඒ වගේම, රුධිරය පිරිසුදු කරවයි, දරුවන්ගේ මතක ශක්තිය වගේම අස්ථි ශක්තිමත් කරවයි, කුසගිනි වඩවයි, ඇස් වලට ගුණදායකයි, ඔසප් කාලයේදී මතුවන රෝගයන් සමනය කරවයි, මළබද්ධය වළක්වයි, විශේෂයෙන් උෂ්ණ පළාත්වල ජිවත් වන අයට ඇතිවන උදෑසන මළ පහා පිට කිරීමේ අපහසුතා වළක්වා ගැනීම සඳහා මුරුංගා වෑංජනයක් ලෙස සාදා ආහාරයට එක් කර ගැනීම පාරම්පරික පුරුද්දක් ලෙස සිදු කෙරුණි. 
අවුරුදු සිය ගණනාවක් ඈත අතීතයේ සිට ගැබිනි මව්වරුන් වගේම කිරිදෙන මව්වරුන් මුරුංගා කොළ විශේෂිත ආහාරයක් ලෙස ලබා දෙනු ලබනවා. 

මුරුංගා මැල්ලුමක් ලෙස, පරිප්පු සමග මුරගා කොළ එකතු කරවීම, සලාද සෑදීම වැනි රසවත් ආහාරයක් ලෙස අපිට මෙය හරියට ගත හැකියි.

අපි මෙතරම් වෙලා කතා කලෙ මුරුන්ගා කොළයෙ ඇති ඖෂධීය වටිනාකම ගැනයි.

ඖෂධීය වටිනාකමින් එහා ගිහින් ඔබ දන්නවාද? මේ පත්‍රය රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ අද වෙද්දි බහුලම යොදා ගනු ලබන අමුද්‍රව්‍යයක් බව, මෙම පත්‍රය යොදා ගනිමින් ඔබට නිවසේදීම ඔබට රූපයේ අලංකරණයට යොදාගත හැකි ක්‍රම කිහිපයක් ගැන තමයි මේ කියන්න හදන්නේ,


මුහුණට පැක් එකක්

මුරුංගා පත්‍ර වියළා කුඩුකර පව්ඩර් එකක් ලෙස සාදා එයට කිරි හෝ යෝගට් එකතු කර පැක් එකක් ලෙස සාදා භාවිත කරන්න පුළුවන්. එමගින් මුහුණේ රැළි අඩුකර, සමෙ ලප කැළැල් ඉවත් කර, තාරුණ්‍ය රැක දෙයි. 


හිස කෙස් සඳහා මුරුංගා තෙල්


මුරුංගා කොළ ටිකක් ගෙන කොටා එයට පොල්තෙල් එකතුකර මිශ්‍ර කර ඩබල් බොයිල් ලෙස රත් කර එය මදක් නිවුණු පසු කේෂ මූලයේ සහ කෙස්වල හොඳින් ආලේප කිරීමෙන් අකලට කෙස් පැසීම වගේම හිසකෙස් ආශ්‍රිත ගැටළු වළක්වා දිදුලන, ශක්තිමත් කෙස් කළඹක් ලබාගත හැකියි. 


සිරුරට මුරුංගා ස්ක්‍රබ්.

මුරුංගා කොළ පවුඩර් එකක් ලෙස ගෙන මුලු සිරුරේම ආලේප කරන්න.
එමගින් සමෙ පැහැය වර්ධනය කර දීප්තිමත් බව වඩවයි. 

මුරුංගා කොල හර්බල් ටී. 

ඒ සඳහා මුරුංගා පත්‍ර කිහිපයක් මද පවනේ වේලා කුඩුකර එය උණුවතුරට දමා ටී එකක් මෙන් භාවිතා කරන්න පුළුවන්. 

එමගින් යකඩ ඌනතාවය වළක්වා ගැනීමට ,සිරුරට අවශ්‍ය ඛනිජ ලවණ සහ විටමින් ලබා ගැනීමට වගේම, බර අඩු කර ගැනීමට, කොලෙස්ටරෝල් ප්‍රමාණය අඩු කර ගැනීමට, හෘද රෝග සමනයට, මුත්‍රා රෝග වලට ගුණදායකයි වීම, සමේ පැහැය වැඩි කර ගැනීමට, හිස කෙස් වර්ධනය කර ගැනීමට, මතක ශක්තිය වර්ධනය කර ගැනීමට, ප්‍රතිශක්තිය වර්ධනය කර ගැනීමට, දරුවන්ගේ මතක ශක්තිය වර්ධනය කර ගැනීමට වැනි බොහෝ විශිෂ්ට ප්‍රතිඵල ලබා ගැනීමට පුළුවන්.

ඉදිමුම ,තැලුම් වැනි අවස්ථාවලදී ස්වභාවික වේදනා නාශකයක් ලෙස යොදා ගැනීමට පුළුවන්.

දීර්ඝායුෂ ශාකයක් ලෙස හඳුන්වනු ලබන මුරුංගා ශාකයේ විශ්මිත ගුණ ඔබ මෙම ලිපිය කියවීමෙන්  බොහෝ කරුණු අධ්‍යයනයට හැකියාව ලැබෙනු ඇත.

සටහන - මහේෂානි මීගහපොල.

විශේෂ ස්තූතිය

ආයුර්වේද වෛද්‍ය, 
ඉමාෂා උඩවත්ත.

ජීවිතේ අමාරුයි ඒත් වැටෙන්නේ නෑ Read Previous

ජීවිතේ අමාරුයි ඒත් වැටෙන්නේ නෑ

ප්‍රෝන් ටෝස්ට් Read Next

ප්‍රෝන් ටෝස්ට්

Realted Post

Leave a comment