ආදරෙන් පවුල් කන්න නම් වෙනම පදිංචි වෙන්න

"මට මේ කසාදය නැති කර ගන්න ඕන නැහැ. මොන කැපවීම කරලා හරි මට ඕන කසාදය තුළ මහත්තයා එක්ක හොදින් ජීවත් වෙන්න. ඒක මගේ මහත්තයාට තේරුම් කරලා දීලා මට සාධාරණයක් කරන්න"

මේ කතාව මට කියන්නේ මගේ ළගට උපදේශනය සදහා යොමු වූ කාන්තාවක්. ඇයව උපදේශනය සදහා යොමු වන්නේ ඇයගේ මිතුරියක මාර්ගයෙන්. ඇය තවදුරටත් මෙහෙම කියනවා. "මගේ මහත්තයා සහ එයාගේ අම්මා එකතු වෙලා මාව දික්කසාද කරන්න හදනවා. ඒ අය කියන්නේ මම ගෙදර වැඩ කරන්නේ නැහැ කියලයි. මම දන්නේ රස්සාව කරන්නයි හොඳට කාලා බීලා නිදියන්නයි විතරයි කියලයෝ ඒ අය කියන්නේ. ඒ විතරක් නෙවෙයි මගේ පෙනුම ගැන මගේ වැටුප ගැන ලොකු ලොකු අඩුපාඩු දැන් තමයි එයාලට පේන්න අරන් තියෙන්නේ. මගේ මහත්තයා මගේ පැත්තට කතා කරන්න කැමති නැහැ එයා එයාගේ අම්මට ගොඩාක්ම ලැදියි සහ බයයි. ඒ ගෙදර හැමදේම වෙන්න ඕන ඒ අම්මට ඕන විදියට. එයාට තමයි ඕන මේ කසාදය කටු ගාලා දාන්න. එයා නිතරම කියන්නේ අපි රැවටුණා අපි අහු වුණා. මගේ පුතාට මීට වඩා හොද කසාදයක් කර ගන්න තිබුණ කියලා".

මේ ඇය මට කියපු කතාව කෙටියෙන්. වර්ථමානයේ සිදු වන දික්කසාද වලට වැඩිපුරම හේතුව නැන්දම්මා සහ ලේලිය අතර ගැටුමයි. පවුලේ එකම දරුවා පිරිමි දරුවකු වන නිවෙස් වල එහෙම නැත්නම් ස්වාමිපුරුෂයාගේ මහ ගෙදර ජීවත් වෙන්න යන බිරින්දෑවරුන්ට මේ ඉරණම අත් වෙන්න තියන ඉඩ කඩ බොහෝ වැඩිය. පවුලේ එකම දරුවා පවුලේ එකම පිරිමි දරුවා. වගේ දේවල් කියමින් එම දරුවාට ඇති මිල මුදල් දේපල ගැන කියමින් තමන්ගේ පුතාට සහකාරියන් සොයන අම්මලා අවසානයේදී හැසිරෙන විදිය හරිම කණගාටුදායක බව පැවැසිය යුතුය. සමහර නැන්දම්මා වරු තමන් මේ පීඩාවට පත් කරන්නේ තවත් ගැහැණියක එහෙම නැත්නම් තවත් දියණියකට යැයි යන හැඟීමෙන් තොරවය.

සමහර නැන්දම්මලා ලේලිලාගෙන් බලාපොරොත්තු වන්නේ වයස අවුරුදු පනහක හැටක පරිණත ගැහැණියකගේ වැඩ කටයුතුය. නමුත් ඔවුන් තේරුම් නොගන්නා කාරණය වන්නේ හෝ හිතා මතා තේරුම් නොගන්නා කාරණය වන්නේ වයස අවුරුදු විසි පහක තිහක ගැහැණු ළමයකුට එකවැර එසේ විය නොහැකි බවයි.

ඉතින් අවසාන වශයෙන් පැවසිය යුත්තේ, විශේෂයෙන් විවාහ වු යුවලක් විදියට සාර්ථකව පවුල් කන්න නම් හොඳම දේ විවාහ යුවල වෙනම පදිංචි වීමයි. එවිට දෙපාර්ශවයේම මවු පියන් සුහදව තබාගත හැකිය. වර්තමානයේ විවාහ ජීවිත දෙකඩ වීමට බලපාන ප්‍රධානම දෙයක් ලෙස මේ ගැටලුව හදුන්වන්න පුළුවන්.එම නිසා විවාහ වී ඔබට අවැසි නිදහස් ජීවිතය, ගත කිරීමට ආදරය බෙදා ගැනීමට, විශ්වාසයෙන් ජීවත්වීමට සුදුසුම වන්නේ විවාහක යුවලක් වෙනම පරිසරයක ජීවත්වීමයි.

හැඩට වැඩට අඳින්න කැමති ඔබට Read Previous

හැඩට වැඩට අඳින්න කැමති ඔබට

නව පාප් තුමා 14 වැනි ලියෝ Read Next

නව පාප් තුමා 14 වැනි ලියෝ

Realted Post

Leave a comment