දරුවෙකු ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවෙයි? නවතම පර්යේෂණ වාර්තාවක්

ගැබ් ගැනීම කාන්තාවකගේ ජීවිතයට නව පරිච්ඡේදයක් එක්කරනවා පමණක් නොව, ඇයගේ සෞඛ්‍යයටද දිගුකාලීන ආරක්ෂාවක් ලබාදෙන බවට අලුත්ම විද්‍යාත්මක පර්යේෂණයක් හෙළි කරයි.

ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින් සිදු කළ මෙම වැදගත් අධ්‍යයනයට අනුව, ගැබ් ගැනීමේ මාස හතරකට පමණ පසු කාන්තාවගේ පියයුරු පටක තුළ ස්වභාවිකවම කීලර් T සෛල Killer T Cells ලෙස හැඳින්වෙන ප්‍රතිශක්තිකරණ සෛල නිපදවීම ආරම්භ වේ. මෙම සෛලවල ප්‍රධාන කාර්යය වන්නේ පිළිකා සෛල හඳුනාගෙන විනාශ කිරීමයි.

පර්යේෂකයන් පවසන්නේ, මෙම ආරක්ෂිත සෛල ගැබ් ගැනීමෙන් පසුව වසර 10ක් පමණ පියයුරු පටක තුළ රැඳී සිටින අතර, පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම සැලකිය යුතු ලෙස අඩු කිරීමට දායක වන බවයි. මෙම අධ්‍යයනයෙන් තවත් වැදගත් කරුණක් හෙළිවී ඇත්තේ, දරුවන් නොලැබූ කාන්තාවන්ගේ පියයුරු පටක තුළ මෙම ආරක්ෂිත T-සෛල ස්වභාවිකවම නොමැති වීම නිසා ඔවුන්ට පියයුරු පිළිකා වැළඳීමේ අවදානම සාපේක්ෂව වැඩි විය හැකි බවයි. විශේෂඥයන් පෙන්වා දෙන්නේ, වර්තමානයේ වයස අවුරුදු 50ට අඩු කාන්තාවන් අතර පියයුරු පිළිකා වාර්තා වීම ඉහළ යාමට ප්‍රමාද වූ දරු ප්‍රසූතිය හෝ දරුවන් නොලැබීමද බලපාන සාධකයක් විය හැකි බවයි.

එක්සත් රාජධානියේ වසරකට වයස අවුරුදු 50ට අඩු කාන්තාවන් 8,500කට ආසන්න පිරිසක් පියයුරු පිළිකාවෙන් පීඩා විඳින අතර, 1990 දශකයේ සිට එම වයස් කාණ්ඩයේ රෝගීන් සංඛ්‍යාව සියයට 20කට වඩා වැඩි වී තිබේ.

එමෙන්ම, රටේ උපත් අනුපාතය දශක ගණනාවකින් පහළම මට්ටමට පැමිණ ඇති අතර, වයස අවුරුදු 16ත් 45ත් අතර කාන්තාවන් මිලියන තුනකට ආසන්න පිරිසක් දරුවන් නොලැබී ජීවත් වනු ඇතැයිද පර්යේෂණ සඳහන් කරයි.

මෙම පර්යේෂණය මෙහෙයවූ Peter MacCallum Cancer Centre හි විද්‍යාඥයන් පවසන්නේ, මෙම සොයාගැනීම අනාගතයේදී පියයුරු පිළිකාව වළක්වා ගැනීම සඳහා නව ප්‍රතිකාර ක්‍රම සංවර්ධනය කිරීමට මග පාදනු ඇති බවයි. පර්යේෂණයේ සම-ප්‍රධාන කතුවරිය වන මහාචාර්ය කාරා බ්‍රිට් Kara Britt පවසන්නේ, "පියයුරු පටක තුළ Killer T-සෛල වැඩි ප්‍රමාණයක් ඇති කාන්තාවන්ට පියයුරු පිළිකාවට එරෙහිව වඩා හොඳ ආරක්ෂාවක් ලැබෙන බව අපගේ පර්යේෂණයෙන් පැහැදිලි වුණා. මෙය අනාගතයේදී ගැබ් නොගත් ඉහළ අවදානම් කාන්තාවන් සඳහා නව ප්‍රතිශක්තිකරණ ආරක්ෂණ ප්‍රතිකාර නිර්මාණය කිරීමට මග පෙන්වයි."

පර්යේෂකයන් හෝමෝන ප්‍රතිකාර භාවිතයෙන්, ගැබ් ගැනීමකින් තොරවම මෙම ආරක්ෂිත T-සෛල නිපදවීමටද සාර්ථක වී ඇති අතර, එය දරුවන් නොලැබූ හෝ දරුවන් නොලැබීමට තීරණය කළ කාන්තාවන්ට අනාගතයේදී විශාල බලාපොරොත්තුවක් බවට පත්විය හැකිය.

මීට පෙර සිදු කළ තවත් පර්යේෂණවලින්ද හෙළි වී තිබුණේ, මව්කිරි දීමද පියයුරු පිළිකාව ඇතිවීම වසර 10ක් පමණ ප්‍රමාද කළ හැකි ආරක්ෂිත සාධකයක් බවයි. ඉතාලියේ Galliera රෝහලේ වෛද්‍ය ඇන්ඩ්‍රියා ඩිචෙන්සි සඳහන් කර ඇත්තේ, ප්‍රමාද වූ දරු ප්‍රසූතිය පියයුරු පිළිකා වාර්තා ඉහළ යාමට බලපාන ප්‍රධාන හේතුවක් ලෙස සැලකිය හැකි බවයි.

Nature Immunology සඟරාවේ පළ වූ මෙම අධ්‍යයනයට අනුව, ගැබ් ගැනීමේ හෝමෝන මඟින් පියයුරු පටක තුළ දිගුකාලීන පිළිකා නාශක ප්‍රතිශක්තිකරණයක් නිර්මාණය වේ. කෙසේ වෙතත්, විද්‍යාඥයන් අවධාරණය කරන්නේ මෙය මූලික පර්යේෂණයක් පමණක් වන අතර, මෙම සොයාගැනීම ප්‍රතිකාර ක්ෂේත්‍රයට ගෙන ඒම සඳහා තවත් පුළුල් අධ්‍යයන අවශ්‍ය බවයි.

මෙම පර්යේෂණයෙන් හෙළි වන්නේ දරුවන් ලැබීමෙන් පියයුරු පිළිකා අවදානම අඩුවිය හැකි බව පමණි. එයින් අදහස් වන්නේ දරුවන් නොලැබූ සියලුම කාන්තාවන්ට පියයුරු පිළිකාව වැළඳෙන බව හෝ දරුවන් ලැබූ සියලුම කාන්තාවන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බව නොවේ. වයස, ජානමය සාධක, ජීවන රටාව, ශරීර බර, මත්පැන් භාවිතය සහ තවත් බොහෝ සාධකද මෙම රෝගයේ අවදානමට බලපායි.

dailymail ඇසුරින් - අශන්ති වරුණසූරිය

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි Read Previous

අර්ශස් වළක්වා ගන්නේ කොහොමද? නොකළ යුතු වැරදි

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක් Read Next

අවුරුදු 3,000ක් පරණ රන් කරාබු දෙකක්

Realted Post

Leave a comment