දියවෙන දත්මුල්වලට පිළියම්

දත්මුල් නැතහොත් විදුරුමස් දිය වීම (Gingivitis) යනු, ඉතාම බහුල මුඛ රෝගයකි. 
දත්මුල් දිය වී යාම නමින් හඳුන්වන්නේ  දත සවි වී ඇති විදුරුමස දිය වී යාමයි. මෙය දිගුකාලීනව පැවතුණහොත් දතෙහි අස්ථියටද බලපායි. මෙය ආයුර්වේදයේදී  විදුරුමස පැසවීම ලෙස හඳුන්වයි.

ආහාර ගැනීමෙන් පසු කට පිරිසුදු නොකිරීමෙන් ඉතා කුඩා ආහාර කැබලි දත් අතරේ රැඳී පල් වී කුණු වී තිබියදී බැක්ටීරියා, වයිරස හෝ ඒ දෙකම ආසාදනය වීම මෙම රෝගයට හේතුවයි. එම නිසා විදුරුමස ඉදිමුම සහ විදුරුමසින් ලේ, සැරව ගැලීම ඇති වේ. ඒවා ඇතුළතට ගමන් කර දත විදුරුමසට සවිවී ඇති කොටසේ සිදුරු ඇති කරයි (Dental Decay). ඉන්පසුව මුඛයෙහි ඇති විෂ කොටස් කෑම සමග ආමාශගත වී බඩ දැවිල්ල, මුඛයෙන් දුගඳ හැමීම වැනි දේ ඇති වේ. මෙම විස රුධිර සංසරණ පද්ධතිය ඔස්සේ ගමන් කර ආමාශ, අන්ත්‍ර, ආශ්වාස වාතය හරහා පෙණහලු කරාද ඇදී යයි. එවිට නියුමෝනියා තත්ත්වද ඇතිවිය හැකියි. එමෙන්ම කුසගිනි අඩු බව, පාණ්ඩුව සහ චර්ම රෝගද ඇතිවිය හැකියි. 

විදුරුමස් දියවීම හඳුනාගන්නෙ කොහොමද?
ඔබ සාමාන්‍ය ආකාරයට දත් මැද, කෙළ ගසන විට ලේ පිටවීම මෙහි මූලාරම්භයයි. එය gingivitis නම් තත්ත්වයයි. ඉන්පසු ලේ පමණක්  නොව සැරවද ගැලීමට පටන් ගනී. 

හේතු මොනවාද? 

  • නිසි සෞඛ්‍ය පුරුදු අනුගමනය නොකිරීම.
  • උදෑසන සහ රාත්‍රී ආහාරයෙන් පසු දත් නොමැදීම.
  • දිනකට දෙතුන්වරක්වත් ලුණු ස්වල්පයක් යෙදූ දියරවලින් මුඛය සහ උගුරු නොසේදීම.
  • විට, කහට සහ දුම්පානය. 
  • පැණි රස, ඇඹුල් රස ආහාර ගැනීමෙන් පසු හොඳින් කට සෝදා නොගැනීම.
  • දත්  බුරුසුව දිගු කාලයක් තිස්සේ භාවිත කිරීම නිසා හරිහැටි දත් පිරිසුදු නොවීම. 
  • වේගයෙන් දත් මැදීම නිසා මතුපිට එනමලය කැපී යාම.
  • මන්දපෝෂණය වැනි තත්ත්ව ඇත්නම් දතක පෝෂණයට අවශ්‍ය දේ නොලැබීමෙන් ද, විටමින් C ඌනතා නිසාද, මෙම තත්ත්වය ඇතිවිය හැකියි. 

රෝග ලක්ෂණ

  • කටේ දුර්ගන්ධය. 
  • දත විදුරුමස හා සම්බන්ධ වන තැන කහ පැහැ හෝ කළු පැහැවීම. 
  • දත් මදින විට ලේ යාම
  • විදුරුමස තද කරන විට සැරව ගැලීම

ගුණදායී ආහාර

  • කොලැජන් අඩංගු ආහාර වර්ග, කොහිල, පලා වර්ග, විටමින් C අඩංගු දෙහි, දොඩම් වැනි පලතුරු ආහාරයට ගැනීම කළ යුතුයි. 

දත්වල ඇති බැක්ටීරියා හෘදයේ  ඇති කපාට සහ පටක වලට බලපෑමක් ඇති කරයි. 

නිවසේදී කළ හැකි ප්‍රතිකාර

  • සමන්පිච්ච කොළ, මූණමල් පොතු, පින්නමල්, කරඳ මුල් තම්බා එයට ලුණු ස්වල්පයක් එක් කර හොඳින් කට සහ උගුර සෝදන්න. 
  • මෙහිදී එම ඖෂධ තැම්බූ ජලය කටට ගෙන කට කලතමින් කට තුළ විනාඩි තුනක් පමණ තබාගන්න. 
  • ඔබ භාවිත කරනු ලබන දත් බුරුසුව වැඩි කාලයක් නොයවා මාරු කිරීමද කළ යුතුයි. 
  • ආයුර්වේද වෛද්‍යවරයෙකු හමුවී විදුරුමස්වල ගෑමට තෙල් වර්ගද, දත් මැදීම සඳහා සකසන ලද චූර්ණ වර්ග ද, කැල්සියම් වර්ගද ඔබට ලබා ගත හැකියි

සටහන : විශ්වනී හසලා
අදහස් දැක්වීම: ආයුර්වේද වෛද්‍ය නිලානි වෙලේකුඹුර

 

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’ Read Previous

ඇත්ත සිදුවීමකින් එළියට එන ’’Rivverston’’

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය Read Next

පවුල් ජීවිතයේ ආදරණීය අන්දරය

Realted Post

Leave a comment