නාළ ගැබ් ගැනීමක් කලින්ම හඳුනාගන්නේ කොහොමද?

ගර්භාශයෙන් පිටත ගැබ් ගැනීමක් සිදුවීම අපි හඳුන්වනවා ectopic pregnancy එකක් කියලා. මෙය තරමක් බහුලව දකින්නට ලැබෙන තත්ත්වයක්. සියලුම ගර්භනීතාවයන්ගෙන් සියයට එකක් පමණ මෙම අවස්ථාවට මුහුණ දෙනවා. විශේෂයෙන් මඳසරුභාවයට කරනු ලබන ප‍්‍රතිකාරත් සමග මේ තත්ත්වය ක්‍රම ක්‍රමයෙන් වැඩිවෙලා තිබෙනවා. 


ගර්භිණී සමයේ මුල් සති අට නැති නම් සති දහයේ දී පමණ ඇතිවන යටි බඩේ අධික වේදනාව හෝ රුධිර වහනයක් සිදුවීම නැතිනම් මෙම දෙකම සිදුවීම වුවහොත් ගර්භාශයෙන් පිටත පිළිසිඳ ගැනීමක් සිදු වී ඇති බවට අපි සැක කරනවා. මෙම අපහසුතා ඇතිනම් අත් බෙහෙත් නොකර අනිවාර්‍යයෙන් විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවීම ඉතාම වැදගත් වෙනවා.

බොහෝ වෙලාවට මෙලෙස ගර්භිණීතාවය සිදුවී ඇත්තේ ගර්භාෂයෙන් පිටත නම්, එය සිදුවන්නේ පැලෝපීය නාළයේ. ඊට අමතරව කලාතුරකින් ඩිම්බකෝෂයේ, ගැබ්ගෙලේ, බඩවැල් අතර පිහිටන අවස්ථා ද තිබෙනවා. නමුත් ඒ අතර වැඩිපුරම දක්නට ලැබෙන්නේ පැලෝපීය නාළයේ පිහිටීමයි. මෙලෙස නාල ගර්භ පිහිටන අවස්ථාවේදී ගර්භය ටිකක් වැඩෙනවිට ගර්භාශය මෙන් ඇදෙනසුලු බවක් නොමැති නිසා නාලය පුපුරා යාමේ අවදානමක් පවතිනවා. නාලය පුපුරා ගියහොත් කාන්තාවගේ කුස තුළ නැතිනම් උදර කුහරයට ලේ ගැලීමක් සිදුවී ජීවිත අවදානමක් ඇතිවීමේ ඉඩ කඩ පවතින්න පුළුවන්.

  • නාළ ගැබ නැවත ගර්භාශයේ තැන්පත්කළ හැකිද?

ගර්භාෂයෙන් පිටත පිහිටන කලළය නැවත ගර්භාෂයේ තැන්පත්කර දරුවකු හදාගන්න පුළුවන්ද කියන පැනය බොහෝ දෙනෙක් අපෙන් අහන දෙයක්. එය කිසිසේත් කළ නොහැකියි. නාල ගර්භයක් අනිවාර්යයෙන්ම ඉවත්කළ යුතුමයි. ඇතැම්විට එම පැලෝපීය නාළය හානියට පත්ව ඇති නම් එයද ඉවත් කරනවා.
නාළ ගර්භයක් හඳුනා ගැනීමෙන් පසුව එය ඉවත් කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. මුල් අවධියේම එය හඳුන ගතහොත් ඇතැම් අවස්ථා වලදී එන්නතක් මගින් මෙම ගර්භයේ වැඩීම වළක්වා සෛල විනාශ කර සැත්කමකින් තොරව පාලනය කරනවා. නමුත් පුපුරා යෑමට ආසන්නව තිබුණොත් සැත්කමක් සිදුකරන අවස්ථා තිබෙනවා. නමුත් වැඩි පුරම සිදුවන්නේ සැත්කමකින් තොරව ඉවත් කිරීමයි. මෙවැනි අවස්ථාවල් නැවත නැවත ඇති නොවෙන අතර එය ඇති වීමේ අවදානමක් ගැන අනිසි බියක් ද ඇති කරගත යුතු නැහැ.

සටහන: නයනා උදයංගනී

අදහස් දැක්වීම: උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය පේෂල දංගල්ල

හැඩැති දේහ නාරී Read Previous

හැඩැති දේහ නාරී

දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා අනුස්මරණය Read Next

දේශමාන්‍ය ජෙනරල් ඩෙනිස් පෙරේරා අනුස්මරණය

Realted Post

Leave a comment