බිත්තර ඩිමෙන්ෂියා අවදානම අඩු කරනවා ද ? නව අධ්‍යයන හෙළිදරව්වක්

බිත්තර යනු ලොව පුරා ජනප්‍රිය ආහාරයක්. උදෑසන ආහාරයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස සැලකෙන බිත්තර, ප්‍රෝටීන්, කොලීන් (Choline), විටමින් D සහ මොළයේ හා අස්ථි සෞඛ්‍යයට වැදගත් පෝෂක රැසකින් සමන්විතයි.

එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ ලෝමා ලින්ඩා විශ්වවිද්‍යාලයේ (Loma Linda University) පර්යේෂකයන් විසින් සිදු කළ නව අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, නිතිපතා බිත්තර ආහාරයට ගැනීම ඇල්සයිමර් රෝගය (Alzheimer’s Disease) ඇතිවීමේ අවදානම අඩු කිරීම සමඟ සම්බන්ධ විය හැකි බව. ඇල්සයිමර් යනු ඩිමෙන්ෂියා රෝගවලින් බහුලම ආකාරය ලෙස සැලකේ.

පර්යේෂකයන්ගේ නිරීක්ෂණවලට අනුව, බිත්තර ආහාරයට ගන්නා ප්‍රමාණය වැඩි වන තරමට ඇල්සයිමර් රෝගය ඇතිවීමේ අවදානම පහළ යන ප්‍රවණතාවක් දක්නට ලැබේ.

වසර 15ක කාලයක් පුරා සිදු කළ අධ්‍යයනයේදී, සතියකට අවම වශයෙන් පස් වතාවක් හෝ ඊට වැඩි වාර ගණනක් බිත්තර ආහාරයට ගත් වයෝවෘද්ධ පුද්ගලයන්ට, බිත්තර කලාතුරකින් හෝ කිසිසේත්ම නොගත් පුද්ගලයන්ට වඩා ඇල්සයිමර් රෝගය වැළඳීමේ අවදානම සියයට 27කින් අඩු බව සොයාගෙන ඇත.

සතියකට දෙවරක් සිට හතරවරක් දක්වා බිත්තර ආහාරයට ගත් අයගේ අවදානම සියයට 20කින් පමණ අඩු වූ අතර, සතියකට එක් වරක් හෝ මාසයකට කිහිප වරක් පමණක් බිත්තර ආහාරයට ගත් අය අතරද අවදානම සියයට 17කින් පමණ අඩුවී තිබුණි.

මෙම පර්යේෂණය සිදු කර ඇත්තේ ඇමරිකාවේ "Adventist Health Study 2" නම් දීර්ඝකාලීන සෞඛ්‍ය අධ්‍යයනයේ දත්ත භාවිතා කරමිනි. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කරන පුද්ගලයන් 40,000කට ආසන්න පිරිසක් මෙම අධ්‍යයනයට ඇතුළත් කර තිබුණි.

අධ්‍යයන කාලය තුළ පුද්ගලයන් 2,858 දෙනෙකුට ඇල්සයිමර් රෝගය හඳුනාගෙන තිබේ. "The Journal of Nutrition" සඟරාවේ ප්‍රකාශයට පත් කළ මෙම පර්යේෂණයෙන් හෙළිවූයේ බිත්තර කිසිසේත්ම නොගත් පුද්ගලයන්ට රෝග අවදානම ඉහළම මට්ටමක පැවති බවයි. තවත් විශ්ලේෂණයකින් පෙන්වා දී ඇත්තේ, සතියකට එක් බිත්තරයක් වත් ආහාරයට ගත් අය සමඟ සසඳන විට, බිත්තර සම්පූර්ණයෙන්ම වළක්වාගත් පුද්ගලයන්ට සියයට 22කින් වැඩි අවදානමක් තිබූ බවයි.

බිත්තරවල කොලීන්, විටමින් B12, විටමින් D, සෙලේනියම්, අයඩීන් සහ ඔමේගා-3 මේද අම්ල ඇතුළු මොළයේ ක්‍රියාකාරිත්වයට වැදගත් පෝෂක රැසක් අඩංගු වේ. මතකය හා ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට උපකාරී වන B කාණ්ඩයේ විටමින් ද ඒ අතර වේ.

පර්යේෂකයන්ගේ අදහස වන්නේ මෙම පෝෂක එකට ක්‍රියා කර මනෝමය හැකියාවන් සහ මොළයේ සෞඛ්‍යය පවත්වා ගැනීමට දායක විය හැකි බවයි. කෙසේ වෙතත්, එම ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේද යන්න තවමත් සම්පූර්ණයෙන් පැහැදිලි වී නොමැත.

අධ්‍යයනයේදී බිත්තර වෙනුවට ඇට වර්ග, බීජ වර්ග සහ ධාන්‍යමය ප්‍රෝටීන් ආහාර භාවිතා කිරීම පිළිබඳවද විශ්ලේෂණය කර ඇත. එහිදී ද සමාන ප්‍රතිඵල දක්නට ලැබීමෙන් පර්යේෂකයන් පෙන්වා දෙන්නේ එක් ආහාරයක් පමණක් නොව, සමස්ත ආහාර රටාවම සෞඛ්‍යයට වැදගත් විය හැකි බවයි.

කෙසේ වෙතත්, මෙම අධ්‍යයනයෙන් බිත්තර ඇල්සයිමර් රෝගය වැළැක්විය හැකි බව සනාථ කරන්නේ නැත. මෙය නිරීක්ෂණාත්මක (observational) අධ්‍යයනයක් වන බැවින්, බිත්තර ආහාරයට ගැනීම සහ රෝග අවදානම අතර සම්බන්ධතාවයක් පමණක් පෙන්වා දෙයි. එය හේතු-ප්‍රතිඵල සම්බන්ධතාවයක් බව තහවුරු කිරීමට නොහැක.

එමෙන්ම අධ්‍යයනයට සහභාගී වූ බොහෝ දෙනා දුම්පානය සහ මත්පැන් භාවිතය අඩු, සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අනුගමනය කළ පුද්ගලයන් වූ බැවින්, මෙම ප්‍රතිඵල සියලු ජනගහනයට සෘජුවම අදාළ විය නොහැකි බවද පර්යේෂකයන් සඳහන් කරයි.

පසුගිය වසර කිහිපය තුළ බිත්තරවල අඩංගු කොලෙස්ටරෝල් පිළිබඳ අදහස්වලද වෙනසක් ඇති වී තිබේ. පෙර කාලයේ බිත්තර පරිභෝජනය සීමා කිරීමට උපදෙස් දුන්නද, නව පර්යේෂණ අනුව ආහාර මඟින් ලැබෙන කොලෙස්ටරෝල් රුධිර කොලෙස්ටරෝල් මට්ටම් කෙරෙහි ඇති බලපෑම කලින් සිතූ තරම් ප්‍රබල නොවන බව පෙනී යයි. ඒ වෙනුවට සංතෘප්ත මේද (saturated fats) වැඩි බලපෑමක් ඇති කරන බව විද්‍යාඥයන් පෙන්වා දෙයි.

වර්තමානයේ සෞඛ්‍ය විශේෂඥයන්ගේ පොදු අදහස වන්නේ, සමබර ආහාර රටාවක කොටසක් ලෙස බිත්තර ආරක්ෂිත සහ පෝෂණදායී ආහාරයක් බවයි. එහි සෞඛ්‍ය බලපෑම බොහෝ විට රඳා පවතින්නේ එය පිසින ආකාරය සහ ඒ සමඟ ආහාරයට ගන්නා අනෙකුත් ආහාර මතය.

 

අශන්ති වරුණසූරිය

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද? Read Previous

බර අඩු කරගන්න ග්‍රීන් ටී බොනවාද?

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව Read Next

අසාර්ථක වූ මුල්ම කේක් එකෙන් ’Cakes by Rumi’ ජයගත් රුමේෂිකාගේ දිරිය කතාව

Realted Post

Leave a comment