වැඩිවියට පත් දියණියගේ පිඟානට තහංචි වෙනුවට පෝෂණය

“දුවට මේ දවස්වල මස්, මාළු දෙන්න එපා.”
“බිත්තර කෑවොත් ලේ යන එක වැඩි වෙයිද?”
“ඔසප් දිනවල තෙල් කෑම හොඳ නැහැ.”

දියණියක වැඩිවියට පත්වූ විට පමණක් නොව, මාසික ඔසප් දිනවලදීත් මෙවැනි උපදෙස් අපේ නිවෙස්වල ඇසෙන්නට පුළුවන. ඒවා බොහෝවිට ලැබෙන්නේ ඇගේ සුවසෙත පතන වැඩිහිටියන්ගෙනි. එහෙත් පරම්පරාවෙන් පරම්පරාවට පැමිණි ආහාර පුරුදු අනුගමනය කරන අතරතුර, වැඩෙමින් සිටින දියණියගේ පෝෂණ අවශ්‍යතා පිළිබඳවත් අවධානය යොමු කිරීම වැදගත්ය.

වැඩිවියට පත්වීම හා බැඳුණු ඇතැම් ආහාර සීමා දින කිහිපයකින් අවසන් වේ. එහෙත් සෑම මාසයකම ඔසප් වීමේදී නැවත නැවත අනුගමනය කරන ආහාර තහංචි, කාලයත් සමඟ ඇගේ සාමාන්‍ය ආහාර පුරුදු බවට පත්විය හැකිය. එබැවින් අපගේ අවධානය පළමු ඔසප් වීමෙන් පසු ලබාදෙන ආහාරවලට පමණක් සීමා නොවිය යුතුය.

වැඩිවියට පත්වූ පමණින් වර්ධනය අවසන් නොවේ

පළමු ඔසප් වීම දියණියගේ වර්ධනයේ එක් සන්ධිස්ථානයකි. එය ඇගේ ශාරීරික වර්ධනය අවසන් වූ බවට ලකුණක් නොවේ. නව යොවුන් වියේදී උස වැඩීම, මාංසපේශි වර්ධනය සහ අස්ථි ශක්තිමත් වීම තවදුරටත් සිදුවේ.

මේ සඳහා ප්‍රමාණවත් ශක්තිය, ප්‍රෝටීන්, විටමින් සහ ඛනිජ ලවණ අවශ්‍යය. බත්, ධාන්‍ය සහ අල වර්ග ශක්තිය ලබාදෙයි. මස්, මාළු, බිත්තර, කිරි මෙන්ම පරිප්පු සහ අනෙකුත් රනිල ආහාර ප්‍රෝටීන් ලබාගැනීමට දායක වේ. කිරි සහ කිරි ආහාර කැල්සියම් ලබාගැනීමට උපකාරී වන අතර, කැල්සියම් අස්ථි වර්ධනයට වැදගත්ය.

මෙම පෝෂක අවශ්‍ය වන්නේ ඔසප් නොවන දිනවලදී පමණක් නොවේ. ඔසප් දිනවලදීත් දියණියගේ සිරුරට ප්‍රමාණවත් පෝෂණයක් අවශ්‍යය.

සෑම මාසයකම යකඩ ගැන අවධානයක්

රුධිරයේ ඔක්සිජන් ප්‍රවාහනය කරන හිමොග්ලොබින් නිපදවීමට යකඩ අවශ්‍යය. ශරීරය වර්ධනය වන විට යකඩ අවශ්‍යතාව වැඩි වන අතර, ඔසප් වීම ආරම්භ වූ පසු රුධිරය සමඟ අහිමි වන යකඩ ද නැවත ලබාගත යුතුය.

සත්ත්ව ආහාරවලින් යකඩ ලබාගත හැකි ප්‍රභව අතර රතු මස්, පීකුදු සහ ඇතැම් මාළු හා බෙල්ලන් වර්ග ඇතුළත් වේ. පරිප්පු, කඩල, කව්පි, මුං ඇට, සෝයා බෝංචි, තල සහ තද කොළ පැහැති පලා වර්ග ශාකමය යකඩ ප්‍රභව වේ.

සත්ත්ව හා ශාක ආහාරවල ඇති යකඩ සිරුරට අවශෝෂණය වන්නේ එකම ආකාරයෙන් නොවේ. ශාක ආහාරවල යකඩ අවශෝෂණය වැඩි කරගැනීමට, එම ආහාර වේල සමඟ පේර, ගස්ලබු හෝ දොඩම් වැනි විටමින් සී අඩංගු පලතුරක් එක් කළ හැකිය. තේ හෝ කෝපි ආහාර වේල සමඟ හෝ එය අවසන් වූ වහාම ලබාදීමෙන් වැළකිය යුතුයි.

යකඩ අඩංගු ආහාර ලබාදීම ඔසප් දින කිහිපයට පමණක් සීමා නොකර, දෛනික ආහාර රටාවේ කොටසක් කරගැනීම වැදගත්ය.

මාසිකව නැවත සිදුවන ආහාර තහංචි ගැන සිතා බලමු

ආහාරයක් දින කිහිපයක් නොකෑ පමණින් පෝෂණ ඌනතාවක් ඇති වන බව පැවසිය නොහැක. එසේම මස් හෝ මාළු නොකන සෑම දියණියකගේම ආහාර රටාව පෝෂණයෙන් අඩු යැයි සැලකීමත් නිවැරදි නොවේ.

වැදගත් වන්නේ ඇය කන ආහාරවල විවිධත්වය හා ප්‍රමාණය, ආහාර සීමා පවතින කාලය සහ ඉවත් කළ ආහාර වෙනුවට ලබාදෙන විකල්පය.

එහෙත් සෑම මාසයකම පෝෂ්‍යදායී ආහාර කිහිපයක් ඉවත් කර, ඒ වෙනුවට සුදුසු ආහාර ලබා නොදෙන්නේ නම්, එම පුරුද්ද ඇගේ ආහාර විවිධත්වයට සහ පෝෂක ලබාගැනීමට බලපාන්නේදැයි සලකා බැලිය යුතුය. විශේෂයෙන් දැනටමත් ආහාර ගැනීම අඩු හෝ ආහාර විවිධත්වය සීමිත දියණියකට මෙය වැදගත් වේ.

සාමාන්‍යයෙන් ඔසප් වීම පමණක් හේතුවක් කරගෙන මස්, මාළු, බිත්තර හෝ කිරි වැනි ආහාර සීමා කිරීමට අවශ්‍ය නැත. එම ආහාර ගැනීමෙන් අනිවාර්යයෙන් ඔසප් රුධිර වහනය වැඩි වන බවට ද පදනමක් නැත. කෙසේ වෙතත්, ආහාර අසාත්මිකතාවක් හෝ විශේෂ රෝග තත්ත්වයක් නිසා ලැබුණු වෛද්‍ය උපදෙස් තිබේ නම් ඒවා පිළිපැදිය යුතුය.

හුරුපුරුදු ආහාරවලින් පෝෂ්‍යදායී විකල්ප

සංස්කෘතික පුරුදු අනුව ඇතැම් ආහාර සීමා කරන විට, පවුලට පිළිගත හැකි වෙනත් ආහාර යොදාගෙන දියණියගේ ආහාර වේල විවිධ කරගත හැකිය.

මස් හෝ මාළු නොදෙන වේලකට බත් සහ එළවළු පමණක් ලබාදීම වෙනුවට, පරිප්පු, කව්පි, කඩල, මුං ඇට හෝ උඳු වැනි ආහාරයක් ද එක් කළ හැකිය. කිරි, යෝගට් හෝ බිත්තර ගැනීමට බාධාවක් නොමැති නම් ඒවා ද ආහාර වේලට ඇතුළත් කළ හැකිය.

එකම ආහාරය එකම ආකාරයෙන් දිනපතා ලබාදීම වෙනුවට, එය වෙනස් ආකාරවලින් සකස් කිරීම දියණියගේ රුචිය වැඩි කිරීමට උපකාරී විය හැකිය. උදාහරණ ලෙස මුං ඇට අඹරා කැරට් සහ පලා එක්කර පෑන්කේක් සකස් කළ හැකිය. තම්බාගත් කව්පි සහ බතල මිශ්‍ර කර තෙල් ස්වල්පයකින් රොටී සකස් කළ හැකිය. සහල් හා උඳු පිටිවලින් තෝසේ සකස් කර එළවළු කරියක් සමඟ ලබාදිය හැකිය.

මේවා මිල අධික විශේෂ ආහාර නොව, අපට හුරුපුරුදු අමුද්‍රව්‍ය වෙනස් ආකාරයකින් යොදාගැනීමකි. සියලුම සත්ත්ව ආහාර දිගු කාලයක් ඉවත් කරන්නේ නම්, විටමින් බී12 ඇතුළු පෝෂක අවශ්‍යතා සපුරාගන්නා ආකාරය පිළිබඳව පෝෂණ උපදෙස් ලබාගැනීම වැදගත්ය.

තෙල් ආහාර ගැනත් නිවැරදි අවබෝධයක්

ගැඹුරු තෙලේ බැදපු ආහාර නිතර ගැනීම සීමා කිරීම හොඳ පුරුද්දකි. එහෙත් එයින් අදහස් වන්නේ ආහාරයෙන් සියලුම මේද ඉවත් කළ යුතු බව නොවේ.

මේදය ශක්තිය ලබාදෙන අතර ඇතැම් විටමින් අවශෝෂණයට ද අවශ්‍යය. එබැවින් සුදුසු ප්‍රමාණයකින් තෙල් භාවිත කර ආහාර පිසීම සහ නිතර ගැඹුරු තෙලේ බැදපු ආහාර ගැනීම අතර වෙනස හඳුනාගත යුතුය. මේ පිළිබඳ හොඳ ආහාර පුරුදු ඔසප් දිනවලට පමණක් නොව, සෑම දිනකම අදාළය.

දියණියට කෑම අපහසු දිනවල

ඔසප් දිනවල උදර වේදනාව, ඔක්කාරය හෝ බඩ පිපීම නිසා සමහර දියණියන්ගේ ආහාර ගැනීම අඩු විය හැකිය. තවත් අයට ආහාර රුචිය හා කැමැත්ත වෙනස් විය හැකිය. එවැනි අවස්ථාවක ඇය කෑම ප්‍රතික්ෂේප කරන්නේ මන්දැයි විමසා තේරුම් ගැනීම වැදගත්ය.

විශාල ආහාර වේලක් ගැනීමට බල කරනවා වෙනුවට, ඇයට පහසුවෙන් ගත හැකි කුඩා ආහාර වේල් ලබාදෙන්න. ඇය කැමති ආහාර පිළිබඳවත් විමසන්න. දිගින් දිගටම ආහාර ගැනීමට අපහසු නම් හෝ වේදනාව නිසා පාසල් යෑම ඇතුළු දෛනික කටයුතු අඩාල වන්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

අධික රුධිර වහනය, අධික වෙහෙස, සුදුමැලි බව හෝ කරකැවිල්ල ද නොසලකා හැරිය යුතු ලක්ෂණ නොවේ.

දියණිය සමඟ වැඩෙන හොඳ ආහාර පුරුදු

වැඩිවියට පත්වීම හා බැඳුණු චාරිත්‍ර වාරිත්‍ර බොහෝ පවුල්වලට වටිනා අත්දැකීමකි. ඒවා අනුගමනය කරන අතරතුර දියණියගේ පෝෂණය සහ සුවපහසුව ගැනත් සැලකිලිමත් විය හැකිය.

විශේෂයෙන් සෑම මාසයකම නැවත අනුගමනය කරන ආහාර සීමාවක් තිබේ නම්, එහි හේතුව සහ දියණියගේ ආහාරයට එයින් ඇතිවන බලපෑම ගැන පවුල තුළ කතාබහ කිරීම ප්‍රයෝජනවත්ය. විද්‍යාත්මක පදනමක් නොමැතිව පෝෂ්‍යදායී ආහාර සීමා කරන පුරුදු, නිවැරදි තොරතුරු සහ ප්‍රායෝගික විකල්ප සමඟ ක්‍රමයෙන් වෙනස් කරගත හැකිය.

දියණියගේ ප්‍රශ්නවලට සවන් දීම, සිරුරේ සිදුවන වෙනස්කම් සරලව පැහැදිලි කිරීම සහ පවුලේ ආර්ථික හැකියාවට ගැළපෙන විවිධ ආහාර ලබාදීම ඇය වෙනුවෙන් කළ හැකි වැදගත් දේය.

 

පළමු ඔසප් වීම එක් අවස්ථාවක් වුවත්, මාසික ඔසප් වීම ඇගේ ජීවිතයේ දිගු කාලයක් පවතින ස්වාභාවික ක්‍රියාවලියකි. ඒ නිසා පෝෂණය පිළිබඳ අපගේ සැලකිල්ලත් එක් උත්සවයකට හෝ දින කිහිපයකට සීමා නොවිය යුතුය.

 

වෛද්‍ය එල්. එස්. මිහිරි ප්‍රේමතිලක

MBBS

මානව පෝෂණය පිළිබඳ විද්‍යාපති උපාධි පාඨමාලාවේ පශ්චාත් උපාධි පුහුණුලාභිනී

පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය,

 

වසර අවුරුදු 78කට පසු උතුරු කොරියානු ජාතික ධජයේ හැඩය වෙනස් කෙරේ Read Previous

වසර අවුරුදු 78කට පසු උතුරු කොරියානු ජාතික ධජයේ හැඩය වෙනස් කෙරේ

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස Read Next

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස

Realted Post

Leave a comment