කේ.බී ජීවන පිටපතට සමුදෙයි

 

හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රවීණ නාට්‍යවේදී ආචාර්ය කේ.බී. හේරත් 29 දින (ඊයේ) තම ජීවන ගමනට සමු දුන්නේය. මිය යන විට ඔහු 81 වැනි වියෙහි පසු විය. 

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නවගත්තේගම ගම්මානයේ ඉපදී ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ කේ.බී හේරත් මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙක් වන අතර ලාංකීය කලාව වෙනුවෙන් ඉටුකර තිබෙන අනුපමේය මෙහෙවර වෙනුවෙන් සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මඟින් එතුමාට ආචාර්ය උපාධියක්ද පිරිනමා ඇත. 


ඔහු චිත්‍රපට, වේදිකා නාට්‍ය සහ ටෙලි නාට්‍ය තිර පිටපත් රචනයේ විශිෂ්ට දක්ෂතා දැක්වූවෙකි. 1979 වර්ෂයේ දී “සුදු කරල්” වේදිකා නාට්‍ය රචනා කරමින් ක්ෂේත්‍රයට පිවිසෙන එතුමා ඇති අතර ටෙලිනාට්‍ය පිටපත් පන්සියයක් පමණ සහ ඒකාංගික නාට්‍ය පිටපත් දෙසීයක් පමණ රචනා කර ඇත.       

  
මායාදේවී, නාග ගුරුළා, කළු කුමාරී, වාසුදේව, යසෝදරා, දෝන කතරිනා, දෙවැනි මහින්ද යන නිර්මාණ ඔහු විසින් රචිත විශිෂ්ට නිර්මාණ වන අතර රාජ්‍ය නාට්‍ය උළෙලවලදී හොඳම රචනය, අධ්‍යක්ෂණය යන විවිධ අංශ ඔස්සේ එම නිර්මාණ සම්මානයටද පාත්‍ර වී ඇත. 


එමෙන්ම ඔහු විසින්  තිර රචනය කරන ලද ටෙලිනාට්‍ය නිර්මාණ අතර ඉසිවර අසපුව, සක්විත්තෝ, සඳගිරි පව්ව, ගජමන් නෝනා, ඉති අතු, ගිරි අරණ, සුවඳ පත්ම, ටිකිරි නිළමේ, සසර සෙවනැලි, මිහිමඩල ගිනිවදී, දියවඩන මළුව ආදී නිර්මාණ රාශියක් වේ. අතිශයින් ජනප්‍රිය වූ ඉංගම්මාරුව එකාංගික ටෙලි නාට්‍ය මාලාවද ඔහු අතින් රචනා වූවකි. ඔහු විසින් රචිත නාට්‍ය පිටපත් බොහෝමයක් කෘතීන් ලෙසද පළ කර තිබෙන අතර ඒවාට රාජ්‍ය සාහිත්‍ය සම්මානද හිමි වී තිබේ.


ලාංකීය කලා කෙත අස්වද්දන්නට තමන්ගේ උපරිම දැනුම දායාද කළ මේ ප්‍රවීණ නාට්‍යවේදියා කළ සේවය යුග මෙහෙවරක් වනු ඇත. 

නයනා උදයංගනී 


  

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක් Read Previous

අස්ගිරි පාර්ශවයේ මාවිල්මඩ ධම්මපාල හිමියන්ට විශේෂ ගෞරව සම්මානයක්

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි Read Next

‘ජිගලෝ’ සිනමා පටයේ මංගල දර්ශනය සාර්ථකව පැවැත්වෙයි

Realted Post

Leave a comment