එයාට ඕන විදියට මට ඉන්න බෑ

 

සමනල් වයසේ පුංචි දරු පැටවු දෙන්නෙක් මැදිකරගත් අනුරාධා, සෙනඟ අතරින් හනි හනිකට ඇවිද ආවාය. මේ ඇය මා දකින්නේ වසර දහයකට පමණ පසුය. එදා මෙන්ම අදත් ඇගේ දෙනෙත් මා හඳුනාගත්තත්, ඇයට මා මතක නැත.

“... අනූ ...”  එක්වරම නැවතුණු ඕ, විඩාබර දෙනෙත් මා වෙත යොමු කළේ මා හඳුනාගෙන නොවුණත් ඇය මගේ කටහඬ ඇඳිනගෙ නය.

“කොහොමද කෙල්ලේ. මට නිකමට හිතුණා ඔයාව හම්බවෙයිදෝ කියලා. වෙලාවකට හිතුණා ඔයාට මේක කියන්න ඕනි කියලත්. දැන් ඉතින් මාව දැක්කනේ.” ඈ දරුවන් දෙදෙනා මඳකට සිය දෑතින් අත්හැර මගේ දෙඅත් අල්ලා ගත්තාය.

“ඇයි අනූ මේ.?

දරුවෝ අරගෙන එන්න හොඳ තැනක් ද මේක” “ජීවිතේ අපිව කොහේ කොහේ අරගෙන යනවාද?” පාසැලේම දීප්තිමත් ශිෂ්‍යාවක වූ ඕ, ‘අට දෙනෙකුගෙන් යුත් අපේ රැහේ’ බැබළුණු තරුවකාවකි. උසස් පෙළ ජීව විද්‍යා අංශයෙන් ඉහළින්ම සමත්වූ ඇය විශ්ව විද්‍යාල වරම් ලබමින් අපෙන් වෙන්වුවද ඉඩ ලද සෑම මොහොතකම ‘රැහේ’ එවුන් සොයා ආවාය. වසර ගණනකින් එහේ මෙහේ විසිර ගිය මිතුදම් ඉඳහිට අලුත් කරගන්නට ද ඇය උත්සාහ දැරුවාය. මිත්‍ර කල්ලිය එකා දෙන්නා විවාහ දිවියට ඇතුළු වෙමින් ඈත් වන්නට වුවත් ඇය පමණක් විවාහය ප්‍රතික්ෂේප කරමින් සිටියේ ‘තව ස්ටඩීස් තියෙනවා බන්” කියමිනි. කෙසේ හෝ එක්වරම ඇය අතුරුදන්ව ගියේ විදෙස් ගතවීමත් සමගය. පසුකලෙක ඇය වෛද්‍යවරියක ලෙසින් මෙරටට පැමිණි අතර, ඉඳහිට අප මිත්‍ර සමාගම හා එක් වූවාය.

“ගෙදරින් බල කළා මැරි කරන්න කියලා. ඔන්න ඉතින් මමත් උඹලාගේ ගොඩට වැටුණා. පාර්ටි නෑ. ඒත් හෙට හවස අපේ ගෙදර ඇවිත් පලයං” සුපුරුදු කෙළිලොල් බවින් යුතුව ඈ අප ඇමතුවාය. වෛද්‍ය පවුලක බාල දියණිය වූ අනූගේ වැඩිමහලු සහෝදරිය ද වෛද්‍යවරියකි. විශ්‍රාමික මවුපියන් සමග පන්නිපිටිය ප්‍රදේශයේ ජීවත් වූ ඇයට ‘සජීව’ හමුවී තිබුණේ ඕස්ටේ්‍රලියාවේ දීය. මෙරට ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයකු වු ඔහු, සිය මවුපියන් සමග ජීවත්වූයේ නුගෙ ්ගොඩ ප්‍රදේශයේය. “ඇයි අනූ ඔයා තාම තනිකඩ?” “ඉතින් ඔයත් තනිකඩයි නේ. ඒ ඇයි?”

සජීවගේ ප්‍රශ්නයට ඇය පිළිතුරු දුන්නේද තවත් පැනයකිනි. “මෙච්චර කාලයක් ගළපාග න්න බැරි වුණා. අපි කොච්චර හෙව්වත් උරුමක්කාරයා එන්න එපැයි” බැලූ බැල්මටම සෙල්ලක්කාර චරිතයකින් හෙබි සජීව කෙරෙහි ඒ වන විටත් අනූගේ හිත බැඳී ගොස් තිබුණාය. විදෙස් සංචාරය නිම කර ලංකාවට පැමිණි ඔහු නිතර නිතර ඈට දුරකථනයෙන් කතා කළේය. ඇය ගැන සොයා බැලුවේය. තමාට ඔහු අවශ්‍යම පුද්ගලයකු වූ බව ඈට හැඟුනේ එක් දිනක් හෝ ඔහුගේ හඬ නොඇසුණු මොහොතකදීය. වසරක කාලයක් මේ අන්දමින් ගෙවී ගියේ දෙදෙනා ආදර ලොවක අතරමං කරමිනි.

 

“අනූ, මං ඔයාලගේ අම්මලගෙන් අහන්න කියලා අපේ අම්මලට කියන්නද?”

“අනූ” ත් ‘සජීව’ ත් යුවතිපතින් වී ඒ සතුට සමරන්නට අපද එක්වූවෙමු. වසර ගණනක මිත්‍ර සමාගම එදා අලුත් වෙමින් ඔවුන්ට සුබපැතුම් එක්කළහ. “අපි නම් කවදාවත් හිතුවේ නෑ අනූ කසාද බඳීවි කියලා. මොකද මෙයා බැඳලා හිටියේ පොත් නේ.”

“එහෙම තමා උරුමක්කාරයා ආවාම.”

ඇය සතුටින් ඉපිළෙමින් සිටියාය. කාලය, දස වසක් පියාපත් ලැබ ඉඟිළ ගිය අරුමය. වෘත්තියෙන් වෛද්‍යවරියක වූ ඇය, දෙදරු මවක ලෙසින් අද, මා අසල සිටින්නීය. ඇයත් මාත් මේ හිඳින්නේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියේය.

“මොකක්ද අනූ සිද්ධවුණේ?”

දහසක් වූ ගැටලුවලට පිළිතුරක් ඇගේ එක් හිස් බැල්මකින් මට දැනුණි. “අපි දෙන්නා බැඳලා මාස තුනක් විතර යනකල් සතුටින් හිටියා. පන්නිපිටියේ ගෙදර තමයි අපි දෙන්නා හිටියේ. මගේ රාජකාරියි එයාගේ රාජකාරියි දෙකම බැලන්ස් කරගෙන අපි ජීවිතේ වින්දා. ඒත් එයාට ඕන වුණේ ගෙදර තනියම ඉන්න. අන්තිමට මම අම්මලගෙන් වෙන් වෙලා නුගේගොඩ එයාලගේ ගෙදර ගියා. එහේ හිටිය එයාගේ අම්මයි තාත්තයි වෙනම ගෙදරක පදිංචි වුණා. එයා එයාලගේ අම්මලට කියලා තිබුණේ අපි දෙන්නගේ පවුල් ජීවිතේට අපේ අම්මලා බලපෑම් එල්ල කරනවා ඒ නිසා තනියම ජීවත් වෙන්න ඕන කියලා. ඒක අමු බොරුවක්. ඒත් මම ඉවසුවා. මොකද මම සජීවට පණ වගේ ආදරය කළා. ඒ මගේ ෆස්ට් ලව් එකනේ”

රෝහලේ රාජකාරි මැද ලෙඩ්ඩු අත පත ගාමින් දවස ගත කර නිවසට එන ඇයට ටික කලක් යද්දී නිවසේ රාජකාරි අවුල් සහගත වන හැඟීමක් ඇතිවන්නට වූවාය. ඇයගේ රාජකාරිය හොඳින් අවබෝධ කරගෙන සිටි සජීව, හැකි සෑම අවස්ථාවකදීම ඇයට සහාය දැක්වූවේය. “රාජකාරියම ඔළුවේ තියාගෙන ඉඳලා බෑ අනූ. මා ගැනත් හොයලා බලන එක ඔයාගේ යුතුකමක් හොඳේ.” දිනෙක ඔහු ඈට කීවේ විහිළුවට වාගේය. “එයාට ඕන වුණේ මම ගෙදර ඉන්න හැම වෙලාවකටම එයාට තුරුළු වෙලා ඉන්න. ටික දවසක් යද්දී මට තේරුණා එයා ඉන්නේ හීන ලෝකෙක කියලා.” අනූ කීවාය.

“ඒ කියන්නේ?”

“එයාගේ බිස්නස් ගොඩක් වෙලාවට කරන්නේ අනිත් අය. එයා ගොඩාක් ෆ්‍රී හිටිය කෙනෙක්. ඉඳලා හිටලා මම එයාගේ ෆෝන් එක බලද්දි මට තේරුණා එයා ඒකෙන් සර්ච් කරලා බලලා තියෙන්නේ අනවශ්‍යම දේවල් කියලා. ඔයාට තේරෙනවා නේ. මම ඩොක්ටර් කෙනෙක්. එයාගේ ප්‍රශ්නේ මට තේරුණා.” ඇය කීවේ බිම බලාගනිමිනි. “සජී, ඔයාගේ ෆෝන් එකේ තියෙන්නේම අනවශ්‍ය දේවල්. ඕවා ඕනවාවට වඩා ඕනි නෑ නේද?” දිනක් ඇය ඔහුට කීවාය. “මම මේකට ඇබ්බැහි වෙලා.” ඔහු කීවේය.

’එහෙනම් මං මොකටද? ඇයි මට ආදරේ කළේ? දැන් මම ආපහු හැරෙන්නේ කොහොමද? ඔයා මට පැටවු දෙන්නෙක්ම දුන්නට පස්සේ ද ඔයාගේ ඔය පුරුදු අත්හරින්න බෑ කියන්නේ?” ඔහු සමග වසර තුනක් ජීවත් වූ ඕ ඉවසා දරාගත නොහැකි තැනක කීවාය. “අනූ, මම ඔයාට ආදරෙයි. දරුවෝ මගේ. ඒත් මේ දේවල් දන්නේ ඔයා විතරයි. ඔයාට මාව තේරුම් ගන්න පුළුවන්. අනික මේවා ප්‍රශ්න නෙමෙයි ළමයෝ. සාමාන්‍ය දේවල්” ඔහු කීවේය.

තම ස්වාමියාට සාමන්‍ය දේවල් වූ මේ කාරණා තමන්ට දරාගත නොහැකි බව ඇය සිතුවාය. ජීවිතයේදී ආදරය සෙනෙහස සමග ඕනෑම දෙයක් කරන්නට දෙදෙනා සපථ කරගන්නවා නොවේදැයි ඇය සිතුවාය. “ඔය පුරුද්ද අත්අරින්න සජී. පැටවු ගැන හිතලා” ඈ බැගෑපත් වූවාය. “එයා කියන දේ ඇහුවාද අනූ?” “නෑ. අන්තිමට එයා මට කිව්වා අපි වෙන් වෙමු කියලා. මට එයා නැතුව ඉන්න බෑ. මම එයාට පණටත් වඩා ආදරෙයි. ඒ මගේ දරුවන්ගේ තාත්තා. ඒත්.... එයාට මාව එපාලු.” අනූ හඬා වැටෙන්නට වූවාය.

“දැන් අවුරුද්දක් තිස්සේ නඩත්තු නඩුවට එම මේ පැටවු දෙන්නත් එක්ක එනවා. අපි දෙන්නා වෙන් වෙන හේතුව කවුරුත්ම දන්නේ නැහැ. එයා කාටවත්ම කියලා නැහැ. අපේ ගෙදර අය හිතන්නේ මට එයාලගේ අම්මලා වෙනස්කම් කරනවා කියලා. දරුවෝ දෙන්නා මට දෙන්න කියලා මම ඉල්ලුවා. අන්තිමට මම ඩිවොස් එකට කැමැත්ත දුන්නා. අදටත් එයා දරුවන් දෙන්නව බලන්න අපේ ගෙදර එනවා යනවා. ඒත් සැමියෙක් විදිහට මා දිහා බලන්නේ නැහැ. ඩිවොස් එකෙන් පස්සේ ඕන කෙනෙක් එක්ක කසාදයක් බැඳගන්න කියලා එයා මට කියනවා. ඒත් මට ආයෙත් ඒ ජීවිතේ එපා.”

“එයාට ඕන විදිහට මම නැහැ කියලා.” ඇගේ ආදරය අවසන් වූයේ මේ කියනා අමුතුම තාලේ නොගැළපීම නිසාය. අහිංසක දරු දෙදෙනකුගේ සිහින කැදැල්ල සුනු විසුනු වී ගොස් ඇත්තේ කාගේ හේතුවෙන් දැයි නොදනි.

“ඔයාට ඉවසන්න තිබුණා අනු, දරුවෝ දෙන්නා වෙනුවෙන්” “ඉවසලා ඉවසලා අන්තිමට ගත්තු තීරණය මේ. මම හිත හදාගත්තා. සමහර වෙලාවට මට උරුම මේක වෙන්න ඇති. මේ මගේ ජීවිතේ.” අවසානයේදි හැඬූ කඳුළින් ඈ කීවාය.

 (නම් ගම් සියල්ල මන:කල්පිතයි)

නිමන්ති රණසිංහ


 

වයසට යන්න බයවෙන්නෙපා Read Previous

වයසට යන්න බයවෙන්නෙපා

යුක්රේනයට AI ප්‍රකාශිකාවක් Read Next

යුක්රේනයට AI ප්‍රකාශිකාවක්

Realted Post

Leave a comment