වාස්තු දෝෂ ඇති-නැති කරන වැසිකිළි වළ

 

නිවෙසක් ඉදිකිරීමේදී ඉඩමේ වාස්තු විද්‍යානුකුලව නිවැරදි ආකාරයට වැසිකිළි වළක් කපන්නේ කොතැනකද යන්න බොහෝදෙනකුට පවතින ගැටලුවකි. කෙතරම් නිවැරදිව නිවස සැලසුම් කළත්, ඉඩමේ වැරදි ස්ථානවල ඉදිකරන මෙවැනි දේ මඟින් නිවසේ වාස්තු බලය හීන වෙනබව බොහෝදෙනා නොදනී. නිවෙස සැලසුම් කිරීමේ ප්‍රධාන අංගයක් වන්නේ  නිවැරදිව වැසිකිළි වළ, අප ජලය රැස්වන වළ, ආදී ස්ථාන මුලදීම තීරණය කිරීමයි. 
වැසිකිළි වළ සුදුසු වන්නේ කුමන දිශාවටද? මෙය බොහෝ දෙනෙකු අසන පැනයකි. සාමාන්‍යයෙන් වැසිකිළි වළකට කිසිසේත්ම සුදුසු නැත්තේ ඊසාන දිශාවයි. ඒ අනුව රූපයේ පෙන්වා ඇත්තේ සෘජුකෝණාස්‍රකාර ඉඩමක් තුළ ඉදිකළ නිවසක බිම් සැලසුම් ආකෘතියකි.

 


නිවෙස ඇතුළෙ වැසිකිළි වළ අසුබ ද?
ඉඩකඩ අවම තැන්වල එනම් වැරැන්ඩාවක්, ගරාජයක් හෝ මැද මිදුලක් තුළ වැසිකිළි වළ පිළියෙල කිරීමේ දෝෂයක් නැති බව ඇතැම්හු කියති. මෙය නිවැරදි නැත. නිවසේ වර්ග ඵලය ගණනය කරන ප්‍රධාන මුළු හතර ඇතුළත් සංවෘත කොටුව තුළ වැසිකිළි වළ කැපීම සුදුසු නැත. සරලව කියනවා නම්, වැසිකිළි වළ, අපජල වළ, භූගත ජල ටැංකිය යනාදිය නිවසේ වර්ගඵලය තුළට ඇතුළත් කළ නොහැකිය. එසේ වුවහොත් සිදුවන්නේ බලගැන්වූ නිවසේ වර්ගඵලය හීනවීමයි. මෙලෙස බලය හීනවීමෙන් විවිධාකාරයේ වාස්තු දෝෂ ඇතිවීම දක්නට ලැබේ.


නිවසේ මධ්‍ය රේඛාවලට කැපීම
නිවෙස මධ්‍යයේ “ක්‍ ” සිට විහිදෙන රේඛා ජාලය නිවෙසේ බලය වැඩි කරන අතිශය වැදගත් රේඛා පද්ධතියකි. නිවසට තරමක් ආසන්නව ඉදිකරන ලද වැසිකිළි වළකට කෙළින් මෙම රේඛාවක් ගමන් කරයි නම් එය වාස්තු විද්‍යාත්මකව සුදුසු නොවේ. එය හරියටම සිරුරේ ප්‍රධාන නහරයක් පිළිකාවක් හරහා ගමන් කරනවා වැනි දෙයකි. එසේ වූ විට නිවැසියන්ට නිතරම ඇතිවන අසනීප තත්ත්ව සහ කිසිදු මුදල් ඉතිරියක් නිවස තුළ කරගත නොහැකිවීම මූලිකවම දකින්නට ලැබේ. නිවසේ සිට වැසිකිළි වළට ඇති දුර ප්‍රමාණය වැඩිවීමත් සමග මෙම දෝෂය අවම වෙයි.


මුළු වැටීම්
ඉහත ආකාරයටම නිවසේ මුලු හරහා බිත්තිවලට සමාන්තරව අඳින ලද රේඛා මගින් මෙලෙස වැසිකිළි වළ කැපේ නම් එය ද ඉහත ආකාරයෙන්ම දෝෂ තත්ත්ව ඇති කරයි.


වැසිකිළි වළට කෙලින්ම දොරක් පිහිටනවාද?
නිවෙසින් පිටතට ගමන් කරන දොරකට කෙළින්ම ඉදිරියෙන් වැසිකිළි වළක් යෙදීම නුසුදුසු ය. ප්‍රධාන දොර ඉදිරියේ එලෙස වළක් ඇත්නම් ගෘහ මූලිකයා හෝ නිවසේ වෙන යම් අයෙකුට දැඩි අසනීප තත්ත්වයක් උදා කළ හැකිය. මෙලෙසම කුස්සියේ දොර ඉදිරියේ වැසිකිළි වළ පවතී නම්, එය කෙළින්ම බලපානු ලබන්නේ පවුලේ ගෘහිණියටයි. එය ගෘහිණියගේ සෞඛ්‍යය තත්ත්වයට එතරම් යහපත් නැත.


ළිඳක් වැසිකිළි වළක් කළොත්
පොළොව කපා ළිඳක් ලෙස පිළියෙල කර, එම ළිඳ පරිහරණය කර, කලකට පසුව ජලය නොමැතිවීම හෝ ජලය භාවිතා කළ නොහැකිවීම වැනි හේතු නිසා කිසිම විටෙකත් එය වැසිකිළි වළක් බවට පත්කිරීම නුසුදුසුම ක්‍රියාවකි. මෙය දැඩි ලෙස නිවැසියන්ට බලපාන අතර, තමන් සිටින තත්ත්වයෙන් බලා සිටියදීම බිමටම ඇද දමන ඉතා දරුණු වාස්තු දෝෂයකි. මෙලෙස කැපූ ළිඳක් මින් ඉදිරියට භාවිතා කරන්නේ නැතිනම්, නැකත් චාරිත්‍රානුකූලව පිරිසුදු වැලි සහ පස් යොදා වැසීම කළ යුතුය.

 


ඉඩමේ මැදට සම්බන්ධ වාස්තු රේඛා මගහරින්න

උපදෙස් - 
ප්‍රවීන වාස්තු විද්‍යා විශාරද, 
සිවිල් ඉන්ජිනේරු, 
දේවිකා එරමුදුගොඩ


නිවෙසට වාගේම ඉඩමේ මැද සිට විහිදෙන රේඛා පද්ධතියක් ඇත. මෙම රේඛා නොකැපෙන පරිදි වළ කැපිය යුතුය. එසේ කැපී ගිය විට ඉඩමට සම්බන්ධ වාස්තු බල බිඳීගොස්, නිවෙසට සෞභාග්‍ය නොලැබී යයි. වැසිකිළි වළක් කැපීමේදී නිත්‍යනුකූලව යාබද ඉඩම්වල ඇති ළිංවල සිට අඩි 50 ක අවම දුරක්වත් තිබිය යුතුය. එසේ නොමැති වීමෙන් විවිධ ලෙඩරෝග, වැලඳීමේ ඉඩකඩ පවතී. 


වැසිකිළි වළ කැපීමේදී එය නිසියාකාරව සිදු නොවීමෙන් තමන් නොසිතන වාස්තු දෝෂවලට මුහුණ පෑමට සිදු වේ. බොහෝ වෙලාවට තරුණ පරපුරේ වැඩි දෙනෙක් වාස්තු පිහිටීම්වලට වඩා යොමුවන්නේ අලංකාරයටය. ඒ නිසා තමන්ට පහසු සහ සිතැඟි ස්ථානවලට වැසිකිළි පද්ධතිය නිර්මාණය කරගන්නා පිරිස්ද සිටිති. එහෙත් එය නිසි පරිදි ස්ථානගත නොවුණහොත්, ආර්ථික අතින් මෙන්ම සෞඛ්‍ය සම්පන්නබව අතින්ද බොහෝ ගැටලුවලට මුහුණපෑමට සිදුවන බව වාස්තු නියමයයි.      


වැසිකිළි වළක් කැපීමේදී මෙවන් කරුණු බොහොමයක් විවිධ අංශ තුළ ඔබ සොයා බැලිය යුතුයි. මෙලෙස කරුණු සොයා බලා නිවැරදිව කපන වැසිකිළි වළ කිසිදු වාස්තු දෝෂයක් ඇති නොකරයි.

 


සටහන - නයනා උදයංගනී 


                 

 

 

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Previous

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා Read Next

දියවැඩියාව නිසා ජීවිතය නවත්වන්න එපා

Realted Post

Leave a comment