කන්‍යාවන්ට කැමති බහිරවයෙක් හිටපු බහිරව කන්ද

 

මහනුවර රමණීය නගරයකි. කඳු වළල්ලකින් වට වී තිබෙන මෙම නගරය ශ්‍රී ලංකාවාසී අප සියලුදෙනාටම ඉතා වැදගත් වන්නේ ශ්‍රී දළදා වහන්සේ එහි වැඩ සිටින නිසාය. ලොව පුරා නන්දෙසින් මහනුවරට පැමිණෙන්නේ ශ්‍රී දළදා වහන්සේ දැක බලා ගැනීමටය. ශ්‍රී දළදා වහන්සේ හැරුණු කොට තවත් සුවිශේෂිත ස්ථාන බොහොමයකින්ම මහනුවර සමන්විතය. 


මහනුවර සංචාරය කරන දෙස් විදෙස් සංචාරකයින් ගේ නෙත ගැටෙන එවන් සුවිශේෂී තැනක් ලෙස බහිරව කන්ද හඳුන්වා දිය හැකිය. එය අඩි 650 ක් පමණ උසින් යුත් සුන්දර කඳු ගැටයකි. මෙම කඳු මුදුනේ ඉදිකර තිබෙන සමාධි බුදු පිළිමය උසින් අඩි 88 ක් පමණය. මෙම බහිරව කන්ද සංචාරය කරන ඔබට ඉතා වැදගත් කතා පුවත් බොහොමයකි. ජනප්‍රවාදයේ රසවත් කතා මෙම කන්ද පිළිබඳව පවතී.


මහනුවර රාජධානිය ආරම්භ වන්නේ පළමුවන විමලධර්මසූරිය රජුගෙන් වන අතර සෙනරත් රාජසිංහ, දෙවන විමලධර්මසූරිය,  වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, කීර්ති ශ්‍රී රාජසිංහ රාජාධිරාජසිංහ ආදි රජවරු මෙහි රාජත්වය හොබවා ඇත. බහිරව කන්ද පිළිබඳව එන ජනප්‍රවාද කුමන රජ සමයේ සිට පැවැත එන්නේද යන්න පිළිබඳ නිශ්චිත තොරතුරක් සඳහන්ව නැත.


බහිරව කන්ද පිළිබඳ ජනප්‍රවාද පිළිබඳව ගෞරව ශාස්ත්‍රවේදි ශාස්ත්‍රපති යටවත්තේ ධම්මානන්ද හිමියන් විසින් 2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් රචිත ග්‍රන්ථයේ සඳහන් තොරතුරු කීපයකි මේ, 


මෙම ජනප්‍රවාද තුළ ප්‍රධාන වශයෙන්ම සඳහන් වන්නේ බිලි පූජා පිළිබඳවය.  කලින් කල ඇති වූ දුර්භික්ෂ, ජල ගැලීම්, නියං සාගත දුරුකර ජනතාවට නිරෝගිමත් හා සෞභාග්‍ය ඇති කිරීම සඳහාය. මෙහිදී සඳහන් වන එක් ජනප්‍රවාදයකට අනුව එකල සිටි කුමන හෝ රජවරයෙක් තම පුරෝහිතයා කැඳවා මේ ඇති වී තිබෙන තත්ත්වයට පිළියම් සොයන ලෙස පවසා ඇත. එහිදී ඔහු සඳහන් කර ඇත්තේ මෙයට හේතුව බහිරව යක්ෂයා කෝපවීම බවයි. ඒ සඳහා යක්ෂයා සතුටු කළ යුතු බවත් ඒ සඳහා රජ බල ප්‍රදේශයේ සිටින සුන්දරතම කුළුදුල් කන්‍යාවිය සොයාගෙන ඇය දින 07ක් දිවා රාත්‍රී කිරිපැණි සඳුන්වලින් නහවා පසුව මරා දැමිය යුතු බවයි. ඒ අනුව එම තරුණිය මෙම කඳු මුදුනට රැගෙන ගොස් ගසක බැඳ තනිකර පැමිණි ඇති බවත් පසුව මෙම කන්ද බහිර කන්ද වූ බවත් සඳහන්ය.


මෙම බිලි පූජාව වසර ගණනාවක් පුරා පැවැති අතර එක් රජ සමයක වැලිකල නමින් යුත් කන්‍යාවියක් තෝරාගෙන ඇත. ඇය දුනුවිල නිලමේ නම් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත. මෙම තරුණිය තෝරාගෙන ඇත්තේ තරුණයා යම් කිසි කරුණක් නිසා රජ වාසලෙන් නෙරපා සිටි නිසාය. තරුණිය රාත්‍රියේ ගෙනගොස් ගසක බැඳ පැමිණ ඇත. තරුණයා හොර රහසේ කඳු මුදුනට පැමිණ සැඟවී ඇත. මධ්‍යම රාත්‍රියේ යක්ෂයා හඬ නගමින් තරුණිය ඉදිරියට පැමිණ ඇත. සැඟවී සිටි දුනුවිල නිලමේ ඉදිරියට පැන යක්ෂයා මරා දමා තිබේ.

රජවාසලට ගොස් මේ බව සැල කළ පසු රජතුමා පැමිණ බැලූවිට මැරී ඇත්තේ තම පුරෝහිතයා බව හඳුනාගෙන තිබේ. ඉන්පසු මෙම බිලි පූජාව රජු විසින් තහනම්  කර ඇත. 


පුරෝහිතයා වසරක් පාසා කන්‍යාවියක් දූෂණය කර මරා දමා ඇත. අද කොළඹ වීදිය ලෙස හඳුන්වන්නේ එදා කන්‍යාවිය පෙරහරින් කඳු මුදුනට ගෙන ගිය මාවත ය.


 මෙවන් ජනප්‍රවාද බොහොමයක් බහිරව කන්ද සම්බන්ධව පවතී. එකල රාජ උදහසට ලක්වන මිනීමරුවන්, සොරුන් රතුමල් මාල දමා මරණීය දණ්ඩනයට රැගෙන ගොස් ඇත්තේද මෙම කඳු මුදුනට බව ජනප්‍රවාදයේ කියැවෙයි. එසේ ගෙනගොස් කටු බෙරයක රිංගවා කඳු මුදුනේ සිට පෙරළා මරණයට පත්කර ඇත. මේ නිසා මෙම කන්ද ‘කටු කැලය’ ලෙසද හඳුන්වා ඇත.


පෘතුගීසින්, ලන්දේසින්, ඉංග්‍රීසින් ඔත්තු බැලීම සඳහා  ‘බහිරවකන්ද’ එදා යෙදාගෙන තිබෙන බවත් සඳහන්. මෙවන් විශේෂතා බොහොමයකින් යුත් බහිරව කන්දේ සිට මහනුවර නගරය ආශ්‍රිත වෙනත් දසුන් අපූරුවට දැක ගැනීමටද හැකිය. මෙහි විහාරාධිපති වහන්සේ ඉතා ආකර්ෂණීය හා පහසුකම් සහිත පුදබිමක් කරලීම සඳහා සංවර්ධන කටයුතු රාශියක් සිදුකරමින් පවතී.


මහනුවර සංචාරය කරන ඔබ බහිරව කන්දටත් ගියහොත් එය අපූරු සංචාරයක් ලෙස මතක සටහන්වලට එක්වෙනවා නියතය.

සටහන ශාන් බන්දු වීරසිංහ     

 

 

 

අපි නිදහස්ද Read Previous

අපි නිදහස්ද

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න Read Next

ලෝකෙට ආපු අලුත්ම ගැජට් එක මෙන්න

Realted Post

Leave a comment