උඳුවප් පොහොයයි සංඝමිත්තා තෙරණියයි

සංඝමිත්තා තෙරණිය ප්‍රමුඛ එකොළොස් නමක් භික්ෂුණීන් වහන්සේලා දඹදිව සිටි ලක්දිවට වැඩම කිරීම, ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාව ලක්දිවට වැඩම කිරීම, භික්‍ෂුණී ශාසනයේ ආරම්භයත් සමග ගොඩනැගුණු බෞද්ධ සංස්කෘතික උරුමයන් හා කාන්තා නිදහස පිළිබඳවද මතකයට නංවන උතුම් පුණු පොහෝ දිනයකි මේ උඳුවප් පුණු පොහෝදා. ඒ සමගම සෑම වසරකම මුනි සිරිපා වන්දනා සමය ඇරඹෙන්නේද මේ උඳුවප් පොහෝ දිනයේමයි.

මනා රූප ස්වභාවකින් හා සිත්ගන්නාසුලු චරිතවත් ලලනාවක් වූ සංඝමිත්තා, දැහැමි විනීත ඥානාන්විත කාන්තාවකි. ඇය පසු කලෙක අග්‍ගිදත්ත නම් කුමාරයා සමග විවාහ විය. යශෝධරාව, නකුල මාතාව වැනිම වූ ඉතාමත් වටිනා චරිතයක්ව සිටි සංඝමිත්තාවන්, පසුකාලයක  සුමන නම් පුත් කුමරෙකුගේ මව වූවාය. මේ සුමන පුත් කුමාරුවා තමයි පසුදිනයක මහා මහින්ද හිමියන් සමග ලක්දිවට වැඩි සුමන සාමණේරයන්. සුමන කුමාරයාට අවුරුදු හතක් වන විට, සිය සොහොයුරු වූ මහින්දත්, තම සැමියා වූ අග්ගිදත්තත්, පුතා වූ සුමනත් මහණදම් පුරන්නට එක්වී සිටි නිසා සංඝමිත්තාවන්ද මෙහෙණි සස්නෙහි පැවිදිබව ලැබුවා.
ලක්දිව භික්‍ෂුණී ශාසනයේ ආරම්භය
ශ්‍රී ලංකාවේ බුදු සසුන පිහිටුවීමට මූලික වූ මහා මහින්ද මහරහතන් වහන්සේගේ අවසරය පරිදි, දේවානම්පියතිස්ස රජු විසින් කරන ලද ආරාධනාවකට අනුව ධර්මාශෝක රජතුමාගේ අනුග්‍රහය ඇතිව, දඹදිව එවකට වැඩ සිටි සංඝමිත්තා  තෙරණිය ඇතුළු භික්‍ෂුණීන් වහන්සේලා එකොළොස් නමක් ලක්දිවට වැඩම කරවූයේය. ඒ සමගම සියලු වෘත්තීයයන්ගෙන් පෝෂිත වූ කුල දහඅටක පිරිසක්ද, ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාවද සමගින් ලක්දිවට වැඩම කර වූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයේයි.
බෝධි රෝපණ මහෝත්සවයෙන් පසු ඊළඟට සංඝමිත්තාවන්ගේ මූලිකම කටයුත්ත වූයේ ඒවන විට සෝවාන් ඵලයට පැමිණ, මෙහෙණවරක  වැඩ සිටි අනුලා බිසව ඇතුළු තවත් කාන්තාවන් පන්සියයක් දෙනා පැවිදි බවට පත්කරලීමයි. ඒ අනුව ලක්දිව භික්‍ෂුණී ශාසනය ඇරඹුමද සිදුවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයකමය.
සංඝමිත්තා⁣තෙරණිය ඇතුළු භික්‍ෂුණින් වහන්සේලාට මෙහෙණවර තනවා දුන් දේවානම්පියතිස්ස රජතුමා භික්‍ෂුණී ශාසනයට ද ඇප කැප වී කටයුතු කළ නිසාම වැඩිකල් නොයා ලක්දිව භික්‍ෂුණී ශාසනයද ව්‍යාප්ත වන්නට විය. ඒ නිසාම ලාංකික කාන්තාවටද නිදහස් ජීවිතයක් උරුම වූවා සමගම ඔවුන්ගේ දැනුම ආකල්ප ඥානය වැඩි දියුණු කර ගනිමින් උසස් ජීවන තත්ත්වයකට තම ජීවිත හැඩගස්වා ගැනීමට අවස්ථාව ලැබුණි. ඒ අනුව ලාංකික කාන්තාවගේ නිදහසද උඳුවප් පුර පුණු පොහොයදා හිමිවිය.
සිරිපා වන්දනා සමයේ ඇරඹුම
බුදුරජාණන් වහන්සේ ලක්දිවට වැඩම කළ තුන්වෙනි ගමනේදී සිරිපා අඩවියේ පිහිටවූ වම් සිරිපාදය වන්දනා කරන්නට යන බැතිමතුන්ගේ වන්දනාවාරය ආරම්භ වන්නේද මේ උඳුවප් පුණු පොහෝදා සිටයි. ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව මෙන්ම වෙනත් ආගම්වල පිරිස්ද, විදේශිකයන්ද ඉතා බැතියෙන් ශ්‍රී පාද වන්දනාව සිදුකරති. ඒ අනුව උඳුවප් පුණුපොහෝදා යනු  ශ්‍රී ලාංකික  කාන්තාවන් ලද උතුම් ජයග්‍රහණයක් පෙන්වන වටිනා පුණු පොහෝ දිනයක් ලෙසින්  අර්ථ දැක්විය හැකියි.

  • ඡායාරූපය - අන්තර්ජාලයෙන්
  • ආනන්ද රණතුංග

 

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම Read Previous

අවතැන් ව සිටින මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙත අවශ්‍ය ද්‍රව්‍ය ලබා දිම

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි Read Next

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ආධාර රැගත් සිව්වන ගුවන් යානය මෙරටට ළගා වෙයි

Realted Post

Leave a comment