තරු අතර නම් තැබූ ක්‍රිස්ටිනා කෝච්

 

මීට දශක පහකටත් එපිට අතීතයක, නීල් ආම්ස්ට්‍රෝන් සඳ මත තැබූ "මිනිසාගේ කුඩා පියවර" ලෝකයම මවිත කළේය. එහෙත් වසර 50කට වැඩි කාලයක් පුරා අසම්පූර්ණව පැවති ඒ ඉතිහාසය අලුත් කරන්නට මෑත කාලීනව  ගත් ඒ විශාල ප්‍රයන්තයේදී එක් අභීත කාන්තාවක් ද සන්නද්ධ වී සිටින්නීය. 

ඇය, නමින් Christina Hammock Koch ය. 2026 අප්‍රේල් මාසයේදී ‘Artemis II’ මෙහෙයුම හරහා සඳ වටා ගමන් කළ ප්‍රථම කාන්තාව ලෙස ඇය මානව ඉතිහාසයේ රන් අකුරින් තම නාමය සනිටුහන් කළාය.

තරු දෙස බලමින් සඳ සිහිනය පාට කළ ඇගේ ළමා කාලය

1979 ජනවාරි 29 වැනිදා මිචිගන් හි උපත ලබා, උතුරු කැරොලිනාවේ හැදී වැඩුණු ක්‍රිස්ටිනාගේ ලෝකය සැමවිටම පොළොවට වඩා අහසට සමීප විය. කුඩා දැරියකව සිටියදීම රාත්‍රී අහසේ තරු දෙස බලා විශ්වයේ රහස් සොයන්නට පෙරුම් පිරූ ඇය, සිය පාසල් ගුරුවරුන් සමගද තම සිහිනය පිලිබඳව නිතර කතා කල බව ඇය පවසයි. එය හුදු ළමා සිහිනයක්ම නොවීය. පාසල් වියේදී 'Rocket Club' සාමාජිකාවක ලෙස රොකට් තාක්ෂණය ගැන හැදෑරූ ඇය, ෆ්ලොරිඩාවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයට සහභාගී වෙමින්  බලා තම අධිෂ්ඨානය මල්ඵල ගන්වන්නට පදනම දැමුවාය.

තමන්ගේ සිහිනය හැබෑ කරගැනීමට නම් හොඳ අධ්‍යාපනයක් අවශ්‍ය බව ඇය තේරුම් ගෙන සිටියාය. මේ නිසා ඇය උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව යන අංශ දෙකෙන්ම විද්‍යාවේදී B.S. උපාධි ලබා ගත්තාය. ඉන් නොනැවතී විදුලි ඉංජිනේරු විද්‍යාවෙන් ශාස්ත්‍රපති M.S. උපාධියක්ද ලබා ගැනීමට ඇය සමත් වූවාය. නාසා ආයතනයේ Goddard Space Flight Center හි සේවය කිරීමෙන් ඇය තම වෘත්තීය ජීවිතයට ඉතා ශක්තිමත් පදනමක් ගොඩනගා ගත්තාය.

දැඩි හිම කතරක ලැබූ ශක්තිමත් පෙරහුරුව

අභ්‍යවකාශයට යෑමට පෙර ඇයට පෘථිවියේ දරුණුතම පරිසරයන් ජය ගැනීමට සිදු විය. උතුරු කැරොලිනා ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් විදුලි ඉංජිනේරු විද්‍යාව සහ භෞතික විද්‍යාව පිළිබඳ උපාධි ලැබූ ඇය, 2004 සිට වසර තුනහමාරක් ආක්ටික් සහ ඇන්ටාක්ටික් කලාපවල සේවය කළාය. සෙල්සියස් අංශක -79.4 ක මාරාන්තික සීතල, මාස ගණනාවක් පවතින අඳුර සහ ආදරණීයයන්ගෙන් වෙන්ව හුදෙකලාව ගෙවූ ඒ කාලය, ඇත්ත වශයෙන්ම අභ්‍යවකාශයේ හුදෙකලා ජීවිතය සඳහා වූ කදිම පෙරහුරුවක් විය. ඇය එහිදී හුදෙක් පර්යේෂිකාවක පමණක් නොව, ගිනි නිවන සහ මුදාගැනීමේ කණ්ඩායම්වලද ක්‍රියාකාරී සාමාජිකාවක ලෙස තම ශක්තිය ප්‍රකට කළාය.

වාර්තා පොත් අලුත් කළ දින 328

2013 දී නාසා ආයතනයට තේරී පත්වීමෙන් පසු ඇගේ දිගු ගමන ඇරඹිණි. ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ (ISS) දින 328ක් අඛණ්ඩව රැඳී සිටිමින්, කාන්තාවක් අභ්‍යවකාශයේ ගත කළ දිගුම කාලය පිළිබඳ වාර්තාව ඇය සතු කරගත්තාය. පෘථිවිය වටා කක්ෂ 5,248ක් ගමන් කරමින්, පැය 42කට අධික කාලයක් අභ්‍යවකාශයේ ඇවිදිමින් (Space Walk) ඇය දැක්වූ දස්කම් විශ්මයජනකය. විශේෂයෙන්ම තවත් ගගනගාමිනියක වූ ජෙසිකා මේර් සමඟ එක්ව සිදුකළ "පළමු පූර්ණ කාන්තා අභ්‍යවකාශ ඇවිදීම" ලෝකයේ දැඩි අවධානයට ලක්විය.

අභ්‍යවකාශයේ ගතකළ කාලය තුළ ඇය සහ ඇගේ කණ්ඩායම විද්‍යාත්මක පර්යේෂණ සිය ගණනකට දායක වූහ. Alpha Magnetic Spectrometer යන්ත්‍රය යාවත්කාලීන කිරීම සඳහා රොබෝ තාක්ෂණය භාවිතා කිරීම, ඖෂධීය පර්යේෂණ සඳහා ප්‍රෝටීන් ස්ඵටික වර්ධනය කිරීම, සහ ගුරුත්වාකර්ෂණය අඩු පරිසරයකදී ත්‍රිමාණ ජීව විද්‍යාත්මක මුද්‍රණ යන්ත්‍ර පරීක්ෂා කිරීම වැනි අතිශය වැදගත් පර්යේෂණ ඒ අතර වේ.

සඳ වටා ගිය සුන්දර ‘Artemis’ තාරකාව

ක්‍රිස්ටිනාගේ ජීවිතයේ සුවිශේෂීම සංධිස්ථානය සනිටුහන් වූයේ 2026 අප්‍රේල් මාසයේදීය. 'Artemis II' මෙහෙයුමේ 'Mission Specialist' ලෙස ඇය පෘථිවි කක්ෂයෙන් ඔබ්බට ගොස් සඳ වටා ගමන් කළ ප්‍රථම කාන්තාව බවට පත් වූවාය. 1972 න් පසු සඳ දෙසට ගිය ප්‍රථම මානව කණ්ඩායමේ සාමාජිකාවක වෙමින් ඇය අනාගත අඟහරු ගවේෂණයට අවශ්‍ය අඩිතාලම සැපයුවාය. 

එහෙත් ක්‍රිස්ටිනා ලෝකයම දිනාගත්තේ ඇගේ විද්‍යාත්මක දක්ෂතාවයෙන් පමණක් නොවේ. මේ ඓතිහාසික ගමන අතරතුර ඇය සමාජ මාධ්‍ය ඔස්සේ දියත් කළ Just a girl in space නැමැති රැල්ල (Trend), අතිශය බැරෑරුම් අභ්‍යවකාශ විද්‍යාව සාමාන්‍ය ජනතාවට සහ කුඩා දරුවන්ට ඉතා සමීප, විනෝදජනක අත්දැකීමක් බවට පත් කළේය. ඇගේ සරල බව සහ මදහස පිරි මුහුණ අභ්‍යවකාශයේ අසිරිය ලෝකයටම සමීප කරවීය.
 
අනාගතයට දෙන පණිවිඩය

විදුලි ඉංජිනේරුවරියක, දක්ෂ ගගනගාමිනියක සහ නොසැලෙන වීරවරියක ලෙස ක්‍රිස්ටිනා කොක් අපට කියා දෙන්නේ එකම පාඩමකි. ඒ, තම සිහිනය වෙනුවෙන් උපරිමයෙන් කැපවන්නේ නම්, ලෝකයේ කෙළවරටම නොව විශ්වයේ කෙළවරටම වුවද යා හැකි බවයි. ඇය සඳ වටා ගොස් පෘථිවිය දෙස බලා සිටි ඒ බැල්ම, අනාගතයේ දිනෙක තම සිහින සැබෑ කරගැවීමට  සිහින දකින දහස් සංඛ්‍යාත දියණියන්ගේ බලාපොරොත්තුවයි ඉටු කරගැනීමට ඉමහත් ආශිර්වාදයකි.

 

 

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට Read Previous

මත් රියදුරන් කොටු කරන නව තාක්ෂණය මධ්‍යම පළාතට

දැනෙන වේදනාව වැඩි වුණත් ගමන අත් නොහරින ආලෝකා Read Next

දැනෙන වේදනාව වැඩි වුණත් ගමන අත් නොහරින ආලෝකා

Realted Post

Leave a comment