ඔබ දෙදෙනා ලිංගිකව ගැළපෙනවාද?

විවාහයට පෙර කතා නොකරන මේ කාරණය ගැන දැනගත යුතු දේ...

විවාහයක් ගැන සිතන විට අපි බොහෝ දේ ගැන සොයා බලනවා. දෙදෙනාගේ ගතිගුණ ගැළපෙනවාද? පවුල් පසුබිම් කොහොමද? අධ්‍යාපනය, රැකියාව, ආර්ථික තත්ත්වය, ආගම, සංස්කෘතිය වගේ බොහෝ කරුණු ගැන අවධානය යොමු කරනවා. ඒත් මේ සියල්ල අතරේ, විවාහ ජීවිතයට ඉතා වැදගත් තවත් කාරණයක් ගැන බොහෝ දෙනෙක් කතා කරන්න පවා මැලිකමක් දක්වනවා.

ඒ තමයි ලිංගික ජීවිතයේ ගැළපීම. මේ ගැන විවෘතව කතා කිරීමට ඇති අකමැත්තට සමාජයේ පවතින විවිධ මතවාද, විශ්වාස, ආගමික හා සංස්කෘතික අදහස් බලපානවා. කෙනෙක් මේ ගැන කතා කළත්, ඔහු හෝ ඇය පිළිබඳ වැරදි ආකල්පයකින් බලන අවස්ථාත් තිබෙනවා.

නමුත් කවුරුත් නොසිතන කාරණයක් තිබෙනවා. මෙවැනි ගැටලුවක් ගැන වැඩිපුරම චෝදනා කරන හෝ විවේචනය කරන කෙනාම සමහරවිට ඒ ගැටලුවෙන් පීඩා විඳින කෙනෙක් වෙන්නත් පුළුවන්.

 “බඳින්න කලින් කොහොමද මේ ගැන දැනගන්නේ?”

විවාහයට පෙර ලිංගික ගැළපීම ගැන කතා කළොත් බොහෝ දෙනාගේ මනසට එන පළමු ප්‍රශ්නය මේක වෙන්න පුළුවන්. විවාහයට පෙර දෙදෙනාගේ ලිංගික ජීවිතය පිළිබඳ ගැළපීම් ගැන අවබෝධයක් ලබාගැනීමට සඳහා දෙදෙනා අතර විවෘත හා අවංක සංවාදයක් ඉතා වැදගත්.

ලිංගික ගැළපීම කියන්නේ ලිංගික ක්‍රියාවලිය පමණක් නොවේ. දෙදෙනාගේ රුචි අරුචිකම්, කැමැත්ත, අකමැත්ත, සීමාවන්, ආදරය පෙන්වන ආකාරය සහ එකිනෙකාගේ අවශ්‍යතා පිළිබඳ අවබෝධයත් ඒ තුළට ඇතුළත් වෙනවා. උදාහරණයක් විදිහට එක් අයෙකු සීතල පරිසරයකට කැමති වෙන්න පුළුවන්. නමුත් අනෙක් කෙනාට සීතල දරාගැනීම අපහසු වෙන්න පුළුවන්.

ඒ වගේම එක් අයෙකු ශරීර ස්පර්ශයට වැඩි කැමැත්තක් දක්වද්දී, අනෙක් කෙනාට එවැනි ස්පර්ශයන් එතරම් පහසු නොවෙන්න පුළුවන්. කෙනෙකුට කතාබහ කිරීම, ආදරය පෙන්වීම, සිප වැළඳ ගැනීම වැනි දේවල් වැදගත් විය හැකි අතර තවත් කෙනෙකුට ඒවායේ අවශ්‍යතාව වෙනස් විය හැකියි.

ආලෝකය සම්බන්ධයෙන් වුණත් දෙදෙනාගේ කැමැත්ත වෙනස් වෙන්න පුළුවන්. කෙනෙකුට ආලෝකය පහසු වුණත් අනෙක් කෙනා අඳුරු පරිසරයකට කැමති වෙන්න පුළුවන්. මේවා බැලූ බැල්මට සුළු දේවල් වගේ පෙනුණත්, එකට ජීවත් වන විට එවැනි වෙනස්කම් ඇතැම්විට වැදගත් වෙන්න පුළුවන්.

දෙදෙනෙක් කියන්නේ එකම කෙනෙක් නොවේ

විවාහ ජීවිතයේදී අපට හමුවෙන්නේ එකම ආකාරයට සිතන, එකම දේවල්වලට කැමති දෙදෙනෙක් නොවේ. ඒ නිසා දෙදෙනාගේ රුචි අරුචිකම් සෑම කරුණකදීම එක සමාන විය යුතු නැහැ. වැදගත් වන්නේ එම වෙනස්කම් ගැන කතා කිරීමයි. “මම කැමති මේකට”, “මට මේක පහසු නැහැ”, “මේ දේට මම අකමැතියි” කියලා එකිනෙකාට අවංකව පැවසීමට හැකි වීම සම්බන්ධතාවයක වැදගත් කොටසක්.

එසේ කතා කිරීමෙන් දෙදෙනාටම එකිනෙකාගේ අවශ්‍යතා තේරුම්ගෙන, දෙදෙනාටම පහසු මැද මාවතකට පැමිණීමට හැකියාව ලැබෙනවා.

සමහරවිට ගැටලුව රුචි අරුචිකම්වල නොවෙයි...

සමහර අවස්ථාවල ලිංගික ජීවිතයට බලපාන්නේ දෙදෙනාගේ කැමැත්ත හෝ අකමැත්ත පමණක් නොවේ. සෞඛ්‍ය ගැටලු සහ මානසික තත්ත්වයන් ද ඊට බලපාන්න පුළුවන්. ප්‍රජනක පද්ධතිය ආශ්‍රිත ගැටලු, ලිංගික ක්‍රියාකාරීත්වය සම්බන්ධ අපහසුතා, බිය, ලැජ්ජාව හෝ මානසික පීඩනය වැනි කරුණු නිසා ඇතැම් පුද්ගලයන්ට ලිංගික සම්බන්ධතාවයක් පිළිබඳවම අපහසුතාවයක් ඇති විය හැකියි.

එවැනි අවස්ථාවකදී එකිනෙකාට දොස් පැවරීමෙන් ගැටලුව තවත් සංකීර්ණ විය හැකියි. ඒ වෙනුවට ගැටලුව හඳුනාගෙන, එකිනෙකා සමඟ සුහදව කතා කිරීම වඩා වැදගත්.

 “කොපමණ වාරයක්ද?” කියන ප්‍රශ්නයට එකම පිළිතුරක් නැහැ

ලිංගික ජීවිතයේදී දෙදෙනාගේ අවශ්‍යතා සහ කැමැත්ත එකිනෙකාගෙන් වෙනස් විය හැකියි. කෙනෙකුට සතියකට වරක් ප්‍රමාණවත් විය හැකි අතර, තවත් කෙනෙකුගේ අවශ්‍යතාව ඊට වඩා වෙනස් විය හැකියි. ඒ නිසා “නිවැරදි” යැයි කියා සෑම යුවළකටම එකම සංඛ්‍යාවක් නියම කළ නොහැකියි. වැදගත් වන්නේ දෙදෙනාගේම කැමැත්ත, සුවපහසුව සහ සම්බන්ධතාවයේ තත්ත්වයයි.

කතා නොකර සිටීමෙන් ගැටලුව විසඳෙන්නේ නැහැ

ලිංගික ජීවිතය ගැන කතා කිරීම ලැජ්ජාවට කරුණක් ලෙස නොව, විවාහ ජීවිතයේම එක් කොටසක් ලෙස දැකීමට පුරුදු විය යුතුයි. ගැටලුවක් තිබේ නම් එය සඟවාගෙන සිටීම වෙනුවට, එකිනෙකා සමඟ කතා කර තේරුම් ගැනීම පළමු පියවරයි. අවශ්‍ය අවස්ථාවකදී වෛද්‍ය උපදේශනයක්, පූර්ව විවාහ උපදේශනයක් හෝ මනෝවිද්‍යාත්මක උපදේශනයක් ලබාගැනීමත් වැදගත් විය හැකියි.

මොකද විවාහ ජීවිතය කියන්නේ එක වහලක් යට ජීවත් වීම විතරක් නොවේ. එකිනෙකාගේ හැඟීම්, අවශ්‍යතා, බිය සහ සතුට තේරුම් ගනිමින් දෙදෙනාටම සැනසිල්ලක් සහ සතුටක් ලැබෙන සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමයි.

ඒ නිසා විවාහයට පෙර අහන්න අමාරු ප්‍රශ්නයක් වුණත්, විවාහයෙන් පසු නොකියා සිටීමෙන් ඇතිවන ප්‍රශ්නය ඊට වඩා බරපතළ වෙන්න පුළුවන්. ගැළපීම කියන්නේ සෑම දේකම එක සමාන වීම නොවේ. වෙනස්කම් තිබුණත් ඒවා තේරුම්ගෙන, කතා කරගෙන, එකිනෙකාට ගරු කරමින් ඉදිරියට යාමයි.

සටහන – මහේෂානි මීගහපොල
අදහස් දැක්වීම – ආයුර්වේද වෛද්‍ය හා මනෝවිද්‍යා උපදේශක කමල් එස්. ජයසේකර

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ  පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු. Read Previous

ඔබේ සෞඛ්‍යය ඔබේ අතේ පියයුරු ස්වයං පරීක්ෂාවෙන් ජීවිතය රැකගනිමු.

ඇගේ බර අනුව ඇති වන ලෙඩ Read Next

ඇගේ බර අනුව ඇති වන ලෙඩ

Realted Post

Leave a comment