ලෝකයේ ප්‍රියතම ගමනාන්තය

ලොව සංචාරකයන්ගේ වැඩිම කැමැත්ත දිනාගත් ගමනාන්තයක් ලෙස සැලකෙන ජපානය, මෙම වසරේ මුල් භාගයේදී ආසියාවේ වැඩිම නැවත පැමිණෙන විදෙස් සංචාරකයන් සංඛ්‍යාවක් වාර්තා කර තිබේ.

අන්තර්ජාල සංචාරක වෙන්කිරීම් වේදිකාවක් වන Agoda හි වෙන්කිරීම් දත්ත අනුව මෙම තොරතුරු අනාවරණය වී ඇත. එම ලැයිස්තුවේ ජපානයට පසුව තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ ඉන්දුනීසියාව සිටින බව Agoda පවසයි.

අඩු අපරාධ අනුපාතය සහ ඉහළ ජීවන තත්ත්වය හේතුවෙන් ජපානය ආරක්ෂිත ගමනාන්තයක් ලෙස සැලකෙන අතර, එරට පවතින පොහොසත් සංස්කෘතිය, රසවත් ආහාර සහ ජනතාවගේ ආචාරශීලී හැසිරීමද විදෙස් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට හේතු වී තිබේ. ජපානයේ ආරක්ෂාව සහ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා දැඩි නීති සහ රෙගුලාසිද බලපාන බව Agoda සඳහන් කරයි. 

ආචාරශීලීත්වය ජපානයේ සංස්කෘතියේ කොටසක්

ජපානය ලොව ආචාරශීලීත්වය සඳහා ප්‍රසිද්ධ රටක් ලෙස සැලකේ. එරට සමාජය තුළ ගැඹුරින් මුල් බැස ඇති ගෞරවය, සමාජ සමගිය සහ විධිමත් ආචාර සම්ප්‍රදායන් එදිනෙදා ජීවිතයේදීද දැකගත හැකිය.

සුබ පැතුම් පළ කිරීමේදී හිස නමා ආචාර කිරීම, අමුත්තන් කෙරෙහි දැක්වෙන සැලකිලිමත් ආගන්තුක සත්කාරය, පොදු ස්ථානවල නිහඬ බව පවත්වා ගැනීම සහ පිළිවෙළට පෝලිම්වල රැඳී සිටීම වැනි පුරුදු ඒ සඳහා උදාහරණ වේ.

මේ අතර, Condé Nast Traveler Readers' Choice Awards හිදී ලොව සංචාරකයන්ගේ ප්‍රියතම ගමනාන්තයක් ලෙස තේරී පත්වූ ජපානයට මෙම වසරේ මුල් මාස හත තුළදී විදෙස් සංචාරකයන් මිලියන 24.5කට වැඩි පිරිසක් පැමිණ තිබේ. කෙසේ වෙතත්, එය 2025 වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී සියයට 1.7ක සුළු අඩුවීමක් බව සඳහන් වේ.

ජපානය 2030 වසර වන විට විදෙස් සංචාරකයන් මිලියන 60ක් රටට ගෙන්වා ගැනීමේ ඉලක්කයක් තබාගෙන සිටී. 2025 වසරේදී එරටට පැමිණි විදෙස් සංචාරකයන් සංඛ්‍යාව මිලියන 42ක් ලෙස සඳහන් වේ.

ජපානයේ පෞරාණික සංස්කෘතිය, නවීන තාක්ෂණය, ස්වභාවික සුන්දරත්වය, ආහාර සංස්කෘතිය සහ ආරක්ෂිත පරිසරය හේතුවෙන් එරටට නැවත නැවත සංචාරය කිරීමට විදෙස් සංචාරකයන් තුළ ඇති උනන්දුව ඉහළ මට්ටමක පවතින බව මෙම දත්ත මගින් පෙන්වා දෙයි.

අශන්ති වරුණසූරිය 

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක් Read Previous

අභිරහස් ගවේෂණයට කැමති ඔබට, ඒවන ස්ථාන ගොඩක්

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH Read Next

Dragons of Sri Lanka 2026 රන් සම්මානය HUTCH

Realted Post

Leave a comment