නොමියෙන ඒ සිනහවට වසර 50යි...

“අත අල්ලගෙන තාත්තා ඇය ළඟම හිටියා…
මම කිව්වා, ‘තාත්තේ… දැන් අත අරින්න’ කියලා…
ඊට පැය කිහිපයකට පස්සේ ඇය අපෙන් සමුගත්තා…”

ජීවිතයේ සමහර මතක තිබෙනවා.
කාලය කොතරම් ගෙවුණත් ඒවා අපේ හදවතින් මැකෙන්නේ නැහැ.

ඒ මතක සමහරවිට වේදනාවක්.
සමහරවිට ආදරයක්.
තවත් සමහරවිට අපට ජීවිතයේ අරමුණක් කියාදෙන සිහිවටනයක්.

අද ඉන්දිරාගේ 50 වැනි ජන්ම දිනයයි.

ඇය අද අප අතර නැහැ.
එහෙත් ඇයගේ සිනහව, ඇයගේ ආදරය, ඇයගේ මනුෂ්‍යත්වය සහ ඇය වෙනුවෙන් උපන් මනුෂ්‍යත්වයේ මෙහෙවරක් අදත් ජීවමානයි.

මේ මතකය අප සමඟ බෙදාගන්නේ වෛද්‍ය ලංකා ජයසූරියයි. හිටපු කථානායක කරූ ජයසූරිය මහතාගේ දියණිය වන ඇය, ඉන්දිරාගේ වැඩිමහල් සහෝදරියයි.

2008දී ආරම්භ වූ සටන…

ඉන්දිරාට පළමු වරට පිළිකාව හඳුනාගන්නේ 2008 වසරේදීය.

නමුත් පිළිකාව ඇගේ ජීවිතය නතර කළේ නැහැ.

ඇය ඒ අභියෝගය සමඟ සටන් කළා.
සටන ජයගෙන නැවතත් සාමාන්‍ය ජීවිතයකට පැමිණියා.

ඇය ආදරණීය දරුවන් දෙදෙනෙකුගේ මවක් වුණා.

නමුත් 2015 වසරේදී, ඇගේ දෙවැනි දරුවා කුස තුළ වැඩෙමින් සිටියදී, පිළිකාව නැවතත් ඇගේ ජීවිතයට පැමිණියා.

එය මවක් ලෙස ඇය මුහුණ දුන් අතිශය අසීරුම මොහොතක් වන්නට ඇති.

වෛද්‍ය ලංකාට ඒ මතකය අදත් හොඳින් මතකයි.

“මටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ඒත් නංගි දරුවන්ට පුදුමාකාර ආදරයක් තිබුණු කෙනෙක්. ඒ නිසා බබා ලැබෙන්න ඉන්න කාලයේ ඇය පිළිකාවට අදාළ බෙහෙත් ගත්තේ නැහැ…”

ඉන්දිරාට ඇගේ දෙවැනි දරුවා ලැබුණා.

දරුවා ලැබුණු පසු ඇය නැවත ප්‍රතිකාර ලබාගත්තා.

එහෙත් දරුවා උපත ලබා වසරකට පසු ඉන්දිරාගේ ජීවිත ගමන අවසන් වුණා.

ඒ අවසන් දින හත…

ඇගේ අවසන් කාලය ගතවුණේ ඇය ජිවත් වුණ් එංගලන්තයේ...

ඇයගේ අවසන් දින කිහිපය අනෙක් අයට වේදනාකාරී වුණා.
එහෙත් ඇය වේදනාවෙන් කෙඳිරිගෑමක් නැහැ.
කිසිදු අපහසුතාවක් පෙන්නුවෙත් නැහැ.

කුඩා කාලයේ සිටම දෙමාපියන්ගේ ආදරය මැද හුරතලයට හැදී වැඩුණු, පවුලේ බාල දියණිය වූ ඉන්දිරා, ජීවිතයට සමුදෙන මොහොත දක්වාම ඇගේ සුන්දර සිනහව මුව රදවාගෙන සිටියා.

හැමදාන මෙන් අවසන් දින කිහිපයෙත් ඇගේ පවුලේ අය ඇය වටා සිටියා.
දෙමාපියන්…
සහෝදර සහෝදරියන්…
සැමියා…
දරුවන්…

සියලු දෙනාම ඇය අසලට වී සිටියා.

“තාත්තේ… දැන් අත අරින්න…”
ඒ අවසන් දවසයි.

එවකට කථානායකවරයා ලෙස රටේ වගකීම් රැසක් දරමින් සිටි කරූ ජයසූරිය මහතාටත්, තම ආදරණීය බාල දියණියගේ අවසන් මොහොතේ ඇය අසල සිටීමේ අවශ්‍යතාව තිබුණා.

දේශපාලන වගකීම් සියල්ල ඉටු කර ඔහුත් අවසන් දවසේ රෝහලට පැමිණියා.

වෙනදාට තාත්තාට ඕන එපා සියල්ල කියවන 
තම සුරතල් බාල දියණිය
කිසිත් නොකියා දෙනෙත් වසාගෙන සිටිනවා. සෙමින් ගත් ඇයගේ අත ඔහු අල්ලාගෙන දවසෙම ඇය දෙස බලාසිටියා.

ඇය කිසිවක් නොකීවත්, තම පියාගේ උණුසුම ඇයට දැනෙන්න ඇති.
තම සහෝදරියගේ,  දරුවන්ගේ සුවඳ ඇයට දැනෙන්න ඇති.

ඇය වටා සිටි තමන්ගේ ආදරණීයයන්ගේ හුස්ම පවා ඇයට දැනෙන්න ඇති.

දියණිය නැවත කතා නොකරන බවත්, ඇය තමන්ගෙන් සමුගන්නා බවත් දැන දැනත්, පියෙකුට කළ හැකි අවසාන ආදරය ලෙස කරූ ජයසූරිය මහතා තම දියණියගේ අත තදින් අල්ලාගෙන සිටියා.

සියල්ල බලාගෙන, සියලු වේදනාව දරාගෙන සිටි පවුලේ වැඩිමහල් දියණිය වූ වෛද්‍ය ලංකා අවසානයේ තම පියාට මෙසේ පැවසුවා.

“තාත්තේ… දැන් අත අරින්න…”

ඒ වචන පිටවුණේ කරන්නට තවත් කිසිවක් ඉතිරිව නොතිබූ මොහොතක විය හැකියි.
වෛද්‍යවරියක් ලෙස මරණයේ ස්වභාවය ඇයට තේරෙන්න ඇති.

නමුත් ඒ මොහොතේ ඇය ඉදිරියේ සිටියේ රෝගියෙකු නොවෙයි.

ඇයගේ ආදරණීය නංගීය.

වෛද්‍යවරියක් ලෙස ඇය දැන සිටි සත්‍යයත්, සහෝදරියක් ලෙස ඇගේ හදවත පිළිගැනීමට අකමැති වූ සත්‍යයත් අතර, ඇය ඒ වචන කිහිපය කියන්නට ඇති.

“තාත්තේ… දැන් අත අරින්න…”

ඉන් පැය කිහිපයකට පසු ඉන්දිරා සිය අවසන් හුස්ම හෙළුවා.

එය ඔවුන්ගේ පවුලේ කිසිදා අමතක නොවන මොහොතක් බවට පත්වුණා.

එක් දියණියක් අහිමි වීමෙන් උපන් නොමියන මෙහෙවර…

ඉන්දිරාගේ අවසන් දින කිහිපයේදී ඇගේ පවුලට ලැබුණු සහයෝගයත්, ඔවුන් අත්විඳි අසීමිත වේදනාවත් අතරින් තවත් සිතුවිල්ලක් උපත ලැබුවා.

“අපි වගේ දුකකට මුහුණ දෙන වෙනත් පවුලකටත් අපි මොනවා හරි දෙයක් කළ යුතුයි කියලා තාත්තා කිවුවා..

ඒ අදහස පසුව මෙහෙවරක් බවට පත්වුණා.

ඉන්දිරාගේ මතකය වෙනුවෙන්, පිළිකාව සමඟ සටන් කරන රෝගීන්ටත් ඔවුන්ගේ පවුල්වලටත් සහය වීමේ අරමුණින් Indira Cancer Trust Foundation බිහිවුණේ ඒ මතකයෙනි.

එක් පවුලක වේදනාවෙන් උපන් එම අදහස, තවත් පවුල්වලට ශක්තියක් බෙදන, ආදරය ගෙන දෙන, සැනසීම ගෙනදෙන ගමනක් බවට පත්වුණා.

“නංගි දරුවන්ට පුදුමාකාර ආදරයක් තිබුණා…”

ඉන්දිරා ගැන කතා කරන විට වෛද්‍ය ලංකා නිතරම සිහිපත් කරන දෙයක් තිබෙනවා.

ඒ ඇගේ දරුවන් කෙරෙහි තිබූ අසීමිත ආදරයයි.

“නංගි දරුවන්ට පුදුමාකාර ආදරයක් තිබුණා…”

ඇය ආදරණීය මවක්.

ඒ මව් සෙනෙහසට අමතරව, ඇය තුළ තිබූ කරුණාව, දයාව, අනුකම්පාව සහ අනෙක් මිනිසුන් වෙනුවෙන් යමක් කිරීමට තිබූ කැමැත්ත ඇයගේ චරිතයේ සුවිශේෂී ලක්ෂණ බව ලංකා සිහිපත් කරයි.

ඉන්දිරාට මරණය පිළිබඳ විශාල බියක් තිබූ බවක් පවුලේ අයට මතක නැහැ.

ඇගේ ඡායාරූප දෙස බලන විට අදත් පෙනෙන්නේ එකම දෙයකි.

ඒ සිනහව.

ජීවිතය ඇයට දුෂ්කරම අභියෝග ලබාදුන්නත්, ඇගේ මුහුණේ තිබූ සිනහව මැකී ගියේ නැහැ.

අද ඇගේ 50 වැනි ජන්ම දිනයයි…

ඇය අප අතර නැහැ.

නමුත් සමහර මිනිසුන් මිය යන්නේ නැහැ.

ඔවුන්ගේ ජීවිතය වෙනත් මිනිසුන්ගේ ජීවිතවලට ආදරයක්, බලාපොරොත්තුවක් සහ ශක්තියක් වී ඉතිරි වන නිසා.

ඉන්දිරාගේ ජීවිතයත් එවැන්නක්.

ඇය අහිමි වූ වේදනාවෙන් උපන් Indira Cancer Trust Foundation අද ඇගේ මතකය පමණක් නොවෙයි.

එය පිළිකාව සමඟ සටන් කරන මිනිසුන්ටත්, ඔවුන්ගේ පවුල්වලටත් ශක්තියක් වීමට උත්සාහ කරන මනුෂ්‍යත්වයේ ගමනකි.

ඉතින් ඉන්දිරා…

ඔබ අප අතර නැති වුණත්,

ඔබේ සිනහව තවමත් ජීවමානයි.
ඔබේ ආදරය තවමත් ජීවමානයි.
ඔබේ මතකය තවමත් ජීවමානයි.
ඔබ වෙනුවෙන් උපන් මේ මනුෂ්‍යත්වයට සැනසීම උදාකරන මෙහෙවර මෙලෙස ඉදිරියට යනවා.

ඉතින්… ඔබට මේ පිනම ඇති දෙව්ලොවක ඉපදෙන්න.

අද ඔබේ 50 වැනි ජන්ම දිනය.

ඔබේ පවුලට ඔබව තවත් වරක් මතක් වන දවසක්.

ඔබේ දරුවන්ට, ඔබේ දෙමාපියන්ට, ඔබේ සහෝදර සහෝදරියන්ට, ඔබේ ආදරණීයයන්ට…

ඔබේ සිනහව මතකයට නැගෙන දවසක්.

ඔබ නොසිටියත්,
ඔබේ නමින් සිදුවන සෑම යහපත් දෙයකම
ඔබ තවමත් ජීවත් වෙනවා.

මතකයේ නොමියෙන ඔබයි…
ඒ සිනාසෙන මුහුණ දරාගත්,
දිරියෙන් ජීවිතයට මුහුණ දුන්,
ආදරණීය ඉන්දිරා. ❤

අශන්ති වරුණසූරිය

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න Read Previous

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න Read Next

වාන් දොරටු යළි විවෘත කරයි - වැඩි වන වර්ෂාව ගැන අවදානයෙන් ඉන්න

Realted Post

Leave a comment