මහරහතුන් වැඩ සිටි අරන්කැලේ

 

ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක වටිනා ස්ථාන අපේ රටේ හතර වටේම තිබේ. එවන් ස්ථාන නැරඹීමට ප්‍රිය කරන සංචාරකයෝද සිටින බැවින් මෙවර අප හඳුන්වා දීමට යන්නේ එවන් වැදගත් ස්ථානයකි.


මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් ඉබ්බාගමුව මඩගල්ල මාර්ගයේ කිලෝමීටර් 10 ක් පමණ ගමන් කළ පසු හමුවන කුඹුක්වැව, ගොඩගල හන්දියේ සිට කිලෝමීටර් 3 ක් පමණ ගිය විට හමුවන අරන්කැලේ පුදබිමයි. 


ක්‍රි.ව. 275-301 අනුරාධපුර රජ කළ මහසෙන් රජු කිඹුල්වාන ඔය බැඳීමට පැමිණි අවස්ථාවේ දොලුකන්ද අසල රමණීය වූ තැනක් දැක එහි සංඝාරාමයක් කරවූ බව ඉතිහාසයේ කියැ වේ.  
අරන්කැලේ පුදබිම ඵෙතිහාසික පුරාවිද්‍යාත්මක, ආගමික, වාස්තු විද්‍යාත්මක හා උද්භිද විද්‍යාත්මක වටිනාකම් රාශියකින් සමන්විතය. 


මෙහි තිබෙන පුරාවිද්‍යාත්මක සාධක අතර භික්ෂූන් වහන්සේලාට උණු පැන් දෝවනයට, උණුපැන් සම්බාහනයට, ඖෂධ ගල්වා ස්නානය කිරීම වැනි කටයුතු සඳහා භාවිතා කළ ගොඩනැගිලි තිබේ. ශෛලමය බේසම්, ඇඹරුම් ගල්, ජල භාජන තැබූ ආධාරක, ලිප් ආදිය ද දැකගැනීමට පුළුවන.


මෙහි ලෙන්, සළුපිළි මාලිගය, පොකුණු ආදියද පුරාවිද්‍යාත්මක සාධක ලෙස දැක ගත හැකිය. මෙහි පාංශකූලින භික්ෂූන් වහන්සේලා භාවනායෝගීව විසූ බවද, ක්‍රි. ව. 4 වැනි සියවස සිට 11 වැනි සියවස දක්වා අසන්න ලැබෙයි. පාංශකුලික භික්ෂූන් වහන්සේලාට  සුවිශේෂී තැනක් මෙහි හිමි වී තිබූබව සඳහන් වේ. භික්ෂූන් වහන්සේලා උදෙසා ඉදි වූ ආවාස, පඨානඝර නමින් හඳුන්වා ඇත. 


මෙම පඨානඝර, පිහිටි ගලට හානි නොකර ඒ ගල් ගඩොල් යොදා ගෙන ඉදිකර තිබේ. ඒවායේ ගෙබිම ඇතිරීමට බිත්ති පාදම් සකස් කිරීම හා වහලය දරා සිටීමට ගල් පුවරු හෝ ගල් කණු යොදාගෙන ඇත. එසේම මෙහි සුවිශේෂී ස්ථාන ලෙස වැසිකිළි, කැසිකිළි හඳුන්වාදිය හැකිය. එදා ඉහළ තාක්ෂණයක් යොදා ගෙන ඒවා නිර්මාණය කර ඇත.


අරන්කැලේ පුදබිමෙහි ස්වාභාවික ලෙන් කිහිපයක් දැක ගත හැකිය. ක්‍රි.පූ. 3-2 සියවසේදී භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා මේවා යොදාගෙන ඇත. මෙහි ශෛලමය පොකුණු 03 ක් දැක ගත හැකි ය. මේවා ගල් පුවරු එකිනෙක තබා සකස් කර ඇත. අරන්කැලේ සංකේත සටහන් අතර ගල් කණු ගල් පුවරු හා පිහිටි ගල් මත කොටන ලද මානව රූප සත්ව රූප ද ඇත. 


අරන්කැලේ ස්වාභාවික ලෙන් ද දැක ගත හැකිය. මෙම ලෙන් කටාරම් කොටා ශෛලමය පුවරු යොදා ඉදිකර ඇත. මේවායෙහි බිත්ති ගල් කුට්ටි යොදා නිමකර ඇත. 


දෙපස තිබෙන ප්‍රධාන ඝරලවට පිවිසීමට කොරවක්ගල්, මුරගල්, සඳකඩ පහණ සහිත දොරටු සමග අලංකාර මෙන්ම ශෛලමය පුවරු යොදා සකස් කර ඇත.


අරන්කැලේ ඵෙතිහාසක වටිනාකම් රාශියකින් සමන්විත මෙන්ම ස්වාභාවික සෞන්දර්ය අතින්ද අගයක් සහිත පුදබිමකි. පුදබිම අවට පිහිටා ඇති මඩුකන්ද, දුම්කන්ද මතින් ගලා බසින ජලය තැන්නේ සිහිටි ආරාම වටා ඇති දිය අගල් පෝෂණය කරයි. පොකුණුවලින් උතුරා යන ජලය නැගෙනහිර දිශාවේ පිහිටි ඇහැටු වැවට ගොස් වැඩි ජලය මීගහ ඇළ ඔස්සේ කිඹුලවානා ඔය දක්වා ගලා ගොස් ඇත.


මෙවන් සුවිශේෂී වටිනාකම් බොහොමයකින් සමන්විත වූ අරන්කැලේ පුදබිම ඔබගේ පවුලේ සංචාරය සඳහා වඩාත් වැදගත් වනු නොඅනුමානය.

 

 ශාන් බන්දු වීරසිංහ

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Previous

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා. Read Next

පළවෙනි පාරට කරපු වැඩක්. අපට රඟපාන්න නිදහස හම්බ වුණා.

Realted Post

Leave a comment