රන්වන් පැහැයෙන් දිදුලන සමකට ස්වභාවික සත්කාර හතක්

කාන්තාවන් බොහෝ දෙනකු රන් ආභරණවලට දක්වන කැමැත්තට නොදෙවැනි කැමැත්තක් තම සමේ සුන්දරත්වය රැකගැනීමටත් දක්වනවා. නිරෝගී, පිරිසුදු සහ දීප්තිමත් සමක් කාන්තාවකගේ සුන්දරත්වය තවත් ඔප්නංවනවා. ඒ වෙනුවෙන් මිල අධික රූපලාවණ්‍ය නිෂ්පාදන භාවිත කරන අය අතර ස්වභාවික අමුද්‍රව්‍ය යොදාගෙන නිවසේදීම සත්කාර කරගැනීමට කැමැති පිරිසකුත් සිටිනවා.

කහ, මී පැණි, යෝගට්, කඩල පිටි, ආමන්ඩ් තෙල් සහ සුදු හඳුන් වැනි අමුද්‍රව්‍ය යොදාගෙන සකස් කරගත හැකි සත්කාර කිහිපයක් මෙන්න.

1. වැල්මදට සහ මී පැණි සත්කාරය

වැල්මදට සහ මී පැණි එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. එම මිශ්‍රණය මුහුණේ සහ සිරුරේ ආලේප කර විනාඩි 15-20ක් පමණ තබා මද උණුසුම් ජලයෙන් සෝදා ඉවත් කරන්න.

2. කැරට් සහ යෝගට් සත්කාරය

කැරට් යුෂ සහ යෝගට් හොඳින් මිශ්‍ර කර මුහුණේ ආලේප කරන්න. විනාඩි 15-20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න. කැරට්වල අඩංගු බීටා කැරොටීන් සහ යෝගට්වල ඇති තෙතමනය සමේ සත්කාරයට උපකාරී විය හැකියි.

3. කඩල පිටි සහ කිරි සත්කාරය

කඩල පිටි, කිරි සහ කහ ස්වල්පයක් එකතු කර මිශ්‍රණයක් සාදාගන්න. එය මුහුණේ ආලේප කර වියළුණු පසු ජලය ස්වල්පයක් යොදා මෘදුව සම්බාහනය කර සෝදා හරින්න. සම මතුපිට ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා මෙය භාවිත කළ හැකියි.

4. ආමන්ඩ් තෙල් සහ අමු කහ සත්කාරය

අමු කහ ස්වල්පයක් සමඟ ආමන්ඩ් තෙල් බිංදු කිහිපයක් මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර මෘදුව සම්බාහනය කරන්න. කහ සමහරුන්ගේ සමට අසාත්මිකතා ඇති කළ හැකි බැවින් භාවිතයට පෙර පරීක්ෂා කිරීම වැදගත්.

5. කස්තුරි කහ සහ කිරි සත්කාරය

කස්තුරි කහ, අමු කහ ස්වල්පයක් සහ කිරි එකතු කර මිශ්‍රණයක් සකස් කරගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15-20ක් පමණ තබා පිරිසුදු ජලයෙන් සෝදා හරින්න.

6. සුදු හඳුන් සහ පිපිඤ්ඤා සත්කාරය

සුදු හඳුන් කුඩු සහ පිපිඤ්ඤා යුෂ එකතු කර හොඳින් මිශ්‍ර කරගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15-20ක් පමණ තබා සෝදා හරින්න. පිපිඤ්ඤා සමට සිසිලසක් සහ තෙතමනයක් ලබාදීමට උපකාරී විය හැකියි.

7. කස්තුරි කහ සහ මී පැණි සත්කාරය

කස්තුරි කහ, මී පැණි සහ එළකිරි ස්වල්පයක් එකතු කර මිශ්‍රණයක් සාදාගන්න. එය මුහුණේ ආලේප කර විනාඩි 15ක් පමණ තබා සෝදා හරින්න.

මතක තබාගන්න - ස්වභාවික අමුද්‍රව්‍ය යොදා සකස් කළ පමණින් සෑම ආලේපනයක්ම සියලු දෙනාගේ සමට සුදුසු වන්නේ නැහැ. ඕනෑම සත්කාරයක් භාවිත කිරීමට පෙර සමේ කුඩා ප්‍රදේශයක ආලේප කර පැය 24ක් පමණ නිරීක්ෂණය කරන්න. කැසීම, රතු වීම හෝ දැවිල්ලක් ඇති වුවහොත් භාවිතය නතර කරන්න. සමේ ස්වභාවික පැහැය වෙනස් කිරීමට වඩා එහි නිරෝගී බව සහ ස්වභාවික දීප්තිය රැකගැනීම වැදගත්.

සටහන: මහේෂානි මීගහපොල
උපදෙස්: ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 35 වන සංවත්සරය Read Previous

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය 35 වන සංවත්සරය

වියට්ජෙට් Black Friday Read Next

වියට්ජෙට් Black Friday

Realted Post

Leave a comment