Deodorant නිවැරදිව භාවිත කරමු
දවසම වැඩ කරන විට දහඩිය දැමීම සාමාන්‍ය දෙයක්. ඒත් අත් යට කිහිලිවලට දහඩිය දැමීමත් සමග එයින් දුර්ගන්ධයක් හමන්න පුළුවන්. ඒ නිසා බොහෝදෙනෙක් ඩියෝඩ්‍රන්ට් භාවිත කිරීමට යොමු වෙනවා. ඉතින් අද අපි බලමු කොහොමද නිවැරදිව ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කරන්නේ කියලා. ඒ වගේම දවස පුරාම ඒ සුවඳ රඳවාගන්නේ කියලා.
- මොකක්ද මේ ඩියෝඩ්‍රන්ට් කියන්නේ ?
දහදිය දුගඳ හෝ වෙනත් ශරීර ගන්ධයන් යටපත් කිරීමට හෝ නැති කිරීමට ශරීරයට යොදන ද්‍රව්‍යයක් ලෙස ඩියොඩ්‍රන් හඳුන්වාදෙන්න පුළුවන්. තමන්ගේ ශරීරය ගැනත්, පිරිසුදුකම ගැනත් හිතන ඕනෑම කෙනෙක් අනිවාර්යයෙන්ම භාවිත කරන දෙයක් තමයි ඩියෝඩ්‍රන්ට් කියන්නේ. ඩියෝඩ්‍රන්ට් නිර්මාණය කර ඇත්තේ ශරීරයේ දුර්ගන්ධය වැළැක්වීමට සහ ඔබව සුවඳවත් කිරීමටයි. ඩියෝඩ්‍රන්ට් ඔබේ සමේ ස්වාභාවිකව ඇතිවන බැක්ටීරියා ඉවත් කිරීමට සහ ශරීරයේ අහිතකර ගන්ධයන් ඉවත්කිරීමට උපකාරී කරනවා. දහඩිය නිසා ඇතිවන අප්‍රසන්න දුර්ගන්ධය නිසා අපිටත්, අපි අසල ඉන්න අයටත් අපහසුතාවයක් වෙන්න පුළුවන්. ඒ නිසාම දහඩිය දුර්ගන්ධය පාලනය කරගන්න ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කිරීම වැදගත්.
භාවිත කරන්නේ කොහොමද?
- ස්නානය කිරීමෙන් පසු
දහඩිය දුගඳ ඇතිවෙන්නේ අත් යට එකතු වන බැක්ටීරියා සහ දහඩිය නිසා. ඒ නිසා ඩියෝඩ්‍රන්ට් එකක් ආලේප කරන්න කලින් හොඳින් ස්නානය කර පිරිසුදු වීම ඉතාමත් වැදගත්. පිරිසුදු නොවුණු සම මත ඩියෝඩ්‍රන්ට් ගැල්වුවහොත්, එය දහඩිය සමග මිශ්‍ර වී තද දුගඳක් හැමීමට ඉඩ තියෙනවා. ඒ නිසා සෑමවිටම ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කරන්නේ පිරිසුදු, වියළි අත් යටයි.
- Exfoliate කරන්න
අත් යට සම අපේ වෙනත් සම වගේම මැරුණු සෛල එකතු වන ප්‍රදේශයක්. මේ මැරුණු සෛල නිසා දහඩිය දුගඳ තවත් වැඩිවෙන්න පුළුවන්. මේ නිසා සතියට දෙවතාවක් වගේ මෘදු Exfoliation එකක් කර අත් යට පිරිසුදු කරගන්න. අත් යට සම ඉතා සංවේදී නිසා මෘදු නිෂ්පාදන භාවිත කිරීම ඉතා වැදගත් වෙනවා.
- නිවැරදිව ආලේප කරන්න
ස්නානය කිරීමෙන් පසු අත් යට සම්පූර්ණයෙන්ම වියලුණු පසු ඩියෝඩ්‍රන්ට් එක ආලේප කරන්න. අත් යට ප්‍රදේශය පුරා සමානව ඩියෝඩ්‍රන්ට් ආලේප කරන්න. විනාඩියක පමණ කාලයක් එහෙමම තබන්න. එමගින් සුවඳ දිගු කාලයක් රඳවා තබන්න පුළුවන්.
- අනවශ්‍ය රෝම ඉවත් කරන්න
අත් යට රෝමවලට සුවඳ සහ දහඩිය තදින් අල්ලාගන්න පුළුවන්. ඒ නිසා ඩියෝඩ්‍රන්ට් භාවිත කරනවා නම්, අත් යට අනවශ්‍ය රෝම ඉවත් කර තබාගැනීම ඉතා හොඳයි. එසේ නොමැති වුවහොත් ඩියෝඩ්‍රන්ට් එකෙන් ලැබෙන ප්‍රතිඵල අඩුවෙන්න පුළුවන්.
- මෘදු සුවඳක් තෝරාගන්න
ඉතා සැර සුවඳ තියෙන ඩියෝඩ්‍රන්ට්වලට වඩා සෞම්‍ය, මෘදු සුවඳක් තෝරාගන්න. ඒ වගේම හොඳ වෙළෙඳ නාමයක් සහිත නිෂ්පාදනයක් වීමත් වැදගත්. ‘සුවඳ’ කියන්නේ ඔබේ පෞරුෂයේ කොටසක්. ඒ සුවඳ අන් අයට අප්‍රසන්න දෙයක් නොවීමට නම්, දහඩිය දුගඳ නිවැරදිව පාලනය කරගන්න ඩියෝඩ්‍රන්ට් එකක් භාවිත කිරීම අත්‍යවශ්‍යයි.
- ඩියෝඩ්‍රන්ට් භාවිත කිරීම සුදුසුද?
ඩියෝඩ්‍රන්ට් මගින් අසාත්මිකතාද ඇති විය හැකියි. විශේෂයෙන් ඔබේ සම කැඩී ඇත්නම් හෝ මෑතකදී වැක්ස් කර ඇත්නම් ඩියෝඩ්‍රන්ට් භාවිත කරන විට එය දැවිල්ලට ලක්වෙනවා.
ඩියොඩ්‍රන් භාවිත කිරීමට පෙර එලෙස අධික ලෙස දහඩිය දමන්නේ ඇයිද යන්න සොයා බැලීම වඩාත් සුදුසු වෙනවා.
ඒ වගේම සෑම ඩියෝඩ්‍රන්ට් එකක්ම දිනපතා ආලේප කරන්න අවශ්‍ය නැහැ. සමහර ඩියෝඩ්‍රන්ට් වර්ග ආලේප කළාම එහි ප්‍රතිඵලය පැය 48ක් පමණ තියෙනවා. මේ බව ලේබලයේ සටහන් වෙලා තියෙනවා.
ඩියෝඩ්‍රන්ට් භාවිත කිරීමෙන් සමේ තෙතමනය අඩු වෙලා යනවා. මේ නිසා මොයිස්චරයිස් ආලේප කිරීමෙන්, ස්වාභාවික සත්කාරකවලට යොමු වීමෙන් සමෙහි තෙතමනය නැවත ලබාගැනීමට උත්සාහ කරන්න. රාත්‍රී නිදාගැනීමට පෙර පොල්තෙල් හෝ ඔලිව්තෙල් ආලේප කර නින්දට යන්න.
- නිවසේදී දහඩිය දුගඳ වළක්වා ගැනීමට කළහැකි දෑ මොනවාද?
ඇපල් සයිඩර් විනාකිරි
ඇපල් සයිඩර් විනාකිරි කෝප්ප 1ක් ගෙන වතුර කෝප්ප 1/2 ක් සමග මිශ්‍රකරන්න. එය ඉසින බෝතලයකට දමා සෑම රාත්‍රියකම නින්දට පෙර අත් යටට භාවිත කරන්න. එය උදෑසන මඳ උණුසුම් ජලය මගින් සෝදා ඉවත් කරන්න.
අර්තාපල්
අර්තාපල් තුනී පෙති කපා විනාඩි 30ක් අත් යට අතුල්ලන්න. එය වතුරෙන් සෝදන්න. ඔබේ අත් යට දහඩිය දුගඳ පහව යනු ඇත.
බේකින් සෝඩා ලෙමන් සමග
බේකිං සෝඩා මේසහැඳි දෙකක් ගෙන ලෙමන් යුෂ මේසහැන්දක් සමග මිශ්‍ර කරන්න. පේස්ට් එකක් හදන්න. මිනිත්තු 10ක් රවුම් චලිතයකින් මිශ්‍රණය ඔබේ අත් යට සම්බාහනය කරන්න. වතුරෙන් සෝදාහරින්න.
තක්කාලි යුෂ
ලෙමන් යුෂ සමග තක්කාලි යුෂ මිශ්‍ර කරන්න. මිශ්‍රණය විනාඩි 10ක් කිහිල්ල වටා ආලේප කර සීතල වතුරෙන් සෝදාහරින්න.
මෙවැනි ස්වාභාවික ක්‍රම මගිනුත් දහඩිය දුගඳ නැති කරගන්න පුළුවන්.
- අදහස් දැක්වීම
- ප්‍රවීණ රූපලාවන්‍ය සහ කේශලාවන්‍ය ශිල්පිනී ඉමාලි චතුරිකා
- සහශ්‍රිකා දයානන්ද


Leave a comment