කොටි කටේ මායිම් ගමකින් ලෝකය අල්ලන්න දිරිගත් Udeni Kumudumali

විශ්වවිද්‍යාල උපාධි ප්‍රධානෝත්සවයකදී අට වතාවක් වේදිකාවට නැග රන් පදක්කම්, සම්මාන දිනාගනිමින් දක්ෂතම ශිෂ්‍යාව ලෙස කිරුළු දරන්නට හැකිනම් එය අතිශය විරල අවස්ථාවකි. ජීවිතයේ මුහුණ දුන් අනේකවිද දුක්ඛ දෝමනස්සයන් අතරින් සිනාසී නැවුම් මඟක් ඔස්සේ පියවර තබන්නී ඇයයි. පේරාදෙණිය සරසවිය පමණක් නොව සමස්ත සරසවි ඉතිහාසයේම නමක් තබන්නට සමත් වූ ඇය උදේනි කුමුදුමලී ය. මෙවර සිරිකත ’ඇය’ වෙන්වන්නේ ඇයට ය.

  • මායිම් ගමේ ගෙවුණු ළමා කාලය 

ළමාවිය ගෙවෙන්නෙ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සේරුනුවර කියන මායිම් ගමේ. තාත්තා මේසන් වැඩ කළේ. දැන්නම් කොන්ත්‍රාත් අරගෙන වැඩ කරනවා. අම්මා පොඩි කඩ කෑල්ලක් කළා. මට හිටියෙ නංගියි මල්ලියි. ඉපදුණු දවසේ ඉඳලම වැඩිපුර ඇහුණෙ වෙඩි,බෝම්බ හඬ තමයි. එල්.ටී.ටී. ඊ. කරදර ඉහළින්ම තිබුණු ගමක්. රෑට නිදාගන්න යන්නෙ නැගිටලා දුවන්න බලාගෙන. ඉස්කෝලෙ දෙමහල් ශාලාව යට, ගෙදර ලිප ගාව තිබුණු පෝරණුව යට රිංගලා හිටිය වාර අනන්තයි. ඒ කාලෙ මාස ගණන් ඉස්කෝල වහලා තියෙනවා. අපි කඳවුරුවල පවා ඉඳලා තියෙනවා. කල්දේරම්වල උයන බත් කන්න පෝලිමේ ගිය  හැටි අදටත් හීනයක් වගේ. මගේ ළමාවිය, යොවුන් විය ගෙවෙන්නේ මේ විදියට. අදටත් හමුදාවෙ විරුවන්ට පුදුම ගෞරවයක්, ආදරයක් තියෙන්නෙ. අපි ජීවත් වුණේ මරණය අතේ තියාගෙන. අද මේ හැම දෙයක්ම ලබන්නේ ජීවිතය ඉතිරිවුණු නිසා. එහෙම ගෙවපු ළමා කාලෙ එක හීනයකුත් හිතේ තිබුණා. එ්‍ තමයි කවදාහරි දවසක විද්‍යාඥයෙක් වෙනවා කියන එක. ඒ වචනයත් මම කොහෙන්හරි අල්ලගත්ත එකක්.

  • කටුක පාසල් කාලයක් 

ඉස්කෝලෙ ගියේ මහවැලිගම නවෝද්‍යා පාසලට. මම ශිෂ්‍යත්වයත් සමත් වෙනවා. නමුත් සාමාන්‍ය පෙළ වෙනකම්ම ඒ පාසලේ ඉන්නවා. සා. පෙළ ඒ අටයි බී එකයි. පාසලේදි නම් නොකරපු දෙයක් නෑ. සංගීතය, නැටුම්, ක්‍රීඩා මේ හැම එකකටම මම දක්ෂතා පෙන්නුවා. ඒ වගේම තමයි අපේ අම්මයි තාත්තයි මට උගන්වන්න පුදුම දුකක් වින්ද දෙන්නෙක්. අම්මගෙ හීනෙ වුණේ මාව දොස්තර කෙනෙක් කරන්න. මම ඒ නිසාම තමයි විද්‍යා විෂයන් හදාරන්නෙ. ඒ කන්තලේ අග්‍රබෝධි ජාතික පාසලෙන්. ගෙදර ඉඳන් කිලෝමීටර් හැටක් විතර පාසලට දුරයි. ඒ කාලෙ අපි ආර්ථිකය අතින් පහළම අඩියක හිටියෙ. මට ටියුෂන් හීනයක් වෙලා තිබුණෙ. ඒත් මම පැරදෙන්න කැමති නැති කෙනෙක්. ටිකක් හිතුවක්කාරයි. ඒ නිසා මට දැනෙනවා පළවැනි පාර විභාගය කළොත් අසමත් වෙනවා කියලා. ඒ නිසා මම විභාගය ලියන්නෙ නැහැ.

  • ඊට පස්සෙ

ගමෙන්, නෑදයන්ගෙන් හැම තැනින්ම මට එන්නෙ දොස්. ගොඩක් අය හිනාවෙනවා. මම දෙවැනි පාර විභාගය කරන්න කුරුණෑගල බෝඩිමකට යනවා. ඒ වෙද්දිත් මම මගේ වියදම හොයාගන්න ෆාමසිවල වැඩ කළා. එහෙම සල්ලි හොයාගෙන පන්ති ගියා. නමුත් දෙවැනි පාරත් මට වෛද්‍ය පීඨයට යන්න බැරිවෙනවා. ප්‍රතිඵල ඒ, බී.සී තියෙන්නෙ. පුදුම දුකක් දැනෙනවා ඒ වෙලාවෙ.එහෙම අවුරුදු දෙකක් කළත් මට වෛද්‍ය පීඨයට යන්න බැරිවෙනවා. එ් වෙලාවෙ මට එක තැනකදි හිතෙනවා දැන් ඇති කියලා. ඒ ඔක්කොම අල්ලලා දාලා ඖෂධවේදී පාඨමාලාව හදාරනවා. මට හිතෙනවා ඒක හොඳම මාර්ගය වෙයි කියලා.නමුත් ඒක තමයි ජීවිතේ වෙනස් කරන්නෙත්.

  • ජීවිතය වෙනස් කළ වෛද්‍යවරයා

  •  

මම වෛද්‍යවරයකුට අයත් ෆාමසියක වැඩට යනවා. ඔහු මගෙන් ඉස්සෙල්ලම අහන්නෙ බැඳලද කියලා. ඒ අපේ ගම්පළාත්වල අඩු වයසෙන්ම කසාද බඳින පිරිස් වැඩියිනෙ. මම මගේ ප්‍රතිඵල කියද්දි ඔහු ඔළුවෙ අත ගහගන්නවා. රස්සාව දෙන්න බෑ ෆාමසිය පැත්ත පළාතෙ ආවොත් එළවනවා කියනවා. අපේ ගෙදරටත් කතා කරනවා. කොහොමහරි දොස්තර කෙනෙක් වෙන්න කියන්නෙ ඔහු. මට සල්ලිත් දෙනවා ටියුෂන් යන්න. මම ආයෙත් නුවර ඇවිත් බෝඩිමක ඉඳන් පන්ති යනවා. රෑ එළිවෙනකම් පාඩම් කරනවා. ඒත් වෛද්‍ය පීඨය මට හීනයක් ම තමයි. මම තේරෙන්නෙ පශු වෛද්‍ය පීඨයට. මම හිත හදාගෙන විශ්වවිද්‍යාලයට එනවා. පේරාදෙණියට. මට අදටත් මතකයි අපේ අම්මා අහනවා පුතේ දැන් දොස්තර නළාවකුත් දානවද කියලා. අම්මලා හීන දැක්කෙ එහෙම. මේ වෙද්දි මගේ යාළුවො ගොඩදෙනෙක් වෛද්‍ය, ඉංජිනේරු පීඨවල. මම හිත හදාගන්නවා දොස්තර වුණොත් ඒක විතරයි කියලා. මොකද මට ඒ වෙද්දි ඖෂධවේදී බලපත්‍රයත් ලැබිලා තිබුණෙ.

  • සරසවි ජීවිතය 

වෛද්‍ය පීඨය දිහා බල බලා පශු වෛද්‍ය පීඨයට යනවා. නමුත් මම අරමුණක් තියාගන්නවා මේක හදාරලා කථිකාචාර්යවරියක් , මහාචාර්යවරියක් වෙනවා කියලා. ඒකට මග පෙන්වන්නෙ, කියාදෙන්නෙ රුමේෂා සිරිවර්ධන අක්කා, වෛද්‍ය ඩිලාන් සතරසිංහ, වෛද්‍ය නිරෝමි ජයසේකර  වැනි ගුරුවරුන්. ඔවුන් තමයි මේ ක්ෂේත්‍රය තුළ යා හැකි දුර පෙන්වන්නෙ. මම බෝඩිමේ බිත්ති පුරා කොළ අලවගෙන, රෑ නිදිමරාගෙන වැඩ කරනවා බලාපොරොත්තු තියාගෙන. කොහොමහරි වසර තුනේදිම බැජ් ටොප් වෙනවා. රන් පදක්කම් දිනනවා. එතැනදි තමයි අරමුණක් එන්නෙ අවසන් වසරෙදිත් කොහොමහරි මේ දේවල් දිනාගන්නවා කියලා.

  • හැම දවසක්ම අභියෝගයක් 

මම ගමක නිසා ගොඩක් දෙනෙක් හිනාවුණා. එකම වයසෙ ගැහැනු ළමයි පවා මට හිනාවුණා. මට මුල් දවස්වල ඉංග්‍රීසි බැහැ. ඒත් මම ඉස්සරහම වාඩිවෙලා වැරදි වැරදි හරි උත්තර දෙනවා. බැරි දේවල් කොහොමහරි ජයගන්න මට පුදුම ඕනකමක් තිබුණෙ. මේ කාලෙ පුදුම කැපිලි කෙටිලි ටිකක් තිබුණා ඒ නිසාම. සමහර විවේචන දරාගන්න බැරිතරම්. ඇතැම් නවක කථිකාචාර්යවරුන් පවා වෙනස්කම් කළා. මම අවසන් අවුරුද්ද වෙනකොට විශ්වවිද්‍යාලය ඇතුළෙ හිටියෙ අඳ ගොළු බිහිරි ශිෂ්‍යාවක් වගේ. ඒත් මම එක අධිෂ්ඨානයකින් හිටියා. ඒත් වැටුණු තැන් නැත්තෙ නෑ.

  • වැටුණු තැන් අනන්තයි 

මගේ පෙම්වතා මාව අතහැර ගියා. ඒක බොහොම දරුණු ප්‍රතික්ෂේප කිරීමක්. ඔහුගේ මවුපියන්ගේ කීමට වූ දෙයක්.මම ගමක වගේම ඔවුන්ගේ තරාතිරමට නොගැළපෙනවා කියා. ඒ හැම දෙයක්ම දරාගෙන තමයි අවසන් වසරේ විභාගයට මුහුණ දෙන්නෙ. හිත හදාගත්තෙ දළදා මාලිගාවෙ, ගැටඹෙ පන්සලේ පැය ගණන් ගතකරලා. ජීවිතේ අතහරින්න හිතුණු තැන් තිබුණා. ආයෙත් මුල ඉඳලා කල්පනා කළාම හිතුණෙ එල්.ටී.ටී.ඊ.යෙනුත් ජීවිතේ බේරාගත්තා නම් මේ දේවල් මොනවද කියලා. එහෙම හිතලා වැඩ කළා. අවසන් වසරෙ උපාධිය දිනා ගන්නෙ හොඳම ශිෂ්‍යාව ලෙස රන් පදක්කම් අටක්, සම්මාන තුනක් එක්ක.

  • මුල්ම රැකියාව සරසවියෙන්මයි 

විශ්ව විද්‍යාලයේම සහකාර කථිකාචාර්යවරියක් ලෙස වැඩ කරන්න ලැබෙනවා. පහුගිය කාලවල ලැබුණු ජයග්‍රහණ එක්ක මුදල් තෑගි, ශිෂ්‍යත්ව ලැබුණා. මම ඒවා පරෙස්සමෙන් පරිහරණය කළා. ඇත්තටම සතයක්වත් අතේ නැතිව කැම්පස් ආව මම එතැනින්ම හම්බකරගත්තා. ගලහ පාර අයිනෙ සපත්තු මහන මාමා ගාවට ගිහින් එකම සෙරෙප්පු දෙක දහ දොළොස් වතාවක් මහගෙන පාවිච්චි කරපු මට සරසවියෙන් පිටවෙද්දි ඕනෑම සාප්පුවකින් දෙයක් මිලට ගන්න පුළුවන්කම තිබුණා. ඒ මගේ උත්සාහය කියලයි මට හිතෙන්නෙ. ඒ ආව ගමන මේ වෙද්දි ඇමරිකාවේ හොඳම සරසවියක් දක්වාම ඇවිත් තියෙනවා. එයත් ශිෂ්‍යත්වයක්.

  • ඔබ ඔබම වෙන්න

ගොඩක් අයට පේන්නේ මගේ කරේ එදා තිබුණු පදක්කම් ටිකයි මම ආව තැනයි විතරයි. නමුත් මගේ ජීවිතයෙන් ගන්න ඕන ඒවා නෙමෙයි. අභියෝග මැදින් මම එතැනට පැමිණි ගමන. ඒ නිසයි මම අනිත් පරම්පරාවට හැම වෙලාවෙම කියන්නේ තමන්ට ස්ථිර අරමුණක් තියෙනවා නම් දැක්මක් තියෙනවානම් ඒ අරමුණෙන්ම වැඩ කරන්න. කැපවෙන්න. තමාට තමා පමණක් විශ්වාස කරන්න. තමන්ට ආදරය කරන්න. කවදාවත් වරදින්නෙ නෑ. මගේ ජීවිතේ අඩුපාඩු මමමයි හදාගත්තේ. එදා ඉංග්‍රීසි බැරිවුණ මම අද ඇමරිකානු ජාතිකයන් එක්ක හරි හරියට ඉංග්‍රීසියෙන් ගනුදෙනු කරනවා. ඒ මම ඉගෙනගත් නිසා.
ඒ වගේම තමයි කිසිම දෙයක් මවුපියන්ගෙන් ඉල්ලන්න පුරුදු වෙන්න එපා. අද ළමයෙක් උපදින්නෙම ඉල්ලගෙන. මම පළමුවැනි පාර දෙවැනි පාර විභාගෙ අසමත් වෙනකොට අපේ අම්මයි තාත්තයි කිව්වා අනේ පුතේ දැන්නම් ඇති. තවත් වියදම් කරන්නෙ කොහොමද කියලා. ඇත්තටම එයාලට තවත් දුක් විඳින්න බැහැ. ඒ වෙලාවෙ මම ෆාමසිවල රස්සා කරලා තමයි බෝඩිම්වලට ගෙවාගෙන ඉගෙනගත්තේ. ඒ විශ්වාසයයි වැදගත්.

  • ආචාරය සමග ආදරය

අම්මටයි තාත්තටයි හදවතින්ම ස්තූතිවන්ත වෙනවා මම මලක් වගේ හැදුවෙ නැතිවුණාට. යුවතියක් විදියට පාරට බහිද්දි නොයෙක් ප්‍රශ්න තිබුණා. හැබැයි මම බයවුණේ නෑ. පන්ති ගිහින් එද්දි බස්වල පැය ගණන් ඉන්න වෙනවා. මගේ කට වගේම අත පයත් පාවිච්චි කරපු තැන් ඕන තරම්. බෝඩිම් හොයාගෙන යද්දි වුණත් අම්මා තාත්තා පස්සෙන් ආවෙ නෑ. මම තනියම හැමදේම කර ගත්තෙ. එ් අය මාව විශ්වාස කරපු එකම ඇති. දිරිගන්වපු, හයියට හිටපු වගේම කකුලෙන් ඇදපු, වට්ටපු හැමෝටම මම අදටත් ආදරෙයි. ඒ හැම දෙයක්ම තිබුණෙ නැත්නම් මම අද මෙතන නොවෙන්න තිබුණා. මම මගේ අඩුපාඩු දැනගෙන හදාගත්තා මිසක් මම කවදාවත් අනුන්ගෙ අඩුපාඩු හෙව්වෙ නෑ.

  • බලාපොරොත්තු ගොන්නක්

ඇමරිකාවට ඇවිත් කෙටි කාලයයි. ගොඩක් දේවල් කරන්න හීන අදටත් තිබෙනවා. අපේ රටේ ඈත පළාත්වල මායිම් ගම්මානවල දක්ෂ අහිංසක දරුවො අනන්තවත් ඉන්නවා. ඒ දරුවන්ට මග පෙන්නලා මේ ලෝකයට විවර කරන්න පුළුවන් නම්. මම අදටත් හීන දකින්නෙ ඒකට.

 

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව.... Read Previous

පුංචි පැටවුන්ගේ සිනහව ගින්නෙන් දවාලූ තායිලන්තයේ කඳුලු කතාව....

IMF නියෝජිතයන් අගමැති හමුවෙයි. Read Next

IMF නියෝජිතයන් අගමැති හමුවෙයි.

Realted Post

Leave a comment