දොස් තොර කළ එංගලන්තෙ වෛද්‍යවරිය -

වත්තල ශ.ආනා බාලිකා මහා විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්වීතීක අධ්‍යාපනය ලබා කැලණිය විශ්ව විද්‍යාලය, රාගම වෛද්‍ය පිඨය  12 වන කණ්ඩායමෙන් තම වෛද්‍ය විද්‍යා උපාධිය (MBBS/ MRCP) සම්පූර්ණ කළ  ඇනස්ටා නිරෝෂිනී විජේසිංහ වෛද්‍යතුමිය ශ්‍රී ලංකාවේ පැවති එල්.ටී.ටී යුධ සමයේදී ජාතිකත්ව නොතකා සේවය කළ වීර කාන්තාවකි. පසුකාලීනව ඕමාන් හි වෛද්‍යවරියක් වශයෙන් මුස්ලිම් ජාතිකයින්ට ද සේවය කළ ඇය වත්මන එංගලන්තයේ බැසිල්ඩන් ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ (Specialty Doctor) වෛද්‍යවරියක් වශයෙන් කටයුතු කරන්නීය. ඇය කිවිඳියක් වීම තවත් විශේෂත්වයකි. සොඳුරු සිත් ඇති මිනිසුන් ලොවම සුවපත් කරන්නේය. ඉතින් අද සිරිකත මෙම කතා බහ ඒ සොඳුරු සිතැත්තිය සමගිනි.

  • මුලින්ම ඔබේ පවුලේ විස්තර සහ රැකියාව ගැන සඳහන් කිරීමක් කළ හැකි ද?

මම ගෙදර 4 වෙනියා බඩපිස්සි...අයියලා දෙන්නයි අම්මා වගේ අක්කයි. ලොකු අයියයි කලාවට සම්බන්ධයි. සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක කෙනෙකු වන ප්‍රියන්ත විජේසිංහ පොඩි අයියා, ආචාර්ය ප්‍රසන්න විජේසිංහ (අධ්‍යාපනය සම්බන්ධ  ව්‍යාපාරිකයෙක්. අක්කා ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙදියක්. ආදරණීය අම්මා තෙරෙස් විජේසිංහ. තාත්තා බෙනඩික් විජේසිංහ. මම විවාහ වෙලා ඉන්නෙ මයිකල් සුරාජ් එක්ක. ඔහු ව්‍යාපාරිකයෙක්, ආදරණීය සැමියෙක්. අපිට පුතාලා දෙන්නෙක් ඉන්නවා  සොරූශ් (16) සහ ශලෝම් (13). 
ඉපදුණු ගම ගම්පහ දිස්ත්‍රික්කයේ කඩවත. පහළ කරගහමුණ.
දැනට පදිංචිය එංගලන්තයේ, බැසිල්ඩන් නගරයේ.
වෘත්තියෙන් වෛද්‍යවරියක්. 

  • ඔබ වෛද්‍යවරියක වශයෙන් ශ්‍රී ලංකාව තුළ සේවය කර තිබෙනවාද? එසේ නම් ඔබ සේවය කළ රෝහල සහ ඔබගේ කාර්යභාරය ගැන පුංචි හැඳින්වීමක් කළොත්?

ඇත්තෙන්ම ඔව්. මට මතක් වෙන්නෙ පළවෙනි පත්වීම පුංචි දොස්තරවරියක් ලෙස සීමාවාසික වෛද්‍ය සේවයට යන්න වුණේ පොළොන්නරුවට. පළවෙනි දවසෙම තාත්තා ලොකු අවවාදයක් දුන්නා අද වගේ මතකයි. ඒ තමයි "චූටි දෝණි ඔයා කවදාවත් දොස්තර කෙනෙක් වෙන්න එපා "දොස් තොර" කෙනෙක් වෙන්න" කියලා.
අදටත් එහෙම ඉන්න උත්සහා කරනවා. ඊට පස්සෙ තමයි වෛද්‍ය  ජීවිතයට සමාජීයව, මානසිකව, අාධ්‍යාත්මිකව හා ශාරීරිකව පන්නරය ලබන්නෙ. එහි ආරම්භය සෙට්ටිකුලම. තිස් වසරක යුද්ධය නිමාවෙලා රට තුළම අවතැන් වූ අයගේ වෛද්‍ය සේවයට ගිය මට මෙතෙක් මිහිපිට ලබාගත් විශාලතම දැනුම්, ගැඟුම් සම්භාරයේ ලොකුම කොටස ලැබුණා. දමිළ බස කථා කරන්න ඉගෙන ගන්න  වුණා. ගහක් යට කූඩාරමක ලෙඩ්ඩු බැලුවා. තව ‍ෙගාඩාක් දේ මතකයටත් ජීවිතයටත් එකතු වුණා. 
ජීවිතයේ වරක් පමණක් ලබන උපහාර පදක්කමක් පවා ඒ සේවය වෙනුවෙන් ලැබුණා.

  • ඊලඟ  සේවා නවාතැන

දිගන පුනරුත්ථාපන රෝහල. දිගන කියන්නෙ මගේ හිත ශ්‍රී  ලංකාවේ නතර කරපු තැන. එකම පවුලක් වගේ දුක සැප සතුට මුසු කාල පරිච්ඡේදයයක්. එහි සිටි කාලය තුළ අදටත් ඉතිරි වූ ආදරණීය සේවා ලාබීන් ඉන්නවා. 
නේවාසික රෝගීන්ට අපි එකතු වෙලා චිත්‍රපට පෙන්නුවා. විශේෂ අවශ්‍යතා ඇති දරුවන් වෙනුවෙන් විවිධ ප්‍රසංග පැවැත්වූවා. රෝහලේ ප්‍රදර්ශනයක් පැවැත්වූවා. මේ හැම දෙයක්ම හැමොම එකා වගේ වෘත්තියට අමතරව කළ කැපකිරීම්. 
ඉන්  පස්සෙ  මැද පෙරදිග ඕමාන් රාජ්‍යයේ වසර 5කට අධික කාලයක් යුධ හමුදා රෝහලට අනුයුක්තව වැඩ කළා. උතුරු කරේ හින්දු භක්තිකයනුත් දිගන ‍ෙබෟද්ධ වටපිටාවත් මැද පෙරදිග ඉස්ලාම් බැත්මතුනුත් මට එක වගේමයි 
සියලු සංස්කෘතීන් වල වැඩ කරලා අවසානයේ දැන් නතර වුණේ එංගලන්තයේ බැසිල්ඩන් ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ. මම හැම තැනකම සතුටින්, මගේ රෝහල් ජීවිතය ගත කරනවා.

  • ඔබ ලංකාවේ සේවය කළ වෛද්‍යවරියක් වශයෙන් මුහුණ දුන් අමතක නොවන අත්දැකීමක් කිව හැකිද?

අත්දැකීම් එමටයි බොහොමයක් අමතක නොවන මතක.
දෙවනියා හම්බවෙන්නෙ ඉන්නකොට පුතාට අන්දවන්න කියලා මගේ කූඩාරම් ඉස්පිරිතාලෙ හිටපු දමිළ ආදරණීයන් ගවුමක් මහලා දුන්නා. මම මහපු සිනිඳු සුසිනිඳු යැයි සම්මත සියල්ල අබිබවා මගේ පුතු පැටියාට මුලින්ම ඇන්ඳුවේ ඒ ගවුම. ඒකෙ දරුවෙක්ට ජීවිතය පටන් ගන්න ඕනෙ හැමදේම තිබ්බා. සාමුහික මැස්මක් නිසා ආදරයද වෙනත් ජාතියක් නිසා සංහිඳියාවද ටිකක් ගොරෝසු නිසා පන්නරයද මහපු මල් නිසා සුන්දරත්වය ද නොඅඩුව තිබුණා. ඒක අදටත් පුතාට හම්බවෙච්ච වටිනාම තෑග්ගක්. 

  • මා දන්නා අයුරින් ඔබ කිවිඳියක්. වෛද්‍යවරියක් වන ඔබ කොහොමද  සාහිත්‍යකරණයට පිවිසෙන්නේ?

වෛද්‍ය කියන්නෙ මගෙ වෘත්තීය. කවිය කියන්නෙ ජීවිතය.
පුංචි කාලේ තාත්තාට කියලා මොනවා හරි ගන්න ඕනෙ වුණාම  පඩි දවසට කවියකින් ලියලා ඒක ඉල්ලනවා. අපේ තාත්තාටත් කවි ලියන්න පුලුවන්  ඉතිං මගේ ඉල්ලීම දෙයියනේ කියලා ඉෂ්ට සිද්ධ වෙනවා. නේවාසිකාගාරයේ හිටිය පොඩි අයියට කවියෙන් කෝපි කඩේ ටෙලි නාට්‍ය ලියලා යවනවා. ගමේ විත්ති ලියනවා. අයියාගෙනුත්, තාත්තා ඉන්නකල් තාත්තාගෙනුත්, කවි ලියුම් ලැබෙනවා. ඔහොම තමයි කවි ලියන්න පටන් ගන්නෙ. පාසලේ වෛද්‍ය විද්‍යාලයේ පොඩි පොඩි කවි ලිව්වා. පාඩම් කරලා මහන්සියට, හිතට දැණුනු තැන් වල, සුරාජ්ටත් කවි ලිව්වා ඒවා ඉතිං මටම තෙරුම් කරන්න වුණා ආයෙමත්. ඒත් මම කවි ලියනවට වැඩියෙන්ම  කැමති වුණේ තාත්තා වගේම සුරාජ්.
මා තුළ යම් සුන්දරත්වයක් ඇතිද, එය කවි ලිවීම නිසා බව ඔහු නිතර කියමින් මාව දිරිගැන්වූවා. අදටත් මම මොනවා හරි ලියනවානම් එයා තමයි වැඩියෙන් සතුටුවෙන්නෙ. ඔහොම ඉඳලා, බැඳලා අවුරුදු 15කට පස්සෙ එයාගේ පළවෙනි කවියත් එයා අතින් ලියවුණා. මොන විභාග තිබුණත් කවියක් ලියන්න හිතුනොත් ලියනවා. බස් ටිකට් වල, සටහන් පොත් වල විතරක් නෙවේ සත්ත්ව විද්‍යාව පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉවර වෙලාත් නිසදැසක් ලිව්වා විභාගය වෙලාවේම.
ඉතිං මම මගේ හිත සතුටු කරන ඔසුව කවිය. මම මටම ලියාගන්න බෙහෙත තමයි ඒ.

  • ඔබ කවි කලාව පැත්තෙන් ශ්‍රී ලංකාව තුළ දායකත්වය දක්වන පුවත්පත්, සඟරා හෝ අන්තර්ජාල වෙබ් අඩවි තිබේද?

කොච්චර කුරුටු ගගා කවි ලිව්වත් පාසල් කාලයේ මගේ කවි දැක්කෙ මගේ යාළුවො විතරයි. ඊට පස්සෙ කියලත් ලොකු වෙනසක් නෑ, ළඟම යාළු - මාළු හතර පස් දෙනෙක් තමයි මගෙ කවි රස වින්දෙ. තරග වලට ගිහිල්ලාම නෑ.
පත්තරේකට දාලම නෑ. මුහුණු පොත ආවහම ඉඳලා හිටලා කවියක් දැම්මා. ඔය අතර 'ශ්‍යාම් අයියා (වෛද්‍ය ශ්‍යාම කුමාර මුණසිංහ). අනුර හෑගොඩ' මහත්මයා සම්පාදනය කරන ලන්ඩන් කවි හඳුන්වා දුන්නා. 2021 පෙබරවාරි කලාපයේ තමයි මගෙ පළවෙනි කවිය පොදු තැනක ලියවෙන්නෙ. ඒ ලන්ඩන් කවි ඊ සඟරාවෙ. එදා ඉඳලා අද වෙනකල් නොකඩවා මාස් පතා මගේ කවියක් එහි පළ වෙනවා.

  • ඉතින් ඔබ, ඔබටම කියා කවි පොතක් කිරීමට බලාපොරොත්තුවක් නැද්ද?

මගේ නමට නම් තාම කවි පොතක් නෑ. ඒත් 'ආචාර්ය නිමල් සේදර' මහතා සංස්කරණය කළ 'සංකලන සහ මකරන්ද' යන කවි පොත් වලට සතුටින් දායක වුණා. බලමු ඉස්සරහට.
ලංකාව, ඕමානය, එංගලන්තය කියන විවිධාකාර සංස්කෘතික හා සමාජීය පසුබිම් තුනක ගැටෙන්නට වීම නිසා මට කුල - මල,  ආගම් භේද කිසිත් නෑ. ඒ අත්දැකීම් පුංචි. පුංචි කතා විදිහට ලියලා තියනවා. කැමැත්තක් තියනවා පොඩි පොත් පිංචකට. 

  • වෛද්‍ය වෘත්තිය වැනි හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍රයක සිටින ඔබ වැනි කෙනෙකුට  සාහිත්‍යකරණයේ යෙදීම අපහසු කටයුත්තක් නොවේද?

වෛද්‍ය ක්ෂේත්‍රය හාත්පසින් වෙනස් කියන මතයට මම ටිකක් විරුද්ධයි. මේ වෘත්තිය මානව සම්බන්ධතා හැඟීම් හදවතටම දැනෙන රැකියාවන්ගෙන් එකක්. මාසෙ අන්තිමට පඩිත් ගෙවලා තව කවි විතරක් නෙවෙයි ලියන්න බොහෝ වස්තු බීජ සොයා දෙන කදිම තෝතැන්නක්. 
අපි වෛද්‍ය වරියන් 14 දෙනෙක් එකතු වෙලා කතාවක් ලියනවා වෙබ් පිටුවක 'Team One Book'  කියලා. ඒ වගේම වෛද්‍ය වෘත්තීය තුළ ලියන කියන අය බොහෝ ඉන්නවා.
සාහිත්‍ය කියන්නෙ වෘත්තීයක් නෙවේ ජීවිතය  වටකරන වෘත්තයක්.

  • ශ්‍රී ලාංකේය සාහිත්‍ය ගැන ඔබගේ අදහස?

ලාංකීය සාහිත්‍ය කියන්නේ මට ජීවිතය කියා දුන් පාඩමක්.
පාසල් පොත්වල ඉගෙන ගත්තු දේ ආත්මයේ පිරිසිදු කාරක වගේ.
උදාහරණ නම් එමටයි.
අදටත් විමලරත්න කුමාරගමයන්ගෙ අයියනායක කවි පංතිය රෝගීන් සමග වැඩ කරද්දී මතක් වෙනවා. සරල සොඳුරු ජීවිත වලට හානියක් නොවෙන්න වෛද්‍ය උපදෙස් දෙන්න මම අතිරේක උත්සහයක් දරනවා. "මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහිම "කියන පදය මට මතක් වෙනවා. 
ඕප - දූප ඉතින් කොහොමත් කතා වෙනවනේ එතකොට ශෲෂා මතක් වෙනවා. රජ ගෙදර මෙහෙකාරිය  දරුවව අරගෙන ගමකට ගියහම උමතුවෙන් කියන දේ  අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ කියලා හිතෙනවා. 

  • නිර්මාණකරණයේ යෙදිය යුත්තේ සම්මාන අපේක්ෂාවෙන් ද?

නිර්මාණ කරණය කරන්න ඕනෙ සම්මාන අපේක්ෂාවෙන් තමයි. හැබැයි ඒ සම්මාන දෙන ජූරිය ලියන්නා සහ ලියන්නාගේ හිතයි. අපි ලියන දේ හිතට එකඟ වෙන්න ඕනෙ. මට දැනෙන්නෙ වැඩියෙන්ම නිර්මාණයක් ගැන සතුටු වෙන්නෙ තමන්. මම ආත්මාර්ථකාමී කවි ලියන කෙනෙක්. මම ලියන්නෙම මට. මම ඒක ලියලා කියවලා ආයෙ කියවලා සතුටු වෙනවා. ඒක තමයි දවසම කරපින්නා ගෙන යන්නෙ. ගොඩක් අය එහෙමයි කියලා මට හිතෙන්නෙ. ඉතිං මම හැමදාම සම්මානනීය කවියෙක්. ඒ වගේම තමයි හොඳ නරක අහනකොටත් හුඟාක් සතුටුයි.

  • වත්මන් සාහිත්‍ය ගැන ඔබේ විග්‍රහය?

රටක ප්‍රේක්ෂකයන් ගේ මට්ටම නිර්මාණ වලට තියන ඉල්ලුමෙන් පේනවා. ඒවගේම තමයි ඕනෙම රටක මෙගා නාට්‍යක් බලපුවහම බහුතර ඔලුවල තියන දේ පේනවා. අපේ සාහිත්‍ය තාම ප්‍රබලයි හොඳ නිර්මාණ බිහිවෙනවා. සමහර පොත් පූජනීය ලිංගිකත්වය අශෝබන ලෙස අකුරු කරනවා. ගුරු ගීතය පුංචි පොතේ අල්තිනායි දූෂණය වෙනවා. ඒ එක පාරයි. ඒක වුණත් හරිම සංයමයෙන් කතුවරයා ලියනවා. දැන් තියෙන්නෙ අමුවෙන් හැඟීම් විස්තර කරන නිල් කතානෙ. පාඨකයාගෙ ද කතුවරයාගෙ ද ප්‍රශ්නය කියලා තේරෙන්නෙ නෑ. රසවින්දනය කියන්නෙ වාර්තා වල නෙවෙයි. සමහර වෙලාවට මට හිතෙනවා ප්‍රවෘත්ති සාහිත්‍යකරණය වෙලා සාහිත්‍ය ප්‍රවෘත්ති වෙලාද කියලා.
ඒත් කලකිරෙන්න කාරණා නෑ ප්‍රබල සුන්දර සාහිත්‍ය අදත් හෙටත් උපදින ලකුණු තියනවා. තවමත් ඒ විලිරුදාව ඇති අය ඉන්තේරුවටම ඉන්නවා.

 

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ Read Previous

කොළඹ බර උසුලන යකඩ හස්ත - මුල් පුටු 16 ම ඉන්නේ කාන්තාවෝ

හැඩැති ඔබට ලස්සන විලාසිතා Read Next

හැඩැති ඔබට ලස්සන විලාසිතා

Realted Post

Leave a comment