ඇගේ බර අනුව ඇති වන ලෙඩ

බර වැඩිවීම ගැන අපි බොහෝ විට සිතන්නේ පෙනුම සම්බන්ධයෙන් පමණයි. එහෙත් අධික බර යනු ශරීරයේ බොහෝ පද්ධතිවලට බලපෑම් කළ හැකි සෞඛ්‍ය අවදානමක් බව විශේෂඥයන් පෙන්වා දෙති. 

හෘද රෝග, දියවැඩියාව, ඇතැම් පිළිකා මෙන්ම සන්ධි, අස්ථි සහ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ගැටලු සඳහාද අධික බර සම්බන්ධ විය හැකිය.

නමුත් මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ බර වැඩිවී තිබීම පමණක් නොව, එම තත්ත්වය සමඟ කොපමණ කාලයක් ජීවත් වී ඇත්ද යන්නත් සෞඛ්‍යයට බලපාන බවයි.

අවුරුදු පහක්... දහයක්... පහළොවක්...

2020 වසරේ එක්සත් රාජධානියේ සිදුකළ අධ්‍යයනයකට අනුව, තරබාරු තත්ත්වයෙන් වසර පහක් පමණ ගත වූ පසු එහි සෞඛ්‍ය බලපෑම් ආරම්භ විය හැකිය.

එමෙන්ම වසර දහයක් පමණ ගත වන විට හෘද රෝග සහ හෘද රෝග ආශ්‍රිත මරණ අවදානම සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.

ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ස්ටුවර්ට් ග්‍රේ පවසන්නේ අධික බරට ශරීරය දිගු කාලයක් නිරාවරණය වීමෙන් දැවිල්ල, රුධිර නාලවල ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් සහ රුධිරයේ ග්ලූකෝස් මට්ටම ඉහළ යාම වැනි තත්ත්ව ඇති විය හැකි බවයි.

ඒ අනුව, අද බර පාලනය කිරීම හෙට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු වළක්වා ගැනීමේ කොටසක් විය හැකිය.

වයස අවුරුදු 20 – පුරුදු හදාගන්න හොඳම කාලයක්

විසිවැනි දශකය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ගොඩනඟා ගැනීමට වැදගත් අවස්ථාවක් ලෙස විශේෂඥයන් පෙන්වා දෙති. මෙම වයසේදී ශරීරයට පරිවෘත්තීය ගැටලු කිහිපයකින් යථා තත්ත්වයට පැමිණීමේ හැකියාව සාපේක්ෂව වැඩි විය හැකිය. ඒ නිසා මෙම කාලයේදීම නිවැරදි ආහාර පුරුදු සහ නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම් ජීවිතයේ කොටසක් කරගැනීම වැදගත් බව විශේෂඥයන් පවසති.

සරලව කිවහොත්, විසි ගණන්වලදී සෞඛ්‍ය සම්පන්න පුරුදු ඇති කරගැනීම, ඉදිරි දශකවල බර ක්‍රමයෙන් වැඩිවීම වළක්වා ගැනීමට උපකාරී විය හැකිය.

40 සහ 50 – ශරීරය වෙනස් වන කාලය

විශේෂයෙන් අවුරුදු 40 සහ 50 අතර කාලය බර පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු අවස්ථාවක් ලෙස විශේෂඥයන් සඳහන් කරති. මෙම කාලයේදී ශාරීරික ක්‍රියාකාරකම් අඩුවීම, රැකියා සහ පවුල් වගකීම් වැඩිවීම මෙන්ම හෝමෝන වෙනස්කම් හේතුවෙන් බර වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති විය හැකිය.

කාන්තාවන්ගේ වයස අවුරුදු 45–55 අතර කාලයේ සිදුවන ආර්තවහරණයට ආසන්න හෝමෝන වෙනස්කම් හේතුවෙන් විශේෂයෙන් උදරය වටා මේදය එකතු වීම සිදුවිය හැකි බව සඳහන් වේ. අවයව වටා එකතු වන මෙම මේදය ඉන්සියුලින් ප්‍රතිරෝධය සමඟ සම්බන්ධ වේ.

මැදි වයසේදී බර අඩු කරගත්තොත්?

මැදි වයසේදී අතිරික්ත බර අඩු කරගැනීමේ සෞඛ්‍ය ප්‍රතිලාභ පිළිබඳවද පර්යේෂණ මගින් කරුණු ඉදිරිපත් කර තිබේ. JAMA Network Open හි පළ වූ පර්යේෂණයකට අනුව, මැදි වයසේදී බර අඩු කරගත් පුද්ගලයන්ට බර වැඩි තත්ත්වයේම සිටි පුද්ගලයන්ට සාපේක්ෂව නිදන්ගත රෝග ඇතිවීමේ අවදානම 48%කින් අඩු වී තිබිණි. මෙම පර්යේෂණයට වසර 23ක පසු විපරමක් ඇතුළත් විය.

වයස 75 පසු නම් බර අඩු කිරීම ගැන වෙනස් කතාවක්

එහෙත් වැඩිහිටි වයසට පැමිණි පසු බර අඩු කිරීම සම්බන්ධයෙන් තත්ත්වය තරමක් වෙනස් වේ. වයස අවුරුදු 75 ඉක්මවූ පුද්ගලයන් අතර බර අඩුවීම කලින් මියයාමේ වැඩි අවදානමක් සමඟ සම්බන්ධ වී ඇති බව පර්යේෂණවලින් පෙන්වා දී තිබේ.

අශන්ති වරුණසූරිය 

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි Read Previous

ඔහු ගැයුවේ අපේ ජීවිතයයි

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක් Read Next

ලොකු වෙනසක් තියෙන් ලස්සන ෆිල්ම් එකක්

Realted Post

Leave a comment