කාර්යබහුල දවස සුවපත් කරවන ඔසු පැන්

උදේ අවදි වූ තැන සිට රාත්‍රී නින්දට යනතුරුම නිවසේ කාන්තාව කියන භූමිකාව ක්‍රියාත්මක කරවූ යාත්‍රයක්  බඳුයි. මේ කාර්යබහුල කටයුතුත් සමග ඇයටත් පැවසිය නොහැකි සුළු සුළු අපහසුතාවයන් සිරුරට, කයට ,මනසට දැනෙන්න පුළුවන්. එවැනි අපහසුතා සඳහා ක්ෂණික සහනයක් ලෙස රසායනික පෙති වර්ග භාවිතා කරන්නත් පුළුවන්. නමුත් දන්නවද ඔබ නිතර දවසේ ගැවසෙන මුළුතැන්ගෙයි වගේම ඔබේ අවට පරිසරයේ මේ සඳහා සාර්ථක ප්‍රතිකාර තිබෙන බව. ඒ මොනවාද කියලා තමයි මේ කියන්න හදන්නේ. 


කටු අනෝදා පත්‍ර තේ. 


සන්ධි වේදනා සමනය කිරීමට, ප්‍රතිශක්තිය වර්ධනයට ,රුධිරයේ සීනි මට්ටම පාලනය කර ගැනීමට උපකාර වන මෙම කටු අනෝදා පානය සකසා ගන්න හරිම පහසුයි. 

කටු අනෝදා පත්‍ර වියළා කුඩුකර පවුඩර් එකක් ලෙස සාදා උණු වතුර වීදුරුවකට දමා තැම්බෙන්න තබා පානයට ගන්න පුළුවන්. 


රණවරා මල් -  පොල් පලා පානය.


වතුර පානය කරන්න බොහෝ  කාන්තාවන්ට සාමාන්‍යයෙන් අමතක වී යන පුරුද්දක් .ඒ නිසාම මූත්‍ර ආසාදන ,මුත්‍ර දැවිල්ල වැනි තත්ත්වයන් ඉතා ඉක්මණින් මතු වීමට පුළුවන්. එවැනි තත්ත්වයන් සුවයට පත් කර ගැනීමටත් රුධිරය පිරිසුදු කර ගැනීමටත් සමේ පැහැය වර්ධනය කර ගැනීමටත්  මෙම පානය මහඟු ප්‍රතිඵල අත්කර දෙනවා. 

රණවරා මල් , පොල්පලා තැම්බෙන්න තබා පානයට ගන්න පුළුවන්. 


ඉඟුරු - දෙහි පානය. 

නිතර ඇතිවන කම්මැලිකම මකා දමා දවස ප්‍රබෝධමත් කිරීමට මෙම සරල පානය උදව්වේ. ඉඟුරු යුෂ ස්වල්පයකට ,දෙහි යුෂ සහ මී පැණි ස්වල්පයක් මිශ්‍ර කර පානයට ගැනීමෙන් සිරුරේ ප්‍රතිශක්තියද වර්ධනය කර ගැනීමට පුළුවන් වෙනවා. 


සූදුරු  කොත්තමල්ලි පානය. 


කාන්තාවන් අතර බහුලව දක්ණට ලැබෙන බඩ පූරවා දැමීම, අජීරණය, සිරුරේ ඇතිවන අනවශ්‍ය වාතය පිටකරවීමට මෙම පානය බොහෝ සෙයින් උපකාරී වේ. 
සූදුරු, කොත්තමල්ලි සමව ගෙන උණුසුම් වතුර වීදුරුවකට තමා තම්බා පානයට ගන්න. 


බෙලිගැට හා ඉඟුරු පානය. 


දීර්ඝ කාලීන ගෑස්ට්‍රයිටිස් හෝ නිතර මතුවන බඩේ අමාරු නිසා පීඩා විඳින අයට වියළි බෙලි ගැට කැබැල්ලක් සහ ඉඟුරු ස්වල්පයක් දමා තම්බා පානයට ගැනීමෙන් ක්ෂණික සහනයක් ලැබෙයි. මෙමගින් ආහාර රුචිය වර්ධනය කර බඩවැල් වල යහපත් ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරවයි. 

 

පිච්ච මල්  තේ පානය.


අකලට සම රැලි වැටීම පාලනය කර , මනස සැහැල්ලු කරවීම, සුව නින්දක් ලබාදීම මෙම මල් පානය ලබාදෙයි. 

හොඳින් පිපුණු පිච්ච මල් කිහිපයක් ගෙන මද පවනේ වේලා සුළං නොවදින ලෙස අසුරා තබා අවශ්‍ය විටෙක උණු වතුර වීදුරුවකට දමා විනාඩි කිහිපයක් වසා තබා පානයට ගන්න. 


සැලකිය යුතුයි

මෙම ඔසු පැන් භාවිතයේදී සීනි භාවිත කරන්න යන්න එපා. ඒ සඳහා උක් හකුරු හෝ මී පැණි ස්වල්පයක් භාවිත කරන්න. 
වඩාත් ප්‍රතිඵල සඳහා උණුසුම තිබියදී පානයට ගන්න.

සටහන
මහේෂානි මීගහපොල.

උපදෙස්
ආයුර්වේද වෛද්‍ය හර්ෂණ   නිරිඇල්ල. 

සුන්දර මනාලියකට පෙරමන් Read Previous

සුන්දර මනාලියකට පෙරමන්

හිටපු ජනපති මහින්ද මහනුවරට Read Next

හිටපු ජනපති මහින්ද මහනුවරට

Realted Post

Leave a comment