ගැස්ට්‍රයිටීස්වලට ආයුර්වේදයෙන් පිළියම්

නවීන සමාජයේ බොහෝ දෙනා වයස් භේදයකින් තොරව පීඩාවට පත් වන රෝගී තත්ත්වයක් ලෙස අම්ල පිත්ත රෝගය නැතහොත් ගැස්ට්‍රයිටීස් හඳුන්වන්න පුළුවන්. ආයුර්වේදයට අනුව සිරුරේ දෝෂ තත්ත්වයන් වල වෙනස් වීම මත ආහාරපාන නිසි ලෙස නොදිරවා, ආම්ලික තත්ත්වයට පත් වී සිරුරට පීඩාවක් ගෙන දීම මෙහිදී සිදු වේ. 

උගුර, උදරය, පපුව ආශ්‍රිත ප්‍රදේශ වල දාහය ඇති වීම, ඇඹුල් සහ තිත්ත රසට ඔක්කාරය ඇති වීම, හිසරදය, බඩපුරවා දැමීම, ආහාර අරුචිය, ආහාර ගත්විට ඇති වන උදර වේදනාව, ඇතැමුන්ට දියර ලෙසට මළ පිටවීම සහ මලබද්ධය ඇතිවීම, සිරුරේ දාහය ඇති වීම ආදිය ගැස්ට්‍රයිටීස් හි රෝග ලක්ෂණ ලෙස හඳුනාගත හැකියි. 

දිගුකාලීන ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා ආමාශයේ ශ්ලේෂ්මල පටක තුවාල වීම සිදු වේ. මෙහි ඇති භයානක තත්ත්වය නම් ගැස්ට්‍රයිටීස් දිගුකාලීනව පැවතීමෙන්, තුවාල පිළිකා බවට පත්වීමට වැඩි  ඉඩකඩක් පැවතීමයි. 

ගැස්ට්‍රයිටීස් ඇතිවීමට හේතු
වැරදි  ආහාරපාන රටාවකට හුරුවීම, අධිකව තෙල්, මිරිස්, ලුණු ආහාරයට ගැනීම, අධික උෂ්ණ සහිත ආහාර ආදිය වැඩිපුර ආහාරයට ගැනීම මඟින්  අම්ලපිත්ත රෝගී තත්ත්වය ඇතිවිය හැකියි. එමෙන්ම මානසික තත්ත්වය අයහපත් වූ විට ආමාශයේ අම්ල නිපදවීම වැඩිවීම නිසා ආමාශයේ සහ ග්‍රහණියේ තුවාල ඇති වේ. මත්පැන්, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ආමාශය තුළ බැක්ටීරියා වර්ධනය වීමට සුදුසු පරිසරයක් නිර්මාණය වන නිසා කල් යාමේදී අමාශයේ සහ ග්‍රහණියේ ස්ථර තුළ තුවාල ඇතිවේ.
 
ගැස්ට්‍රයිටීස් රෝගයට ගොදුරු නොවීමට නම්,
 නිවැරදි ජීවන රටාවක් පවත්වා ගැනීම, කෘත්‍රිම ආහාර රටාවෙන් අත්මිදී ස්වභාවික ආහාර රටාවකට හුරු වීම, කොළකැඳ සහ සහල් පිටි වලින් සැකසූ ආහාර වලට හුරු වීම, පාන්පිටි  යොදා සැකසූ ආහාර හැකිතරම් අඩු කිරීම, ආහාර වේල් අතර නිවැරදි පරතරය තබා ගැනීම, රාත්‍රියට සැහැල්ලු ආහාර ගැනීම මෙහිදී විශේෂ වේ. හොඳින් ජලය පානය කිරීම ද අත්‍යාවශ්‍ය කරුණකි. එමඟින් ආමාශයේ ආම්ලිකතාව අඩුකර ගත හැකියි. ආයුර්වේදයේ දක්වන පරිදි උදෑසන හිස්බඩ මද රස්නෙන් යුතු වතුර වීදුරුවක් පානය කිරීමද ඉතා හොඳ පුරුද්දකි. එමෙන්ම සුවදායී ගැඹුරු නින්දක් ලැබීමෙන් ආහාර ජීර්ණ පද්ධතිය යථාවත් වේ. 


ආයුර්වේදයෙන් පිළියම්

ගැස්ට්‍රයිටීස් සඳහා නිවසේදී සිදු කළ හැකි ආයුර්වේද ප්‍රතිකාර ලෙස ආමාශය සිසිල් කරන දියබත් ආහාරයට ගැනීම,සව්කැඳ, කිතුල්පිටි කැඳ, හාතාවාරිය, පොල්පලා, ඉරමුසු, මොණරකුඩුම්බිය ආදියෙන් සකසාගත් කොළකැඳ පානය කළ හැකියි. 

  • බෙලිමල්, රණවරා මල් තම්බා පානය කිරීම. 
  • රාත්‍රියේ වතුරේ පෙඟුණු කොත්තමල්ලි හිස්බඩ පානය කිරීම.
  • සිරුරේ ආම්ලික බව අඩු කරන මුං ඇට වෑංජනය.
  • මුං ඇට තැම්බූ වතුර, කුරුම්බා වතුර පානය ද, කොමඩු, පිපිඤ්ඤා, ඉදුණු බෙලි, දෙළුම්,අළුපුහුල් යුෂද  පාන ලෙස සකසා ගත හැකියි. 
  • මීට අමතරව උදෑසන හිස්බඩ පානය කිරීම සඳහා කෝමාරිකා මද, වැල් ගොටුකොළ මිටක් සමඟ බ්ලෙන්ඩර් කර උක්හකුරු සමඟ පානයට ගැනීම වඩාත් සුවදායක වේ.

සටහන: විශ්වනී හසලා
උපදෙස්: ආයුර්වේද වෛද්‍ය කේ. ලකීෂා මධුෂාණි 

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි Read Previous

ත්‍රෛපාර්ශ්වික ගිවිසුමක් මඟින් ශ්‍රී ලාංකික සිසුන්ට ජාත්‍යන්තරව පිළිගත් උපාධි

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න Read Next

අවැපහැ වූ දෙතොල් රෝස පාට කරගන්න

Realted Post

Leave a comment