ගොළුබෙලි සත්කාරය හැමෝටම සුදුසුද? ඔබට ගැළපෙනවාද?

ගොළුබෙලි සත්කාරය පිළිබඳව පසුගිය ලිපියෙන් අපි කතා කළා. ගොළුබෙලි ශ්‍රාවය සමේ සත්කාර සඳහා භාවිත කරන ආකාරයත්, එමගින් ලබාගත හැකි ප්‍රතිලාභ පිළිබඳවත් එහිදී අවධානය යොමු කළා.

නමුත් මේ සත්කාරය සිදු කිරීමට පෙර දැනගත යුතු වැදගත් කරුණු කිහිපයක් තිබෙනවා.

අපි අවට සිටින ඕනෑම ගොළුබෙල්ලෙක් භාවිත කළ හැකිද?

නැහැ.

රූපලාවන්‍ය සත්කාර සඳහා භාවිත කරන ගොළුබෙල්ලන් විශේෂයෙන් පාලනය කළ පරිසරයක ඇතිදැඩි කර පිරිසිදු තත්ත්වයන් යටතේ ලබාගැනීම වැදගත්.

මෙවැනි සත්කාර සඳහා භාවිත කරන ගොළුබෙලි විශේෂ අතර Cornu aspersum (Garden Snail) සහ Achatina fulica (Giant African Land Snail) වැනි විශේෂ සඳහන් කළ හැකියි.

එබැවින් ස්වභාවික පරිසරයෙන් අල්ලාගත් ගොළුබෙල්ලන් මුහුණේ හෝ සම මත භාවිත කිරීම සුදුසු ක්‍රමයක් නොවන බව මතක තබාගත යුතුයි.

හැමෝටම මේ සත්කාරය සුදුසුද?

ස්වභාවික ද්‍රව්‍යයක් වුවත් සෑම පුද්ගලයකුගේම සමට එකම ආකාරයෙන් ප්‍රතිචාර දක්වන්නේ නැහැ. විශේෂයෙන් සංවේදී සමක් ඇති පුද්ගලයන්ට හෝ ඇතැම් ද්‍රව්‍යවලට අසාත්මිකතා ඇති අයට යම් ප්‍රතික්‍රියාවක් ඇති විය හැකියි.

ඒ නිසා සත්කාරය සිදු කිරීමට පෙර Skin Test එකක් සිදුකර තම සමට එය ගැළපෙනවාද යන්න පරීක්ෂා කරගැනීම වැදගත්.

සත්කාරයට පෙර කළ යුතු දේ

සත්කාරය සිදු කරන අවස්ථාවේදී මුහුණ හොඳින් පිරිසිදු කර තිබීම වැදගත්. මුහුණේ වෙනත් ආලේපන නොමැති පිරිසිදු සමක් මත සත්කාරය සිදු කිරීම සුදුසුයි.

එමෙන්ම භාවිත කරන ගොළුබෙල්ලන් පිරිසිදු, පාලනය කළ පරිසරයක ඇතිදැඩි කළ ඒ සඳහා සුදුසු ගොළුබෙල්ලන් බව තහවුරු කරගැනීමත් අත්‍යවශ්‍යයි.

සත්කාරයෙන් පසුත් සැලකිලිමත් විය යුතුයි

සත්කාරයෙන් පසු පැය කිහිපයක් යනතුරු සැර සේදුම්කාරක හෝ සමට දැඩි ලෙස බලපාන නිෂ්පාදන භාවිත නොකිරීම වඩාත් සුදුසුයි.

එමෙන්ම එම කාලය තුළ තද හිරු එළියට නිරාවරණය වීමෙන් හැකිතාක් වැළකී සිටිය යුතුයි. සමේ තෙතමනය පවත්වා ගැනීම සඳහා සුදුසු moisturizer එකක් භාවිත කිරීම ද වැදගත්.

ප්‍රතිඵල පෙනෙන්න කොපමණ කාලයක් ගත වෙනවාද?

සත්කාරය සිදු කළ පළමු දිනයේදීම සමේ තෙතමනය, මෘදු බව සහ දීප්තිය වැනි වෙනස්කම් ඇතැම් පුද්ගලයන්ට දැනෙන්න පුළුවන්.

නමුත් ලප කැළැල් හෝ සමේ පෙනුම සම්බන්ධ දිගුකාලීන වෙනස්කම් සඳහා ප්‍රතිඵල පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හැකියි.

නිසි ක්‍රමවේදයකට අනුව නිතිපතා සත්කාර කිරීමෙන් වඩාත් පැහැදිලි ප්‍රතිඵල ලබාගත හැකි බව රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ සඳහන් වෙනවා.

ලංකාවට තවමත් අලුත් සත්කාරයක්ද?

ගොළුබෙලි සත්කාරය ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම අලුත් සංකල්පයක් නොවුණත්, මෙය තවමත් බොහෝ දෙනාට අලුත් අත්දැකීමක්.

මේ වනවිට ශ්‍රී ලංකාවේද ඇතැම් රූපලාවන්‍ය මධ්‍යස්ථාන සහ ස්ථානවල මෙම සත්කාරය සිදුකරන බව දැකගත හැකියි.

ස්වභාවිකත්වයට කැමැත්තක් දක්වන නූතන පරපුර අතර රූපලාවන්‍ය ක්ෂේත්‍රයේ මෙවැනි නව සත්කාර පිළිබඳ උනන්දුව ඉදිරියේදී තවත් වැඩිවිය හැකියි.

කෙසේ වෙතත්, අලුත් රූ සත්කාරයක් අත්හදා බැලීමට පෙර තම සමේ ස්වභාවය පිළිබඳව අවධානය යොමු කර, සුදුසුකම් ලත් වෘත්තිකයකුගේ උපදෙස් ලබාගැනීම වඩාත් වැදගත්.

සටහන - මහේෂානි මීගහපොල
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාශා උඩවත්ත

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ Read Previous

මධ්‍යම පලාතේ පාසැල් 38ක් වැසේ

අද කාලගුනය මෙහෙමයි Read Next

අද කාලගුනය මෙහෙමයි

Realted Post

Leave a comment