පිරිමින්ට වැළඳෙන දුර්ලභ පිළිකාවක් ගැන අනතුරු ඇඟවීමක්

රෝග ලක්ෂණ නොසලකා හැරීමෙන් ජීවිතය පවා අහිමි විය හැකියි – මුල් අවස්ථාවේ හඳුනාගැනීමෙන් සුවවීමේ අවස්ථාව ඉහළට

වසරකට පිරිමින් 800කට පමණ ශිෂ්ණ පිළිකාව (Penile Cancer) වැළඳී ඇති බවට හඳුනාගනු ලබන බවත්, එම රෝගී තත්ත්වයන්ගෙන් අඩකටත් වැඩි ප්‍රමාණයක් වළක්වාගත හැකි බවත් විශේෂඥයෝ පෙන්වා දෙති.

එක්සත් රාජධානියේ කැන්සර් රිසර්ච් ආයතනයේ (Cancer Research UK) ඇස්තමේන්තුවලට අනුව, මෙම පිළිකා රෝගී තත්ත්වයන්ගෙන් සියයට 60කට වැඩි ප්‍රමාණයක් හඳුනාගත් අවදානම් සාධක සමඟ සම්බන්ධ වී තිබේ. මානව පැපිලෝමා වෛරසයේ (Human Papillomavirus - HPV) ඇතැම් ප්‍රභේද ආසාදනය වීම, දුම්පානය සහ ලයිකන් ස්ක්ලෙරෝසස් (Lichen Sclerosus) වැනි දිගුකාලීන සමේ ප්‍රදාහ තත්ත්වයන් ඒ අතර ප්‍රධාන වේ.

මෙම පිළිකාව සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ලක්ෂණ අතර සති හතරක් ඇතුළත සුව නොවන තුවාලයක්, ගැටිත්තක් හෝ අසාමාන්‍ය වර්ධනයක් ඇතිවීම, සමේ පලු දැමීම, රුධිරය වහනය වීම සහ අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම ඇතුළත් වේ. හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම, අධික තෙහෙට්ටුව සහ උදරයේ වේදනාව ද ඇතැම් අවස්ථාවලදී දැකිය හැකිය.

එහෙත් ශරීරයේ රහස්‍ය ප්‍රදේශ ආශ්‍රිතව ඇතිවන පිළිකා පිළිබඳව විවෘතව කතා කිරීමට බොහෝ දෙනා මැළිකමක් දක්වති. එම නිසා මුල් රෝග ලක්ෂණ දුටු විට වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පසුබට වන අතර, ඇතැමුන් ඒවා වෙනත් සුළු සෞඛ්‍ය ගැටලුවක් ලෙස සලකා නොසලකා හරිති.

මෙවැනි පසුබෑම හේතුවෙන් රෝගය බොහෝ විට හඳුනාගනු ලබන්නේ වඩාත් වර්ධනය වූ අවස්ථාවකදීය. එවිට ප්‍රතිකාර සඳහා වඩාත් සංකීර්ණ සැත්කම් පවා අවශ්‍ය විය හැකිය.

උදාහරණයක් වන්නේ 33 හැවිරිදි ස්ටීවන් හැමිල්ගේ (Steven Hamill) අත්දැකීමයි. පිළිකාවේ අනතුරු ඇඟවීමේ ලක්ෂණ වෙනත් සෞඛ්‍ය ගැටලු ලෙස සලකා නොසලකා හැරීමෙන් පසු, ජීවිතය බේරාගැනීම සඳහා ශිෂ්ණයේ කොටසක් ඉවත් කිරීමේ සැත්කමකට මුහුණ දීමට ඔහුට සිදුවිය.

2019 අප්‍රේල් මාසයේදී ඔහුට මෙම පිළිකාව වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ. දැඩි වේදනාවක් සහ ඉතා අප්‍රසන්න දුර්ගන්ධයක් සමඟ තමන්ගේම රුධිරය විශාල ප්‍රමාණයක් අතර අවදි වූ පසුව ඔහුගේ රෝගී තත්ත්වය පිළිබඳව බරපතළ අවධානය යොමු වී ඇත.

කෙසේ වෙතත්, ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු අද වන විට ඔහු පිළිකාවෙන් සුවය ලබා සිටින අතර සිව් හැවිරිදි පුතකුගේ පියෙකි.

ශිෂ්ණ පිළිකාව සාමාන්‍යයෙන් මැදිවයසේදී හඳුනාගනු ලැබුවද, ඊට වඩා අඩු වයස්වලදී ද ඇතිවිය හැකිය. අනෙකුත් පිළිකා සමඟ සසඳන විට මෙය දුර්ලභ රෝගයක් වුවද, වාර්තාවේ සඳහන් සංඛ්‍යාලේඛන අනුව වෘෂණ කෝෂ පිළිකාවෙන් මියයන පිරිමින්ට වඩා දෙගුණයකටත් වැඩි පිරිසක් ශිෂ්ණ පිළිකාවෙන් මියයති.

මුල් අවස්ථාවේදීම රෝගය හඳුනාගැනීමෙන් සුවවීමේ අවස්ථාව ඉහළ යනවා පමණක් නොව, ශිෂ්ණය ඉවත් කිරීම වැනි බරපතළ සැත්කම් අවශ්‍ය වීමේ අවදානම ද අඩු කරගත හැකිය.

ශිෂ්ණ පිළිකාවේ මුල් ලක්ෂණයක් ලෙස චර්මච්ඡදය (Foreskin) යට හෝ ශිෂ්ණයේ කෙළවර කොටසේ (Glans) සමේ පැහැය වෙනස් වීම දැකිය හැකිය. එය බොහෝ විට රතු පැහැයක් හෝ නිල්-දුඹුරු පැහැයක් විය හැකිය. මාසයකට වඩා දිගු කාලයක් පවතින සමේ පලු දැමීමක් හෝ තුවාලයක් ද අවධානයට ලක්විය යුතුය.

මීට අමතරව අසාමාන්‍ය ශ්‍රාවයන් පිටවීම සහ චර්මච්ඡදය පසුපසට ඇදීමේ අපහසුතාව ද ඇතිවිය හැකිය. කෙසේ වෙතත්, මෙම ලක්ෂණ සියල්ලම ශිෂ්ණ පිළිකාවක් බවට අනිවාර්යයෙන්ම අදහස් නොවේ. දිලීර ආසාදන, බැලනයිටිස් (Balanitis) සහ සොරියාසිස් (Psoriasis) වැනි සමේ රෝග නිසා ද පැහැය වෙනස්වීම සහ සමේ පලු දැමීම සිදුවිය හැකිය.

එහෙත් එවැනි ලක්ෂණ නොසලකා හැරිය යුතු බවක් ඉන් අදහස් නොවේ. කල් නොයවා වෛද්‍ය පරීක්ෂාවකට යොමුවීමෙන් රෝගය මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකිය.

රෝගය මුල් අවස්ථාවේදී හඳුනාගත් පිරිමින්ගෙන් සියයට 90කට වැඩි පිරිසක් වසර පහකට වඩා ජීවත්වන බව වාර්තාවේ සඳහන් වේ. එහෙත් පිළිකාව ශරීරයේ වෙනත් කොටස්වලට පැතිර ගිය පසු හඳුනාගන්නා රෝගීන්ගේ සුවවීමේ අවස්ථාව සැලකිය යුතු ලෙස අඩු වේ.

ශිෂ්ණයෙන් අසාමාන්‍ය දුර්ගන්ධයක් සහිත ශ්‍රාවයක් පිටවීම ආසාදනයක් හෝ සමේ ඇතිවන උද්දීපනයක් නිසා සිදුවිය හැකිය. ඇතැම් විට නිසි පරිදි පිරිසුදු නොකිරීම ද මෙයට හේතුවක් විය හැකිය.

ශිෂ්ණ පිළිකාව මෙවැනි ශ්‍රාවයන් ඇතිවීමට සාපේක්ෂව දුර්ලභ හේතුවක් වුවද, එය නොසලකා හැරිය යුතු නැත. විශේෂයෙන්ම චර්මච්ඡදය යටින් රුධිරය වහනය වීම ද පිළිකාවේ අනතුරු ඇඟවීමේ ලක්ෂණයක් විය හැකිය.

මෙම පිළිකාවේ විශේෂත්වයක් වන්නේ බොහෝ අවස්ථාවලදී වේදනාවක් නොමැතිව පැවතීමයි. ඒ නිසා වේදනාවක් නැති බැවින් රෝගයක් නොමැති බවට නිගමනය කිරීම සුදුසු නොවේ.

ඉකිලි ප්‍රදේශයේ ගැටිත්තක් ඇතිවීම, උදරයේ වේදනාව සහ හේතුවක් නොමැතිව ශරීරයේ බර අඩුවීම වැනි ලක්ෂණ පිළිකාව වඩාත් වර්ධනය වී ඇති බවට සංඥා විය හැකිය.

මෙවැනි අවස්ථාවකදී සාමාන්‍ය වෛද්‍යවරයකු විසින් මූලික පරීක්ෂණ සිදුකර විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු කිරීම අවශ්‍යද යන්න තීරණය කරනු ලැබේ.

ඒ සඳහා ශිෂ්ණය පරීක්ෂා කිරීම, තුවාල සහිත ප්‍රදේශවලින් සාම්පලයක් ලබාගැනීම සහ පාදවල ඉහළ කොටසේ පිහිටි වසා ගැටිති (Lymph Nodes) ඉදිමී ඇත්දැයි පරීක්ෂා කිරීම සිදුකළ හැකිය. ශිෂ්ණ පිළිකාව පැතිර යන්නේ නම් බොහෝ විට ශිෂ්ණයට ආසන්න ඉකිලි ප්‍රදේශයේ වසා ගැටිති වෙත එය පැතිර යා හැකිය.

පිළිකාවේ වර්ධනය සහ පැතිරීම තීරණය කිරීම සඳහා බයොප්සි (Biopsy), එම්.ආර්.අයි. (MRI), සී.ටී. (CT) හෝ පී.ඊ.ටී.-සී.ටී. (PET-CT) වැනි පරීක්ෂණ සිදුකරනු ලැබේ.

රෝගය කෙතරම් වර්ධනය වී ඇත්ද යන්න අනුව ප්‍රතිකාර තීරණය කෙරේ. ඇතැම් අවස්ථාවලදී චර්මච්ඡදය ඉවත් කිරීමේ සැත්කමක් ප්‍රමාණවත් විය හැකිය. තවත් අවස්ථාවලදී ශිෂ්ණයේ කෙළවර කොටස ඉවත් කිරීමේ ග්ලැන්සෙක්ටමි (Glansectomy) සැත්කම හෝ ශිෂ්ණය සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ සැත්කමක් අවශ්‍ය විය හැකිය.

ශිෂ්ණය සම්පූර්ණයෙන් ඉවත් කිරීමට සිදුවන ඇතැම් අවස්ථාවලදී මුත්‍රා පිටවීම සඳහා ගුදය සහ වෘෂණ කෝෂ අතර නව විවරයක් සකස් කිරීමට ද සිදුවේ.

මෙවැනි සැත්කම් රෝගියාගේ ලිංගික ජීවිතයට ද බලපෑම් ඇති කළ හැකිය. එමෙන්ම රෝගය සමඟ ජීවත්වීමට සිදුවීම නිසා කෝපය, කනස්සල්ල, වරදකාරී හැඟීම්, බිය සහ මානසික පීඩනය වැනි හැඟීම් ද ඇතිවිය හැකිය.

කෙසේ වෙතත්, එක්සත් රාජධානියේ ජාතික සෞඛ්‍ය සේවය (NHS) පෙන්වා දෙන්නේ වර්තමානයේදී වෛද්‍යවරුන් හැකි සෑම අවස්ථාවකදීම ශිෂ්ණය ආරක්ෂා කරගනිමින් ප්‍රතිකාර කිරීමට උත්සාහ කරන බැවින් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමේ අවශ්‍යතාව අඩු වී ඇති බවයි.

පිළිකාව ශරීරයේ වෙනත් ප්‍රදේශවලට පැතිරී නොමැති නම්, ශිෂ්ණය ඉවත් කිරීමෙන් පසුව ප්‍රතිනිර්මාණ සැත්කමක් සිදුකිරීමට ද ඇතැම් විට හැකියාව තිබේ. ඒ සඳහා අතේ සම සහ මාංශ පේශි කොටස් යොදාගනිමින් නව ශිෂ්ණයක් ප්‍රතිනිර්මාණය කිරීම සිදුකළ හැකිය.

ශිෂ්ණ පිළිකා ඇතිවීමේ අවදානමට බලපාන ප්‍රධාන සාධකයක් ලෙස මානව පැපිලෝමා වෛරසය (HPV) හඳුන්වා දිය හැකිය. HPV යනු වෛරස් වර්ග 200කින් පමණ සමන්විත කාණ්ඩයකි. ඉන් ඇතැම් වර්ග පිළිකා ඇතිවීම සමඟ සම්බන්ධ වී තිබේ.

මෙම වෛරසය ප්‍රධාන වශයෙන් සමෙන් සමට සිදුවන ස්පර්ශය හරහා පැතිරෙන අතර ලිංගික සම්බන්ධතා අතරතුර ද ආසාදනය විය හැකිය. ගැබ්ගෙල පිළිකාවලින් බොහොමයකට HPV වෛරසය සම්බන්ධ වී තිබේ. එමෙන්ම බොහෝ විට පැහැදිලි රෝග ලක්ෂණ නොපෙන්වන මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන ආසාදනය ශිෂ්ණ පිළිකා ඇතිවීමට ද හේතු විය හැකිය.

HPV ආසාදනය වූ පසුව පිළිකාවක් වර්ධනය වීමට වසර ගණනාවක් ගතවිය හැකිය. මුල් අවස්ථාවේදී ලිංගික ඉන්නන්, ලිංගික ප්‍රදේශයේ අසාමාන්‍ය ගැටිති හෝ වර්ධනයන්, මුඛයේ හෝ උගුරේ ඇතිවන අසාමාන්‍ය වෙනස්කම් සහ තුවාල වැනි ලක්ෂණ ඇතිවිය හැකිය.

පසුව ඇතැම් HPV ආසාදන ශිෂ්ණය ආවරණය කරන සමේ හෝ ශිෂ්ණයේ කෙළවර කොටසේ පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය විය හැකිය. HPV වෛරසය සඳහා සෘජු ප්‍රතිකාරයක් නොමැති වුවද, එම වෛරසය ආසාදනය වීමේ අවදානම සහ ඒ ආශ්‍රිත සෞඛ්‍ය ගැටලු අවම කරගැනීමට ක්‍රම තිබේ.

ඒ අතර HPV එන්නත ලබාගැනීම විශේෂ වැදගත්කමක් ගනී. ලිංගික ඉන්නන් සහ ශිෂ්ණ පිළිකා ඇති කරන HPV වෛරස් වර්ග බොහොමයකින් ආරක්ෂා වීමට මෙම එන්නත උපකාරී වේ.

වෛරසයට නිරාවරණය වීමට පෙර එන්නත ලබාදීම වඩාත් ඵලදායී වේ. එක්සත් රාජධානියේ පාසල් වැඩසටහන් යටතේ වයස අවුරුදු 12 සහ 13 යන වයස්වල පසුවන ගැහැනු සහ පිරිමි දරුවන්ට මෙම එන්නත සාමාන්‍යයෙන් ලබාදෙනු ලැබේ. එමෙන්ම වයස අවුරුදු 45 දක්වා වූ පිරිමින් සමඟ ලිංගික සම්බන්ධතා පවත්වන පිරිමින්ට ද එරට ලිංගික සෞඛ්‍ය සහ HIV සායන හරහා නොමිලේ එන්නත ලබාගැනීමේ අවස්ථාව තිබේ.

කොන්ඩම් භාවිතය, ආරක්ෂිත ලිංගික හැසිරීම් අනුගමනය කිරීම සහ දුම්පානයෙන් වැළකීම ද HPV ආසාදනය වීමේ අවදානම සහ ශිෂ්ණ පිළිකා ඇතිවීමේ අවදානම අවම කිරීමට උපකාරී වේ.

විශේෂයෙන්ම මතක තබාගත යුතු කරුණ වන්නේ ශිෂ්ණයේ හෝ ඒ ආශ්‍රිත ප්‍රදේශවල ඇතිවන අසාමාන්‍ය වෙනස්කම් ලැජ්ජාව නිසා සඟවා නොගෙන වෛද්‍යවරයකුට පෙන්වීමයි. මුල් අවස්ථාවේ හඳුනාගැනීම ජීවිතය බේරාගැනීමට මෙන්ම බරපතළ සැත්කම්වලින් වැළකීමට ද ඉතා වැදගත් වේ.

(මෙහි සඳහන් රෝගී සංඛ්‍යාලේඛන සහ එන්නත් වැඩසටහන් එක්සත් රාජධානියට අදාළ මූලාශ්‍රයේ තොරතුරු මත පදනම් වේ. ශ්‍රී ලංකාවේ එන්නත් ලබාගැනීමේ ක්‍රමවේදය පිළිබඳව වෛද්‍යවරයකුගෙන් විමසීම සුදුසුය.)

අශන්ති වරුණසූරිය (msn.com ඇසුරින්) 

වික්ටෝරියා වාන් දොරටු  06ක් විවෘත වෙයි Read Previous

වික්ටෝරියා වාන් දොරටු 06ක් විවෘත වෙයි

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස Read Next

හිසකෙස්ද? මුහුණද? ශරීරයද? විශේෂඥයන් හෙළි කරන නෑමේ රහස

Realted Post

Leave a comment