Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය

වර්තමානයේ ජීවන තත්ත්වයත් කන කෑම බීමත් හා ස්වභාවික තත්ත්ව නිසාත් නිරෝගී පුද්ගලයකු සොයා ගන්න බැරි තරම් .ඒ අතර බහුලව කාටත් හිසරදයක් වන Sinusitis හෙවත් කෝඨරක ප්‍රදාහය ගැන කතා කරන්න හිතුවා.

Sinus  නැතිනම් කෝඨරක යනු අපගේ  මුහුණේ නළල ප්‍රදේශයට යටින් හා කම්මුල් ප්‍රදේශයට යටින් පිහිටි අස්ථි වල ඇති හුළං/ වාතය පිරුණු කුහරයන්. ඒවා කුඩා සිදුරු මගින් නාසයට සම්බන්ධ වන අතර ශරීර සමතුලිතතාවය පවත්වාගෙන යාමට ද දායකත්වය සපයනවා . මේ කුටීර අභ්‍යන්තරය තුනී ශ්ලේෂ්මල පටලයකින් ආවරණය වී ඇති අතර එහි ඇති ග්‍රන්ථීන්හි ස්රාවයන්  නාසය හෝ උගුර හරහා බාහිරට පැමිණීම සිදුවේ. නාසා මාර්ගයේ සිදුවන අවහිරවීම් හා බැක්ටීරියා , වෛරස් හා වෙනත් ආසාදනයවීම් හේතුවෙන්  ශ්ලේෂ්මල ආස්තරනය ආසාදනය වී ප්‍රදාහික ලක්ෂණ පෙන්නුම් කරමින්  ශ්ලේෂ්මල පිටතට ගැලීම වළකන අතර මෙම තත්ත්වය  කෝඨරක ප්‍රදාහය වශයෙන් හඳුන්වයි.


මෙහිදී  ඇති වන රෝග ලක්ෂණ ලෙස හිසරදය ( පූර්ණව හෝ අර්ධව අවහිරවූ කෝටරක තුළ ඇතිවන පීඩනය නිසා මෙම තත්වය ඇතිවේ. ඉදිරියට නැමීමේදී මෙම වේදනාව වැඩිවේ),  මුහුණේ වේදනාව( මුහුණේ ප්‍රදාහයට ලක්‌ව ඇති කෝටරක සහිත ප්‍රදේශය ඉදිමීම හෝ ස්‌පර්ශ කරන විට වේදනාව දැනීම), උණ( ප්‍රදාහයට ලක්‌ව ඇති කෝටරක තුළ ඇති සෙම මත රෝග කාරක, විශේෂයෙන් බැක්‌ටීරියා ආසාදනය වීම නිසා උණ ඇතිවේ), නාසයේ බර ගතිය සහ සිරවුණ ස්‌වභාවය,නාසයෙන් ගලන සෙම කහ පැහැති අපැහැදිලි ස්‌වභාවයක්‌ දැරීම , සෙම උගුර වෙත ගලා ඒම හේතුවෙන් උගුරේ ප්‍රදාහයක්‌ ඇතිවීම නිසා එහි වේදනාවක්‌ ඇති වීම හා ගලා එන සෙම ඉවත්කිරීම සඳහා කැස්‌ස ඇති වීම , දත්වල /කන්වල සහ ඇස්‌වල වේදනාව ( ඒ වටා ඇති පටක සහ ස්‌නායු මත මෙම ප්‍රදාහය නිසා ඇතිකරනු ලබන පීඩනය හේතුවෙන්) , උණ /කැස්‌ස සහ ප්‍රතිශක්‌තීකරණ පද්ධතිය ක්‍රියාත්මක වීම හේතුවෙන් සිරුරට විඩාපත් බවක්‌ ගෙන ඒම, එකතුවෙන සෙම මත බැක්‌ටීරියා වර්ධනය වීම නිසා ප්‍රාශ්වාස වාතයේ දුගඳක්‌ ඇතිවීම , නාසය සහ ඇස්‌ තුළ මෙන්ම සිරුරේ සම මත කැසීම සහ කිවිසුම් යැම වැනි අසාත්මික ලක්‌ෂණ ඇතිවේ.


මෙම තත්ත්වයට හේතු ලෙස වෛරස / බැක්ටීරියා / වෙනත් ආසාදන ,  ආසාත්මිකතා (දූවිලි / සත්ව ලෝම/ මල් පරාග  /දුම් ) දුම් පානය කිරීම නිසා ශ්වසන මාර්ගයේ ඇති කෙඳිති වල ක්‍රියාකාරිත්වය අඩාල වීම නිසා මෙන්ම වාහන දුම් සහ දූවිලිවලට නිරතුරු නිරාවරණය වීම නිසා ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇති කෝටරක අවහිරවීමෙන් මෙම රෝග තත්ත්වය ඇති වෙනවා.

ජලය පානය අඩු බව නිසාත් , පිරිටන්/ සිට්‍රසීන් වැනි ප්‍රතිහිස්‌ටමින් වර්ගයේ ඖෂධ භාවිතය නිසාත් සෙමවල ඝනත්වය වැඩිවී ඉවතට ගලායාම සිදු නොවී කෝටරක අවහිරවී ඒ තුළ බැක්‌ටීරියා වර්ධනය වී මේ රෝගය වර්ධනය වීමටද පුළුවනි .වියළි වාතය එනම් ජල වාෂ්ප අඩු වාතය ආශ්වාස කිරීමද හේතු වේ.

නාසය තුළ මස්‌ වැදලි ඇතිවීම, ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන වෙනත් ගෙඩි, ගැටිති, පිළිකා වැනි හේතුන් නිසාවෙන්ද කෝටරක අවහිරවී එතුළ ප්‍රදාහයක්‌ ඇතිකළ හැකියි .


දින 30 කට අඩු කාලයක්‌ රෝග ලක්‌ෂණ පවතීනම් නම් එය සාමාන්‍ය කෝඨරක ප්‍රදාහයක්‌ ලෙසත්, දින 30 - 90 ත් අතර පවතී නම්  මධ්‍යකාලික කෝඨරක ප්‍රදාහය ලෙසත් , දින 90 ට වඩා කල්පවතී නම් කාලික කෝඨරක ප්‍රදාහය ලෙසත් වෛද්‍ය විද්‍යාවේ දී වර්ගීකරණය කරනු ලැබේ. 

එසේම ආසාධිත කෝටරක ප්‍රදාහය සහ ආසාත්මික කෝටරක ප්‍රදාහය ලෙසින් ද තවත් වර්ගීකරණයක් පවතී.

මේ සදහා ඔබට නිවසේදී කළ හැකි ප්‍රතිකාර ලෙස (අත් බෙහෙත් ) වේදු  නැතහොත් හුමාලය ඇල්ලීම කළ හැක.ඒ සදහා ඉඟුරු , කොත්තමල්ලි , යකිනාරං කොළ ,පාවට්ටා කොළ , බෙලි කොළ, දෙහි කොළ  යනාදියෙන් කිහිපයක් සහිත ජලය තම්බා හුමාලය ඇල්ලීම මගින් කෝඨරක තුළ සිරවී ඇති සෙම දියවී ගලා යන බැවින් නාසාවරෝධය හා හිසේ බර ගතිය මග හැර ගත හැක.

ඖෂධීය පොට්ටනියක් භාවිතය.හීං උදුපියලිය , සියඹලා කොළ , රතු ළුූණු කොටා කුඩා  පොට්ටනියක් බැද වණ්ඩුවෙ තම්බා ඖෂධීය  තෙල් ගා නලල කම්මුල් ප්‍රදේශ තැවීම . එ් සදහා නිර්ගුණ්ඩ්‍යාදී , කෝල ශ්ලේෂ්මා , බටු , සර්ව විශාදි වැනි තෙලක්  භාවිතා කරන්න පුළුවන් .මෙමගින්ද කෝඨරක තුළ ඝන බවට පත්ව ඇති සෙම දියවී පිටතට ගලා ඒම සිදුවේ.


එසේම වෛද්‍ය උපදෙස් මත නස්‍ය ප්‍රතිකාර , නාසා ප්‍රක්ශාලන ප්‍රතිකාර සිදුකිරීම යෝග්‍යයි .

හිස අභ්‍යංගය සදහා නිර්ගුණ්ඩ්‍යාදී , නීල්‍යාදි , බටු , පාඨා , නිශාදි වැනි තෙල් භාවිතා කළ හැකියි .

අභ්‍යන්තර වශයෙන් ඇඹුල් දොඩම් යුෂ හෝ දොඩම් යුෂ   , ඉගුරු ඉස්ම, මී පැණි මිශ්‍රණයෙන් දිනකට තෙවරක් තේ හැදි 2ක බැගින් පානය .

කොත්තමල්ලි , වියලි ඉගුරු , කටුවැල්බටු , තිප්පිලි , හීං අරත්ත අල කෂායක් ලෙස සකසා පානයද යෝග්‍යයි .

මෙම තත්ත්වය සදහා බාහිර අභ්‍යන්තර වශයෙන් සරල ප්‍රතිකාර සිදු කළත් වෛද්‍ය උපදෙස් හා  ප්‍රතිකාර  ලබා ගැනීම අතිශය වැදගත්.


තවද ආහාර පාන මෙන්ම විහරණ පිළිබඳ ඔබ සැලකිලිමත් වීම වැදගත් .

සීතල පරිසරය, සීතල සුළං, සීතල ජලය, සීතල ආහාර වන පුහුල්, පිපිඤ්ඤා, කැකිරි, මෑකරල්  ආදියත්  , අයිස් ක්‍රීම් , ශීත කල පාන ආදියත් සැර ආහාර වන අන්නාසි, තක්කාලි, විනාකිරි, ජාඩි, කරවල, බල මාලු ආදී ආහාර  වැඩිපුර ගැනීමත් , රාත්‍රි ස්නානය , දුම් පානය නුසුදුසුයි . වායුසමනය කල කාමර තුළ සිටීම හා නිදීම , ෆෑන් භාවිතය ද නුසුදුසුයි.

නිතර උණුසුම් ජලය පානය, සීත පරිසරයෙන් ඈත්වීම,  එළබටු / ගොටුකොළ ආදිය වැඩිපුර ආහාරයට ගැනීම,  ගම්මිරිස් / කහ ආදිය  වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීම, උදෑසනට ලුණු කැඳ වීදුරුවක් / තැම්බුම් හොද්දක් එක්කර ගැනීම , දුම් / දූවිලි වලින් ඈත් වීම හිතයි.

මෙසේ අහිතකර දෙයින් ඈත් වී හිතකර දෙයට යොමු වී වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර නිසි පරිදි අනුගමනය තුළ ඔබගේ සැපය ඉක්මනින් ලඟා කර ගත හැකිය.


උපදෙස් - ආයුර්වේද වෛද්‍ය චේතිකා නාගහවත්ත, රක්වාන ආයුර්වේද රෝහල
සටහන - මහේෂානි මීගහපොල

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali Read Previous

තනි කාන්තාවක් ලෙස ගොඩගිය විදිහ ගැන කියන Manisha Shyamali

මොකක්ද මේ Tinea Read Next

මොකක්ද මේ Tinea

Realted Post

Leave a comment