ගැහැනු හංගන ලෙඩ ලැජ්ජා වුණොත් අමාරුවේ වැටෙන්නේ ඔබමයි

හුඟක් දෙනා සමහර ලෙඩ රෝග වෛද්‍යවරයෙකුට ගිහින් කියන්නත් බැරි තරමේ රහසක්ව තබා ගැනීමට පෙලඹෙති. එවැනි තීරණ නිසා ඔවුන් ජීවිත කාලය පුරාම විඳවන අවස්ථා ද තිබේ. මේ කතා කිරීමට යන්නේද කාටවත් කීමට අකමැතිව රහසේ තබාගෙන සිටින, සමහරවිට ඉතා බරපතළ විය හැකි රෝග කිහිපයක් ගැනය. 
මේ සියලූ රෝග නිසි වෛද්‍ය උපදෙස් මගින් ඉතා පහසුවෙන් සුව කරගත හැකි බැවින් ප‍්‍රතිකාර ගැනීමට මැළි නොවන්න

 

සුදයාම බරපතළ රෝගයක්ද? 

‘කැන්ඩිඩා’ නමින් හැඳින්වෙන දිලීරය යෝනි මාර්ගය තුළ වැඞීමෙන් සුදයාමේ රෝගී  තත්ත්වය ඇති වේ. ජලය සහ තෙතමනය ඇති තැන මෙම දිලීරය වර්ධනය වේ. සුදයාමේ තත්ත්වය වර්ධනයවීමට එය බලපායි. 

වළක්වාගන්න හැටි 

සති දෙකකට වරක්වත් යෝනි ප‍්‍රදේශයේ රෝම ඉවත් කරන්න. 
හැකි තරම් සෝදන වාර ගණන අඩු කරන්න. සෝදන විට නිතර සබන් දැමීම සුදුසු නැත.  
සේදූ පසු ටිෂූ කඩදාසියකින් හොඳින් පිස දා වියළිව තබාගන්න. 
නයිලෝන් මිශ‍්‍රිත යට ඇඳුම් භාවිත නොකරන්න. හැමවිටම කපු මිශ්‍රීත රෙද්දෙන් මැසූ  යට ඇඳුම් පමණක් තෝරාගන්න.

ප‍්‍රතිකාර මොනවාද?  

සුදයාම ඉතා පහසුවෙන් සුව කළ හැකි රෝගයකි. විවාහක කාන්තාවකට නම් යෝනි මාර්ගයට ඇතුළු කිරීමට පෙති ලබාදෙන අතර අවිවාහක අයට ගිලින පෙති ලබාදෙයි. ඖෂධ ගැනීමෙන් අනතුරුව තම පෞද්ගලික පිරිසුදුබව රැක ගැනීමට උනන්දු නොවුණොත් නැවතත් සුදයාම ඇතිවිය හැකිය. මෙය පහසුවෙන් සුව නොවන අවස්ථාවලදී එම දියරමය ශ‍්‍රාවය රසායනාගාරවලට යවා වැඩිදුර පරීක්‍ෂණ පවත්වා වෙනත් රෝගී තත්ත්වයක්දැයි නිශ්චිතවම සොයා බලා ප‍්‍රතිකාර කරයි. 

ගර්භාශය පහත්වීම 

මෙම රෝගී තත්ත්වය ආරම්භ වන්නේ මුත‍්‍රාශය පහත්වීමෙනි. ගර්භාශය පහත්වීම කාන්තාවන් මැදිවිය සහ වයස්ගතවීමේදී සුලබව දක්නට ඇති රෝගී තත්ත්්වයකි. 
හිටගෙන සිටින විට යෝනි මාර්ගයෙන් පිටතට කුඩා බෝලයක් මෙන් මතු වී ඇඳේ හාන්සි වූ විට නොපෙනී යයි. එය රෝගයේ මුල් අවස්ථාවයි. නිදාගෙන සිටිනවිටද යෝනි මාර්ගයෙන් පිටතට බෝලයක් පැමිණීම බරපතළ ය. මෙම බෝලය සමහරවිට නැවත ඇතුළට යන්නේ නැත. එය ඉතා අපහසු තත්ත්වයකි. එවිට මළපහ කිරිම, මූත‍්‍ර පිට කිරිම ද අපහසු ය. එමෙන්ම එම බෝලයේ කෙළවර තුවාල වී රුධිරය සහ දියර ගලයි. එය තවත් අපහසුතා ගෙන දෙයි. එබැවින් පළමු අවස්ථාවේදී ම ප‍්‍රතිකාර සඳහා යොමුවීම වැදගත් ය.
බර ඉසිලීම, තැටමීම, සුව නොකරගත් දිගුකාලීන කැස්ස වැනි හේතු නිසා මෙම රෝගී තත්ත්වය තවත් වැඩි වේ. 

ප‍්‍රතිකාර මොනවාද? 

සැත්කමක් මගින් සුව කරගත හැකිය. සැත්කම් කිරීමට නොහැකි බොහෝ වයස්ගත සහ වෙනත් රෝග ඇති කාන්තාවන්ට වළලූ (ප්ලාස්ටික්* දමා තත්ත්වය පාලනය කරයි. එසේ නැතහොත් ගර්භාශය ඉවත් කරයි. මුත‍්‍රාශය පමණක් පහත් වී ඇත්නම් විශේෂ ව්‍යායාම මගින් සුව කරගත හැකිය. 

කහින විට මූත‍්‍ර පිටවීම

කහින විට සහ සිනාසෙන විට මූත‍්‍ර පිටවීම ඉතා අපහසු තත්ත්වයකි. මීට හේතුව මුත‍්‍රාශය සහ මුත‍්‍ර පිටතට යන නාළය ආශ‍්‍රිත පහත්වීම ය. එසේ පහත්වීමෙන් නාළය බුරුල් වී මුත‍්‍රාශයේ පීඩනය වැඩි වී කහින විට, කිවිසුම් යනවිට, සිනාසෙන විට මූත‍්‍ර නාළයෙන් පිටතට එයි. 
එමෙන්ම මුත‍්‍රාශයේ ආසාදන නිසාද, කිසිදු පහත්වීමක් නොමැතිව මූත‍්‍ර පිටවිය හැකි ය.  එවිට ඖෂධ සහ ව්‍යායාම මගින් සුව කළ හැකිය. 
මුත‍්‍රාශය පහත් වී ඇත්නම් සැත්කමක් මගින් පහත් වූ නාළය උඩට උස්සා උකුල් ඇටයට සවි කරයි. එවිට සම්පූර්ණයෙන් සුව වේ. එහෙත් බර ඉසිලීම සහ තැටමීම නොකළ යුතුය. එවිට මැහුම් කැඞී නැවතත් රෝගය මතු  වේ.

ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාව

ලිංගික සම්බන්ධතාවලදී ඇතිවන වේදනාව පහසුවෙන් සුව කළ හැකි රෝග තත්ත්වයකි. මෙම වේදනාව අවස්ථා දෙකකදී ඇති වේ. එනම් පුරුෂ ලිංගය යෝනියට ඇතුළු කිරීමේදී සහ පසුභාගයේදී ය. මෙම ගැටලූව බොහෝවිට ඇතිවන්නේ විවාහ වූ අලූත ය. කන්‍යා සිවියේ තද ගතිය, මානසික බිය හේතුවෙන්  යෝනි මාර්ගය තදින් වැසී යාම මේ වේදනාවට හේතු වේ. එමෙන්ම ලිංගික සම්බන්ධතා පිළිබඳව ඇති වැරදි මත සහ බිය නිසා සැමියාට ඉඩ නොදීමද මෙම වේදනාවට හේතු වෙයි. වෛද්‍ය උපදෙස් මගින් මෙම වේදනාව නැති කර ගැනීමට අවශ්‍ය මගපෙන්වීම ලබාගත හැකිය. ඒ සඳහා විශේෂිත ව්‍යායාම තිබේ. මානසික ප‍්‍රතිකාර ද අවශ්‍ය ය. 

ලෙඩ හැංගුවොත් වෙන දේ 

තමන්ට ඇති  ඕනෑම රෝගයක් පිළිබඳව අදාළ වෛද්‍යවරයාට පැවසීමට බියක් හෝ ලජ්ජාවක් ඇති කර නොගන්න. රෝගය සහ එහි තත්ත්්වය නිශ්චිතවම හඳුනාගෙන ප‍්‍රතිකාර කර සුවය ලබාදිය හැක්කේ වෛද්‍යවරයාට පමණක් බැවින් ලැජ්ජාවීමෙන් සිදුවන්නේ  රෝගය බරපතළවීම පමණි. 
ඇතැම් කාන්තා රෝග ඉතා සුළු සැත්කම් මගින් සම්පූර්ණයෙන්ම සුව කළ හැකිය. රුධිර සහ ස්කෑන් පරීක්‍ෂණ මගින් රෝගය හඳුනාගෙන ලැපරොස්කොපි වැනි ඉතා සුළු කැපුමකින් කරන සැත්කම් අද බහුලව සිදු කෙරෙයි. රෝගයක් බරපතළ වනතුරු බලා සිටීමෙන් අමාරුවේ වැටෙන්නේ ඔබමය.

සටහන - උදේශිකා නෙලූම්දෙනිය  

 

රතු ලිප්ස්ටික්වලට වුණ දේ... Read Previous

රතු ලිප්ස්ටික්වලට වුණ දේ...

රජකාලේ ජිම් එක - අංගම්  මඩුව Read Next

රජකාලේ ජිම් එක - අංගම් මඩුව

Realted Post

Leave a comment