දරුවන්ගේ පරිත්‍යාග ගුණය පුරුදු කරවමු
පුංචි දරුවෝ බොහෝ වෙලාවට වැඩිහිටියන් කරන දේ බලලා තමයි ජීවිතයේ පාඩම් එකිනෙකට ඉගෙන ගන්නේ. ඒ නිසාමයි බොහෝ මනෝ උපදේශන වලදී කියන්නේ දරුවන් ඉදිරියේ යහපත්, ගුණවත්, ආදර්ශමත් දෙමාපියන් ලෙස හැසිරීමට ඔබ වග බලා ගත යුතුයි කියලා. දරුවා හැදුවටම විතරක් මදි එයාලව පුන්චි කාලෙ ඉඳන්ම අධ්‍යාපන ඉලක්කවලට යන්න, ලොකු වෙලා ලොකු මහත්තයෙක් කරන්න උත්සාහ ගන්නවා සේම එයාගේ ජීවිතයේ තව කෙනෙකු වෙනුවෙන් හද අනුකම්පා කරවන ආදරණීය චරිතයක් බවට පත්කරවන්න දෙමව්පියන් නිරන්තරත් උත්සාහ ගැනීම කළ යුතුයි.
දරුවා මවගෙන් පියාගෙන් වෙන්වෙලා ඊළඟට යන්නේ සමාජයට. සමාජයේ දී බොහෝ විෂ කෘර තැන් හමුවෙනවා. නමුත් සමාජයෙත් යහපත් ලෙස ජීවත්වන අයුරු ගැන මනා අවබෝධයක් ලබා දෙන්න ගෙදර වගේම පාසල්, දහම් පාසල් අධ්‍යාපන වටපිටාව බොහෝ රුකුලක් වෙනවා.
මේ උදාවන පින්බර පොසොන් උදාවත් සමග සිරිකතින් අපි කතා කරන්න හිතුවේ දරුවකු ළඟ තියෙන දේවල් වලින් පුංචියට හෝ තව කෙනෙකුට පරිත්‍යාග කරන්නේ කොහොමද කියන එම ගුණය පුරුදු කරවගන්න කියලයි.
දෙන්න පුරුදු කරවන්න හොඳම කාල වකවානුවයි මේ.
වර්තමාන තරගකාරී ලෝකයත් සමඟ දරුවන් වැඩෙන්නෙත් තනිව සිතන, තනිව හැදෙන සමහරවිට මමත්වය ඉස්මතු වන චරිතයක් ලෙසින්. මෙතනදී දරුවන්ගේ මේ චර්යාවට දොස් නගන්න, ඇඟිල්ල දිගු කරන්න බැහැ. මොකද එයාලා බොහෝ වෙලාවට ගෙදර ,පාසල, ඉන්න සමාජ වටපිටාව තමයි ආදර්ශ වෙලා ජීවිතයේ පුංචි පුංචි පියවරවල් අඩිතාලමක් ලෙස ජීවිතයේ ගොඩනංවා ගන්නේ.
නමුත් දෙමාවිපියන් වැඩිහිටියන් විදියට දැනගන්න ඕනේ දරුවන්ව යහමගට ගන්න ආදර්ශමත් වටපිටාවක් ගොඩනංවන ලෙස සාදන්න. ඒ සඳහා සුදුසුම කාල පරිච්ඡේදය තමයි මේ එළැඹී තිබෙන්නේ.
දරුවන්ගේ මනෝ සංවර්ධනය වැඩි දියුණු වීම සිදුකරයි.
මනෝ විද්‍යාත්මක අතින් බැලුවහම දරුවන්ට යමක් දෙන්න පුරුදු කිරීම ඔවුන්ගේ මනෝවිද්‍යාත්මක පැත්තෙන් බොහෝම වාසි ලැබෙන බව පෙන්වා දෙනවා.
ඒ අතරින් ,
අන් අයගේ හැඟීම් තේරුම් ගැනීම ,තව කෙනෙකුගේ අවශ්‍යතාවය තේරුම් ගැනීම, සතුට, කරුණාව , සාඅනුකම්පාව , ආදරය වැනි උතුම් ගුණාංග , හැඟීම් වර්ධනය වීම, තමන් පිළිබඳව ස්වයං වටිනාකමක් ඉස්මතුවීම, මානසික පීඩාව දුරුවෙලා මානසික සුවයක් ලබාදීම, සමාජ සම්බන්ධතා ශක්තිමත් වීම, දෙන්න පුරුදු වුණු දරුවන් අතර ගැටුම්, මතභේද, අඩු ,මනසට සතුටු ගෙනදෙන හෝමෝන වර්ධනය වීම සිදුවන බව මේ වෙද්දි මනෝ වෛද්‍ය පර්යේෂණවලින් පවා ඔප්පු වී තිබෙනවා.
දරුවකුට යමක් තව කෙනෙකුට දෙන්න පුරුදු කරවන අයුරු.
ආදර්ශය උතුම්.
දරුවන්ට යමක් තව කෙනෙකු වෙත දෙන්න පුරුදු කරන්න හොඳම ගුරුවරුන් තමයි එයාලගේ අම්මයි , තාත්තයි කියන්නේ. එතනදි දරුවන් සමග මෙවැනි දේවල් සිදුකරන්න පුළුවන්.
පොතක් ,පෑනක්, පැන්සලක් දෙන්න පුළුවන් මේ වගේ තියෙන දේකින් පටන් ගන්න පුළුවන් එතනදී ලොකු වියදම් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි දෙනදේ අලුත් දෙයක් ලෙස ලබාදීම කරනවා නම් තමයි වටින්නේ. මේ වගේ දේවල් ලබා දෙද්දී දරුවනුත් එකතු කරගෙන එයාලා සමග කරනවනම් තමා ගොඩක් වටින්නේ. එතකොට එයාලා මේක දිහා බලාගෙන එක පුරුද්දක් ලෙස එයාගේ දින චර්යාවට ඇතුළත් කරගන්නවා.
ගෙදරදි කරන්න පුළුවන් ඇඳුම්, වැඩිපුර තියෙන කෑමක් බබෙකුට ඒ අලුත් ඇඳුමක් තවත් චූටි බබෙකු වෙනුවෙන් තෑගි කරන්න පුළුවන්. ඒ වගේ දේවල් කරන්න පුළුවන්.
පාසලේදීත්, දහම් අධ්‍යාපනයේදීත් මේ දේ කරන්න පුළුවන්.
ගුරුවරුන්ටත් දරුවන් සමඟ බාහිර ක්‍රියාකාරකම් ලෙස මෙවැනි දේවල් පුරුදු කරවන්න පුළුවන්.
දරුවන් සමග දෛනික ක්‍රියාකාරකම් ලෙස පාසල්වල කතන්දර පොතක් ,පෑනක්, පැන්සලක් වැනි දෙයක් ගෙනත් පන්ති කාමරයේ යාළුවන් සමඟ බෙදාගෙන ඒ දිහා බලලා සතුටු වෙන ක්‍රියාකාරකම් සිදු කරන්න පුළුවන්.
දරුවාව අගය කරන්න.
ඒ වගේම දරුවා මේ දේවල් ජීවිතයට පුංචි කාලෙම එකතු කර ගත් විට හොඳින් අගය කරන්න පුරුදු කරන්න. එතකොට එයා මේ දේ වල් ජීවන විලාසිතාවක් බවට පත්කරගන්නවා.
එවිට අන් අයට දෙන්න ,අන් අයට උදව් කරන උතුම් මනුෂ්‍ය ගුණාංගයන් සමග අනාගතයේදී සමාජගත වේවි.
මනෝ උපදේශිකා දිල්හානි

Leave a comment