නිතර කුසගින්න දැනීම හෝ නොදැනීම ලෙඩක්ද?
සමහර අවස්ථාවල නිතර නිතර ආහාර ගත්තත් කුසගින්න අඩු නොවන අවස්ථා තිබෙනවාද? එසේත් නැතිනම් කොතරම් රසවත්. ආහාරපාන තිබුණත් කෑමට රුචියක් නොදැනෙන අවස්ථා තිබෙනවාද? දිගින් දිගටම අධික ලෙස කුසගින්න දැනීම (Polyphagia / Hyperphagia) හෝ කිසිසේත්ම බඩගිනි නොවීම / කෑම අරුචිය (Loss of appetite / Anorexia) යම් සෞඛ්‍ය ගැටලුවක හෝ ශරීරයේ අභ්‍යන්තර වෙනස්කමක ලක්ෂණයක් විය හැකිය
මෙවැනි අවස්ථාවලට ඔබත් ඔබේ ජීවිතයේදී මුහුණ දී තිබෙනවා ඇති. එසේ නම්, මේ තත්ත්වයන් ඇතිවීමට හේතුව කුමක්දැයි වෛද්‍යතුමියගෙන් විමසා බලමු.
හේතු
ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව, සිරුරේ නිරෝගී බව රඳා පවතින්නේ අග්නිය, එනම් ජීර්ණ ශක්තිය මතය. කුසගින්නෙහි වෙනස්කම් ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් දැකිය හැකියි.
කුසගින්න අඩුවීම
අප ලබාගන්නා ආහාර නිසි ලෙස ජීර්ණය නොවන විට කෑමට ඇති රුචිය අඩු විය හැකියි.
අධික කුසගින්න
අධික කුසගින්න සමහර අවස්ථාවල රෝග තත්ත්වයක් නිසාද ඇති විය හැකියි. කොතරම් ආහාර ප්‍රමාණයක් ගත්තත් කුසගින්න නැති නොවන අතර, ආහාර ලබාගත්තද ශක්තිය අධික ලෙස දහනය වීම හේතුවෙන් සිරුර කෙට්ටු වීමට පවා ඉඩ තිබෙනවා.
මෙවැනි තත්ත්වයන්ට ගැස්ට්‍රයිටීස්, පණු රෝග, මානසික ආතතිය සහ දියවැඩියාව වැනි රෝග තත්ත්වයන් බලපාන්න පුළුවන්.
එමෙන්ම, අප නොදැනුවත්ව ලබාගන්නා විරුද්ධ ආහාර හෙවත් එකිනෙකට නොගැළපෙන ආහාර සංයෝජනද ආහාර ජීර්ණයට බලපෑම් කළ හැකියි.
උදාහරණ ලෙස,
- කිරි සහ මාළු එකට ආහාරයට ගැනීම.
- ඇඹුල් පලතුරු සහ කිරි එකට ගැනීම.
- මී පැණි රත් කර ආහාරයට ගැනීම.
මෙවැනි නොගැළපෙන ආහාර එකට ගැනීමෙන් ආහාර ජීර්ණය අඩාල වීම පමණක් නොව, සමේ රෝග වැනි තත්ත්වයන් පවා ඇතිවිය හැකි බව ආයුර්වේදයේ සඳහන් වේ.
දැකිය හැකි ලක්ෂණ
මෙය සිරුරට පැහැදිලිව දැනෙන විශාල අසනීප තත්ත්වයක් නොවුණත්, සිරුරේ විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකියි.
ඒ අතර,
- දිව මත සුදු පැහැති තට්ටුවක් බැඳීම.
- අලස බව.
- සන්ධි වේදනා.
- බඩ පිපීම.
- බඩ දැවිල්ල.
වැනි ලක්ෂණ දැකිය හැකියි.
නිරෝගී කුසගින්නක් ඇති කරගැනීමට උපදෙස්
ආහාර ලබාගැනීමේදී ප්‍රමාණය පිළිබඳ සැලකිලිමත් වීම වැදගත්.
- කුසෙන් හතරෙන් එකක් පමණ ආහාර සඳහා වෙන් කරගන්න.
- තවත් හතරෙන් එකක් පමණ දියර හෝ ජලය සඳහා වෙන් කරගන්න.
- ඉතිරි කොටස හිස්ව තබා වාතය හුවමාරු වීමට ඉඩ ලබාදෙන්න.
- සංසුන්ව ආහාර ගන්න.
- කලබලයෙන් හෝ වෛරයෙන් ආහාර ගැනීමෙන් වළකින්න.
- දුරකථනය, රූපවාහිනිය හෝ පුවත්පත් භාවිත කරමින් ආහාර ගැනීමෙන් වළකින්න.
- රාත්‍රී ආහාරය සැහැල්ලු ආහාර වේලක් ලෙස ලබාගන්න. එවිට පසුදා උදෑසන හොඳ කුසගින්නක් ඇති වීමට ඉඩ තිබේ.
කෑමට අරුචිය පවතින විට අත්බෙහෙතක්
කෑමට අරුචිය පවතින අවස්ථාවක, අමු ඉඟුරු කැබැල්ලකට ලුණු ස්වල්පයක් එක් කර ආහාර ගැනීමට විනාඩි 15කට පමණ පෙර හපන්න.
මෙවැනි රෝග ලක්ෂණ සති දෙකකට වඩා පවතී නම්, වෛද්‍ය උපදෙස් ලබාගැනීමට කටයුතු කරන්න.
සටහන - මහේෂානි මීගහපොල.
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය, ඉමාෂා උඩවත්ත.

Leave a comment