පොල් වතුර අහක දාන්න එපා

ගෙදර ආහාර පිසීමට පොල් ගෙඩියක් බිඳගත් විට එහි ඇති පොල් වතුර ටික සින්ක් එකට හලා ඉවත දමන පුරුද්ද ඔබටත් තිබෙනවාද? පොල් වතුර කියන්නේ ඉවත දැමිය යුතු දෙයක් නොවෙයි. එහි පෝෂණීය සංඝටක සහ සිරුරට ප්‍රයෝජනවත් විය හැකි ගුණ රැසක් අඩංගු බව ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත පවසයි.

විජලනය වළක්වා ගැනීමට

පොල් වතුරේ ජලය සමඟ පොටෑසියම්, සෝඩියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. එම නිසා සිරුරේ දියර හා ඛනිජ ලවණ සමතුලිතතාව පවත්වා ගැනීමට එය උපකාරී විය හැකියි.

විශේෂයෙන් වැඩි වෙලාවක් උණුසුම් පරිසරයක සිටින විට හෝ දහඩිය දැමීමෙන් පසු දියර ලබාගැනීම සඳහා නැවුම් පොල් වතුර භාවිත කළ හැකියි.

ප්‍රතිඔක්සිකාරක ගුණ

පොල් වතුරේ ප්‍රතිඔක්සිකාරක සංයෝග ද අඩංගු වන අතර, ඒවා සිරුරේ නිදහස් මුක්තකවලින් සිදුවිය හැකි සෛලීය හානිවලට එරෙහිව ක්‍රියා කිරීමට දායක විය හැකියි.

රුධිර පීඩනයට

පොල් වතුරේ අඩංගු පොටෑසියම් සිරුරේ තරල සමතුලිතතාවය සහ රුධිර පීඩනය පවත්වා ගැනීම සඳහා වැදගත් ඛනිජයකි. එහෙත් රුධිර පීඩනය සම්බන්ධ රෝගී තත්ත්වයක් ඇති අය පොල් වතුර ඖෂධයකට ආදේශයක් ලෙස භාවිත නොකළ යුතු අතර, වෛද්‍ය උපදෙස් අනුව ආහාරයට එක් කර ගැනීම වැදගත්ය.

වකුගඩු සෞඛ්‍යයට

ප්‍රමාණවත් දියර පානය කිරීම වකුගඩු ක්‍රියාකාරීත්වයට වැදගත් වේ. පොල් වතුර ද දියර ලබාගැනීමට එක් විකල්පයක් ලෙස භාවිත කළ හැකියි.

වකුගඩු ගල් ඇතිවීමේ අවදානම සම්බන්ධයෙන් දියර පානය ප්‍රමාණවත් ලෙස පවත්වා ගැනීම වැදගත් වන අතර, වකුගඩු රෝග හෝ වකුගඩු ක්‍රියාකාරීත්වයේ ගැටලු ඇති අය පොටෑසියම් අඩංගු පානයන් ලබාගැනීමට පෙර වෛද්‍ය උපදෙස් ලබාගැනීම සුදුසුය.

ආහාර ජීර්ණයට

ප්‍රමාණවත් දියර ලබාගැනීම ආහාර ජීර්ණ පද්ධතියේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට ද වැදගත්ය. පොල් වතුර ද දිනපතා දියර අවශ්‍යතාව සපුරා ගැනීමට එක් කරගත හැකි පානයකි.

ගෑස්ට්‍රයිටිස් වැනි රෝග තත්ත්වයක් තිබෙන අය පොල් වතුර පානය කිරීමෙන් තමන්ට ඇතිවන ප්‍රතිචාරය සැලකිල්ලට ගත යුතු අතර, එය රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් ලෙස නොසැලකිය යුතුය.

පොල් වතුරේ ඇති සංඝටක

පොල් වතුරේ පොටෑසියම්, සෝඩියම් සහ මැග්නීසියම් වැනි ඛනිජ ලවණ අඩංගු වේ. එම සංඝටක සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරීත්වයට වැදගත් වන අතර, දියර හා විද්‍යුත් විච්ඡේදක සමතුලිතතාව පවත්වා ගැනීමට දායක වේ.

පොල් වතුරේ ශාක හෝමෝන කාණ්ඩයට අයත් cytokinin සංයෝග ද හඳුනාගෙන තිබේ. ඒවා පිළිකා පාලනය කරන බවට සරලව නිගමනය කිරීම වෙනුවට, මේ සම්බන්ධයෙන් පවතින පර්යේෂණ තවදුරටත් සලකා බැලීම වැදගත්ය. පොල් වතුර කිසිදු පිළිකා ප්‍රතිකාරයකට ආදේශයක් නොවේ.

පොල් වතුර තවත් රසවත් ලෙස පානය කරන්නේ කොහොමද?

නැවුම් පොල් වතුර තනිව පානය කළ හැකි වුවත්, විවිධ දෑ සමඟ මිශ්‍ර කර රසවත් පානයක් ලෙස ද සකසා ගත හැකියි.

 කුරුඳු සහ දෙහි සමඟ

නැවුම් පොල් වතුර වීදුරුවකට කුරුඳු කුඩු ස්වල්පයක්, දෙහි යුෂ බිංදු කිහිපයක් සහ අවශ්‍ය නම් මී පැණි ස්වල්පයක් එකතු කර පානය කළ හැකියි.

පලතුරු සමඟ

පොල් වතුරට තමන් කැමති නැවුම් පලතුරු කැබලි එකතු කර පානයක් සකසා ගත හැකියි. උදෑසන මෙවැනි පානයක් ගැනීමෙන් දියර සහ පෝෂ්‍ය පදාර්ථ ලබාගැනීමට හැකියාව තිබේ.

පොල් වතුර ජෙලි

පොල් වතුර, ජෙලටින් සහ අවශ්‍ය ප්‍රමාණයට සීනි යොදා මඳ ගින්දරේ රත්කර පසුව නිවෙන්නට හැර ශීතකරණයේ තබා පොල් වතුර ජෙලි සකසා ගත හැකියි. එය රසවත් අතුරුපසක් ලෙස භාවිත කළ හැකියි.

කොළ කැඳටත් පොල් වතුර

කොළ කැඳ සකස් කිරීමේදී භාවිත කරන දියර කොටසක් ලෙස පොල් වතුර යොදා බැලිය හැකියි. එමඟින් කොළ කැඳට වෙනස් රසයක් එක් කරගත හැකියි.

සටහන - මහේෂානි මීගහපොල
උපදෙස් - ආයුර්වේද වෛද්‍ය ඉමාෂා උඩවත්ත

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි Read Previous

අලුත් දෑ තනන දරුවන් බිහිකිරීම රටේ අනාගතය ගොඩනැගීමයි

වඩුන්නාගල පුදබිම රැකගන්න – සංඝනායක නාහිමියන්ගෙන් ඉල්ලීමක් Read Next

වඩුන්නාගල පුදබිම රැකගන්න – සංඝනායක නාහිමියන්ගෙන් ඉල්ලීමක්

Realted Post

Leave a comment